Pages

Subscribe:

Ads 468x60px

පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණය කට යෑම



රටේ පවතින දේශපාලන පසුබිම අනුව එක් වැදගත් තීන්දුවක් ගත යුතුව තිබේ. එනම්; පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයකට යෑම ය. එය කළ යුත්තේ රටේත් - ජනතාවගේත් යහපත උදෙසා ය. දැන් පවතින ආණ්ඩුව ශක්තිමත් නැත. එක අතෙකින් පවතින ආණ්ඩුව දුර්වල තත්ත්වයක සිට ඉටු කළ කාර්යභාරය හොඳට ම ප්‍රමාණවත් ය. 

යහ පාලනයේ ඉදිරි කාර්යන් සිදු කිරීමට ගියහොත් විපක්ෂය බරපතළ දේශපාලන අවුලක් ඇති කිරීමට ද ඉඩ තිබේ. අනෙක් අතට දැන් පාර්ලිමේන්තුව තුළ ඇත්තේ විකෘති දේශපාලන ආකෘතියකි. එය
ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ගැට ගැසෙන්නේ ද නැත. මේ සියල්ලට විසැඳුම ඇත්තේ මහ මැතිවරණයක් තුළ ය.

ජනවාරි අටවන දා ශ්‍රී ලංකාව තුළ දේශපාලන විප්ලවයක් සිදු වූයේ යැයි විචාරකයෝ කියති. එය සත්‍යයෙකි. බැලූ බැල්මට ම එහි ප්‍රතිඵල දකින්නට ලැබේ. මේ වන විට රාජ්‍ය ත්‍රස්තවාදය දකින්නට නැත. 

පවුල්වාදයක් නැත. අධිකරණය හා පොලිසිය ස්වාධීනව කටයුතු කරයි. ජනමාධ්‍ය නිදහස ලැබී තිබේ. සරල නිදසුන් කිහිපයක් ගතහොත් ඇතැම් ජනමාධ්‍ය අගමැතිවරයා දිගට - හරහට විවේචනය කරයි. 

රාජ්‍ය මාධ්‍ය මහින්ද රාජපක්ෂ මහතා මල් වට්ටි රැගෙන පන්සල් යන දර්ශන විකාශය කරයි. විනිසුරුවෝ ස්වාධීන තීන්දු ලබා දෙති. ඔවුනට කිසිවකු පහර දෙන්නේ නැත. හූ කියන්නේ නැත. තර්ජනය කරන්නේ ද නැත.
 
දින සියයක් ඇතුළත ආණ්ඩුව ලබාගත් ප්‍රධාන ම ජයග්‍රහණය වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ය. එහෙත් එය සම්මත කර ගත්තේ අසීරුවෙන් ය. 

මේ පසුබිම මත සිට වටහාගත යුතු සත්‍යය වන්නේ දේශපාලන වෙනසක් සඳහා වූ ඉදිරි පියවර ගැනීම දුෂ්කර වන බව ය. විශ්වාසභංග යෝජනා ගැන කතිකාවක් මේ වන විටත් කරළියට පැමිණ තිබේ. විපක්ෂය තමන්ගේ දේශපාලන ශක්තිය කොයි මොහොතේ හෝ එළියට දමන්නට පුළුවන. 

ඒ ජනමතයට ද විරුද්ධව ය. බහුතර ජනතාව මෛත්‍රී - රනිල් එකමුතුව සමඟ සිටින බව රහසක් නො වේ. එහෙත් සැබෑ ජනමතය පාර්ලිමෙන්තුවෙන් උකහා ගත නො හැකි ය.

රාජ්‍ය සම්පත් කොල්ල කෑ පුද්ගලයන්ට දඬුවම් දෙනු යන්න ආණ්ඩුවේ මතයක් නො ව ජනතාවගේ මතයක් සේ සැලැකිය හැකි ය. ජනතාව වීදි බැස දූෂිතයන්ට දඬුවම් දෙනු යැයි කියමින් උද්ඝෝෂණ පැවැත්වූහ. 

පවුල්වාදය අවසන් කරනු යනුවෙන් සටන් පාඨයක් ‍ජනාධිපතිවරණයට පෙර පටන් පැවැතිණි. කොටින් ම රටේ දේශපාලනය පාරිශුද්ධ විය යුතු යැයි මතයක් හා සටන් පාඨයක් ජනතාව ළඟ තිබිණි. 

