Pages

Subscribe:

Ads 468x60px

භූමිකම්පාව නිසා සොහොනක්‌ බවට පත් වූ නේපාලය


* මියගිය සංඛ්‍යාව 4000 ඉක්‌මවයි
* කත්මන්දු නගරය සැතපුම් 3 ක්‌ දකුණු දෙසට ඇදී යයි
* සියලු සේවා පහසුකම් බිඳ වැටෙයි
* රෝග පැතිරීමේ අවදානමක්‌


නේපාල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 4000 ක්‌ දක්‌වා වැඩි වී ඇත. එහෙත් විශාල සංඛ්‍යාවක්‌ද අතුරුදන් වී ඇති බව නේපාල පොලිසිය කියයි.

මේ පසුබිම මැද මුළු නේපාලය පුරා දුක හා ශෝකය පැතිරී ඇත. නේපාලයේ බැක්‌මතී ගංගාව අසබඩ දක්‌නට ලැබෙන්නේ මළ සිරුරු දැවෙන විට ඥාතීන් නගන විලාපයයි. ගංගාව දෙපස තැන්තැන්වල සිරුරු විශාල ලෙස ආදාහනය කරන දර්ශන ලොව පුරා විකාශනය වේ. 


නේපාලයට මෙවන් විපතක්‌ සිදුවුයේ කෙසේද? භූ විද්‍යාඥයන් විසින් නේපාල භූචලනය ගැන අනතුරු අඟවා තිබුණත් රජය ඒ ගැන නිසි
අවධානය යොමු කර නොතිබූ බව හෙළි විය. එහෙත් විනාශ වූ නේපාලය යළි ගොඩගැනීමට සෑහෙන කලක්‌ ගතවනු ඇත.

නේපාලය අද අමු සොහොනකි. මියගිය දරුවන්ගේ සිරුරු කරමත තබා ගෙන ආදාහනය සඳහා ගෙන එන පිරිස්‌ දකින බොහෝ දෙනාගේ හදවත් දැඩි කම්පාවට පත් වී ඇත. මෙවන් විපතක්‌ අපි බලාපොරොත්තු නොවූයෙමු යෑයි නේපාල ජනතාව පවසා ඇත.

එසේ නම් නේපාලයට සිදුවූයේ දේව සාපයක්‌ද? නේපාලයේ බිරෙන්දා රජු බිසව සහ පවුලේ අය අමු අමුවේ ඝාතනය කළේ රජුගේ පුත්‍රයායි. අද වන තෙක්‌ ඊට මුල් වූ හේතුව හෙළි වී නැත. එසේම නේපාලයේ සතුන් විශාල සංඛ්‍යාවක්‌ බිලි පූජාවට ගොදුරු විය. 


මේ බිලි පූජා ක්‍රියාදාමය නේපාලයේ වාර්ෂිකව සිදු වේ. මෙවන් තොරතුරු මැද භූ චලනයෙන් මියගිය පිරිස්‌ ආදාහනය කිරීම සඳහා දර සොයා ගැනීමටද දුෂ්කර වී ඇත. එක්‌ සිරුරක්‌ දවාලීමට දර කිලෝ 250 ක්‌ අවශ්‍ය වේ. පානීය ජලය, ඖෂධ සහ වෙනත් පහසුකම් කත්මන්දු නුවරට අහිමි වී ඇත.

තවත් විශාල සංඛ්‍යාවක්‌ භූමිය තුළ වැලලී ඇතැයි නිලධාරීහු පවසති. භූ චලනයේ බියකරු බව කොතෙක්‌ද කීවොත් කත්මන්දු නගරය සැතපුම් 3 ක්‌ දුරට දකුණු දෙසට ඇදී ගොස්‌ ඇත. නේපාල බලධාරීන් දක්‌වන්නේ නේපාලයේ කඳුකර ගම්මානවල කොපමණ පිරිසක්‌ සිටියේද යන්න ගැන මෙතෙක්‌ තක්‌සේරු කර නැති බවයි.

මේ විනාශකාරී භූ චලනයෙන් දිවි ගලවා ගැනීමට සමත් වූවන් පිරිසක්‌ද වේ. ඇමෙරිකානු චිත්‍රපට කරු මිචෙල් චූර්මන් එවැන්නෙකි. හිම යට වැළලී සිටි ඔහු දිවි ගලවා ගැනීමට සමත් විය. 


භූ චලනයත් සමඟම විශාල අයිස්‌ පරයක්‌ එවරස්‌ට්‌ කන්දෙන් කඩා වැටුණු බව ඔහු කියා සිටියේය. එම අවස්‌ථාව වන විට එවරස්‌ට්‌ කන්දේ කඳු තරණය කරන්නත් 17 ක්‌ සිටි බවද ඔහු හෙළි කළේය.

මෙකී භූ චලනයට ගොදුරු වී ටිබැටයේ 25 ක්‌ද මරුමුවට පත් වී ඇත. මෙම පසුබිම මැද නේපාලයේ බැග්මන් ගංඉවුරේ තැන්තැන්වල දක්‌නට ලැබෙන්නේ ශෝකජනක දර්ශනයකි. කුඩා ළදරුවන්ගේ සිට වැඩි මහල්ලන් දක්‌වා වූ අයගේ සිරුරු හින්දු චාරිත්‍ර මත ආදාහනය කිරීම සඳහා සූදානම් කර ඇති අයුරු දිස්‌වේ.

ඒ සියලු දේ ඉටුකෙරෙන්නේ ඥාතීන් විසින්ය. මෙය නේපාලය තුළ දක්‌නට ලැබුණු අතිශයින්ම ශෝකජනක අවස්‌ථාවකි.

0 comments:

Post a Comment