Pages

Subscribe:

Ads 468x60px

ඌවේ ආසන බෙදීම සහ බදුල්ලට ඇති පක්ෂග්‍රාහිත්වය

ඌව පළාත් සභාවේ බදුල්ලේ දිසාවට වෙන් කර තිබුණු ආසන තුනක් බදුල්ලෙන් ඉවත් කර මොනරාගලට ලබා දීමට මැතිවරණ කොමසාරිස් තීරණය කරන ලදී. 

ඒ පිළිබඳ මාධ්‍ය තුලින් ඝෝෂා කරමින් සිටි එජාප නායකයෝ පසුව අධිකරණය ඉදිරියට යෑමට තීරණය කළහ. 

එජාප මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම විභාගයකින් තොරවම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය තීරණය කරන ලදී. 

නමුත් තම සටන අත් නොහැර ඇති එජාප නායකයෝ බදුල්ලෙන් ආසන තුනක් අඩු කිරීම පිළිබඳ මැතිවරණ කොමසාරිස්ට අවලාද නගති. මෙම දිසාවන් දෙකේ ජනගහනයේ ඇති වෙනස දෙස බැලූ විට නගන අවලාදය සාධාරණ බවට සමහරෙක් පවසති. එබැවින් මෙම සටනේ ඇත්ත නැත්ත
සෙවීමට මෙවර ප්‍රදීපය වෙන් කරමු.

අපගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූර 225 සැකසී ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රි ධූර 29ක් සහ පළාතකට හතර බැගින් පත්වන මන්ත්‍රි ධූර 36ක් සහ දිසා මට්ටමින් පත්වන මන්ත්‍රි ධූර 160ක් ලෙසිනි. එකී ධූර 160 දිසාවන් අතර බෙදෙන්නේ ඒ ඒ දිසාවේ ලියාපදිංචි ඡන්දදායකයින්ට සමානුපාතිකවය. 


මැතිවරණ නීති අනුව සෑම වසරකම ලියාපදිංචි ඡන්දදායක ලැයිස්තුව යාවත්කාලීන කරන බැවින් ඒ අනුව දිසාවන්ට වෙන් වන මන්ත්‍රි ධූර ගණන ද අඩු වැඩි වේ. නිදසුනක් ලෙස ලියාපදිංචි ඡන්දදායකයින්ගේ සීඝ්‍ර අඩු වීමත් සමග 1989 දී මන්ත්‍රිවරු 11ක් සිටි යාපනය දිසාවේ දැන් සිටින්නේ 6කි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දිසාවන් අතර බෙදීම වාර්ෂිකව සිදු කළත් පළාත් සභා මන්ත්‍රිවරුන් දිසාවන් අතර බෙදීම කරන්නේ දස වසරකට වරක් පවත්වන ජාතික සංගණනයට පසුවය. එසේ වීමට හේතුවක් තිබේ.


පළාත් සභා හඳුන්වා දුන්නේ උතුරේ බෙදුම්වාදි ත්‍රස්තවාදය නවතා ගැනීමේ අරමුණෙනි. පළාත් සභා හඳුන්වා දෙනවිට ත්‍රස්තවාදය හේතුවෙන් උතුරේ ජනතාව විශාල පිරිසක් උතුරු පළාත හැර යෑම හේතුවෙන් ලියාපදිංචි ඡන්දදායකයින් ගණන දැවැන්ත ලෙස පහත වැටී තිබිණි. 

එබැවින් ලියාපදිංචි ඡන්දදායකයින් අනුව මන්ත්‍රි ධූර තීරණය කළොත් උතුරු පළාතට අසාධාරණයක් වන බවට දෙමළ නායකයෝ තර්ක කළහ.
එම තර්කයට අවනත වී භූමිය සහ ජනගහනය පදනම් කරගෙන මන්ත්‍රි ධූර තීරණය කිරීමටත් ඡන්දදායකයින් වෙනුවට එවකට පවතින ජාතික සංගණනයේ දැක්වෙන ජනගහනය ඒ සඳහා භාවිතා කිරීමටත් තීරණය විය.

එම පනතේ 3(3)(අ) වගන්තිය අනුව දිසාවක ජනගහනයෙන් සෑම 40,000කටම එක් මන්ත්‍රි ධූරයක් ලැබේ. එමෙන්ම එහි 3(3)(ආ) වගන්තිය අනුව භූමි ප්‍රමාණයෙන් සෑම වර්ග කිලෝ මීටර් 1,000කටම එක් මන්ත්‍රි ධූරයක් ලැබේ. 1981 දී බදුල්ලේ සහ මොනරාගල ජනගහනය පිලිවෙලින් 640,952ක් සහ 273,570ක් විය. 


එවිට ජනගහනය අනුව බදුල්ලට සහ මොනරාගලට මන්ත්‍රි ධූර පිලිවෙලින් 16ක් සහ 7ක් හිමි වේ. බදුල්ලේ සහ මොනරාගල භූමි ප්‍රමාණය පිලිවෙලින් වර්ග කිලෝ මීටර් 2,827ක් සහ 5,508ක් වන බැවින් භූමිය අනුව එකී දිසාවන්ට මන්ත්‍රි ධූර පිලිවෙලින් 3ක් සහ 6ක් හිමි වේ. 

එවිට බදුල්ලට සහ මොනරාගලට ලැබෙන මුළු මන්ත්‍රි ධූර ගණන වන්නේ පිලිවෙලින් 19ක් සහ 13කි. සම්පූර්ණ පළාතෙන් වැඩිම ඡන්ද ලබා ගත් පක්ෂයට හිමි වන ප්‍රසාද මන්ත්‍රි ධූර දෙකත් සමග ඌව පළාත් සභාවේ මුළු මන්ත්‍රි ගණන 34කි.

පළාත් සභාව පිහිටුවීමෙන් පසු එහි මන්ත්‍රි ධූර ගණන වැඩි නොවේ. ඒ අනුව ජනගහනය ඉහළ ගියත් තවමත් පළාත් සභාවේ සිටින්නේ මන්ත්‍රිවරු 34කි. 


නමුත් දිසාවන් දෙක අතර භූමි ප්‍රමාණයේ සහ ජනගහනයේ වෙනස්වීම් අනුව මන්ත්‍රිවරු බෙදෙන ආකාරය වෙනස් වේ. 1988න් පසු ඌව පළාතේ දිසාවන්හි භූමි ප්‍රමාණය වෙනස් වී නැතත් දිසාවන් දෙකේම ජනගහනය ඉහළ ගොස් ඇත. 

එවිට මන්ත්‍රි ධූර 32 දිසාවන් දෙක අතර බෙදෙන ආකාරය වෙනස් වේ. ඒ අනුව 2001 සංගණනයෙන් පසුව බදුල්ලේ මන්ත්‍රි ධූර ගණන 21 දක්වා ඉහළ ගිය අතර මොනරාගල මන්ත්‍රි ධූර ගණන 11 දක්වා පහත වැටිණි.

2009 දී පැවැති පසුගිය පළාත් සභා මැතිවරණයෙන් පසු 2012 දී තවත් ජාතික සංගණනයක් පැවැත්වුණු බැවින් ඒ අනුව මන්ත්‍රි ධූර දිසාවන් අතර යළි බෙදීමට මැතිවරණ කොමසාරිස්ට සිදු විය. 


දිසාවන් දෙකේම භූමි ප්‍රමාණය වෙනස් වී නොමැත. නමුත් බදුල්ලේ ජනගහනය 811,758 දක්වාත් ‍මොනරාගල ජනගහනය 448,142 දක්වාත් වැඩි වී තිබුණි. 

පනතේ ප්‍රතිපාදන අනුව සෑම 40,000කටම මන්ත්‍රි ධූරයක් වෙන් කරන විට බදුල්ලට 20ක් ද මොනරාගලට 11ක් ද ලැබේ. භූමිය අනුව බදුල්ලට 3ක් ද මොනරාගලට 6ක් ද වශයෙන් මන්ත්‍රි ධූර ලැබිය යුතු බැව් අපට මතකය. 

එම අගයන් එකතු කළ විට බදුල්ලට 23ක් ද මොනරාගලට 17ක් ද වශයෙන් ආසන 40ක් ලැබිය යුතුය. නමුත් පළාත් සභා පනතින් ඌව පළාතට වෙන් කර ඇත්තේ ප්‍රසාද මන්ත්‍රි ධූර දෙකට අමතරව තවත් මන්ත්‍රි ධූර 32ක් පමණි. 

එබැවින් ආසන 40ක් වෙන් වුවහොත් ඒ ඒ දිසාවට ලැබිය යුතු මන්ත්‍රි ධූර ගණන දැන් 32ට ගලපා ගත යුතුය. එසේ සමානුපාත කළ විට බදුල්ලට හිමි වන්නේ 23/40/32 ලෙස 18කි. එමෙන්ම මොනරාගලට හිමි වන්නේ 17/40/32 ලෙස 14කි.

ඉහත ගණනය අනුව බදුල්ලේ මන්ත්‍රි ධූර ගණන 21 සිට 18 දක්වා අඩු වී ඇති අතර මොනරාගල මන්ත්‍රි ධූර ගණන 11 සිට 14 දක්වා වැඩි වී ඇත. සරලව පැවසුවොත් බදුල්ලේ මන්ත්‍රි ධූර තුනක් මොනරාගලට එකතුවී ඇත. 


මැතිවරණ කොමසාරිස්වරයා ද අනුගමනය කර තිබුණේ ඉහත ගණනය කිරීමයි. ඇත්තෙන්ම පනත අනුව ඉතාම නිවැරදිව මැතිවරණ කොමසාරිස් සිය රාජකාරිය ඉටු කර ඇත. එසේනම් එජාප තර්කය කුමක්ද?

එජාපය පවසන්නේ එකී පනතේ පළමුව ඇත්තේ 3(3)(අ) වගන්තිය බැවින් ඒ අනුව ජනගහනය පදනම්ව මන්ත්‍රි ධූර බෙදිය යුතු බවයි. භූමිය පදනම්ව මන්ත්‍රි ධූර බෙදන 3(3)(ආ) වගන්තිය ඇත්තේ ඉන් පසුව බැවින් ඉතිරි වන මන්ත්‍රි ධූර පමණක් භූමිය පදනම්ව බෙදිය යුතු බවයි. 


එකී තර්කය පදනම් විරහිතය. පනතේ කිසිම තැනක ජනගහනය අනුව මන්ත්‍රි ධූර දිසාවන් අතර බෙදා ඉතිරි වන ගණන භූමිය පදනම්ව බෙදිය යුතු යැයි සඳහන් නොවේ.

මෙම ව්‍යාකූලත්වය පැන නගින්නේ ජනගහනය හෝ භූමි ප්‍රමාණය වෙනස් වී ඌව පළාතේ දිසා දෙකට ලැබිය යුතු මන්ත්‍රි ධූර ගණන වෙනස් වුවහොත් කළ යුතු දේ නිශ්චිතව සඳහන් නොවීමයි. 


ඒ වෙනුවට භූමිය පදනම් කරගෙන බෙදීමට ඉතිරි වන මන්ත්‍රි ධූර පමණක් භාවිතා කිරීමෙන් බදුල්ල සහ මොනරාගල අතර ඇති භූමි ප්‍රමාණයේ දැවැන්ත වෙනසට ලැබිය යුතු මන්ත්‍රි ධූර නොලැබේ. 

එබැවින් සමානුපාතිකව මන්ත්‍රි ධූර බෙදීම කළ හැකි වඩාත් තාර්කික ක්‍රමය පමණක් නොව 1988 සිට මේ දක්වා මැතිවරණ කොමසාරිස්වරු විසින් සම්ප්‍රදායිකව භාවිතා කළ ක්‍රමය ද වේ.

2001 සංගණනයෙන් පසු මැතිවරණ කොමසාරිස් විසින් මෙම සූත්‍රය අනුව මොනරාගලින් දෙකක් අඩු කර බදුල්ලට එකතු කරන ලදී. නමුත් එහි දී මන්ත්‍රි ධූර ඉහළ ගියේ එජාපයට අඩුවෙන් අවාසිදායක බදුල්ල දිසාවට බැවින් සිය අවස්ථාවාදිත්වය ප්‍රකට කරමින් එජාපය නිහඬව එය අනුමත කලේය. 


එමෙන්ම පසුගිය දා පැවති බස්නාහිර පළාත් සභා මැතිවරණයට පෙර ද මෙම සූත්‍රය භාවිතා කර කොළඹින් ආසන තුනක් අඩු කර දෙකක් කළුතරට සහ එකක් ගම්පහට එකතු කරන ලදී. එහි දී ආසන තුනක් අඩු වූයේ එජාපයට වාසිදායක කොළඹ දිසාවෙන්ය. නමුත් ඒ පිළිබඳ හඬ නැගීමට එජාපය ඉදිරිපත් නොවිණි.

සමහර එජාප නායකයින් පවසන්නේ බදුල්ල එජාපයට වාසිදායක දිසාවක් බැවින් එයින් මන්ත්‍රි ධූර අඩු කර සංධානයට වාසිදායක මොනරාගලට එකතු කිරීම පසුපස සංධාන ආණ්ඩුව සිටින බවයි. 


මෙය ද මුසාවකි. බදුල්ල එජාපයට වාසිදායක දිසාවක් නොවේ. පසුගිය පළාත් සභා මැතිවරණයේ දී මොනරාගල (81%) දී මෙන්ම බදුල්ලේ (68%) දී ද විශිෂ්ට ජයක් ලැබීමට සංධානය සමත් විය. 

නමුත් එජාපය බදුල්ලේ දී 26%ක් ඡන්ද ලබන විට මොනරාගලින් ලැබුණේ 16%ක් පමණි. එසේ නම් වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ බදුල්ලේ එජාපයට වාසිදායක දිසාවක් නොව අඩුවෙන් අවාසිදායක දිසාවක් බවයි.

එජාපය නැගූ මෙම බොරු ඝෝෂාවෙන් මොනරාගල ජනතාව එජාපය සමග අමනාප විය. එමෙන්ම සිය ප්‍රධාන ඇමති අපේක්ෂකයා පෙත්සම් කරු කරමින් අධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කර තමන්ගේ ප්‍රධාන ඇමති අපේක්ෂකයාගේ නීති දැනුමේ දුර්වලකම සහ බදුල්ලට ඇති පක්ෂග්‍රාහිත්වය ලොවටම පෙන්වීමයි. 


එමෙන්ම අධිකරණය විසින් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමෙන් නාමයෝජනා භාර දීමට ද පෙර එජාපයට පරාජයක් අත් විය.

- උදය ප්‍රභාත් ගම්මන්පිල

0 comments:

Post a Comment