මෛත්‍රීපාල සිරිසේන මහතා ද, රනිල් වික්‍රමසිංහ මහතා ද අභියෝගයක් භාර ගනිමින් ද විශාල කැපවීමක් කරමින් ද ජනතාවගේ මූලික අපේක්ෂාව ඉටුකළ බව සත්‍යයෙකි. එය සිදුකළේ රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමෙන් ය. එහෙත් ජනතාවගේ බලාපොරොත්තු තව ම ඉටු වී නැත.

මෛත්‍රී - රනිල් එකමුතුව තව බොහෝ දේවල් කළ යුතුව තිබේ. එක; දහනම වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව කොමිෂන් සභා පත්කළ යුතු ය. පළාත් පාලන මැතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වා ශක්තිමත් හා ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැඟිය යුතු ය. 

දෙක; රටේ ආර්ථිකය ශීඝ්‍ර වර්ධනයක් කරා ගෙන යා යුතු ය. තරුණ පරපුරට නව රැකියා සම්පාදනය කළ යුතු ය. තුන; ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ධනවත් රටවල ආයෝජකයන් මෙරටට ගෙන්වා ගත යුතු ය. 

හතර; මැතිවරණ ක්‍රමය රටට ගැළපෙන ලෙස වෙනස් කර ගත යුතු ය. ශක්තිමත් ආණ්ඩුවක් නැති ව මේ එකක්වත් කළ නො හැකි ය. එය ආණ්ඩුව පමණක් නො ව; ජනතාවත් වටහා ගත යුතු සත්‍යයෙකි.

දැන් පවතින දේශපාලන පසුබිමට අනුව පෙනී යන්නේ හොරු ආරක්ෂා කිරීම සඳහා හොරුන් ම ඉදිරිපත් වන තත්ත්වයක් පවතින බව ය. මීට ටික දිනකට පෙර පාර්ලිමේන්තුවේ දී රඟදැක්වූයේ එබඳු නාටකයෙකි. 

චුදිතයන් බවට පත් වූ ඇතැම් දේශපාලකයෝ නීතියට හා අධිකරණයට ද අභියෝග කරති. මෙය යහ පාලනය සමඟ කිසිසේත් ම ගැළපෙන්නේ නැත. දේශපාලන වෙනසක් සඳහා ඡන්දය පාවිච්චි කළ ජනතාව ඉහත සඳහන් විකාර අනුමත කරන්නේ නැත. 

ඒ පමණක් නො ව; වත්මන් ආණ්ඩුව මන්දගාමී ය යන චෝදනාවක් ද ජනතාව වෙතින් එල්ල වී තිබේ. ජනතාවගේ අපේකෂාව ක්ෂණික ප්‍රතිඵල ය. ක්ෂණික ප්‍රතිලාභ ය.

ඉක්මන් මැතිවරණයකට නො ගියහොත් රට දේශපාලන වශයෙන් තවදුරටත් අවුල් සහගත තත්ත්වයකට යන්නට පුළුවන. එක අතෙකින් පවතින දේශපාලන තත්ත්වයට අනුව; එනම්; පාර්ලිමේන්තුවේ බලයට අනු ව ආණ්ඩුවේ කිසිදු යහපත් ප්‍රතිපත්තියක් හා වැඩසටහනක් ක්‍රියාත්මක කළ නො හැකි වනු ඇත. 

දැනට පවතින්නේ දේශපාලන කුලල්කා ගැනීම් හා කකුලෙන් ඇදීම් ය. නැතහොත් දේශපාලන කඹ ඇදීම් ය. ගිය ආණ්ඩුවේ දූෂිතයන් ආරක්ෂා කරන තැනකට ගියහොත්; තත්ත්වය වෙනස් විය හැකි ය. එහෙත් මෛත්‍රී - රනිල් එකමුතුවට එය කළ නො හැකි ය. 

එය ජනතාව අපේක්ෂා කරන දෙයක් ද නො වේ. මෛත්‍රී - රනිල් එකමුතු ව මේ මොහොතේ භය සැක, අවිශ්වාසය තුරන් කොට ජනතාව විශ්වාස කරන තැනකට යා යුතු ය යන්න අපගේ වැටහීම ය.

තවත් අතෙකින් පක්ෂ ගණනාවක ඉල්ලීම වන්නේ ද මහ මැතිවරණයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ මැතිවරණයකට කැමැති ය. එක්සත් ජාතික පක්ෂය ද කැමැති ය. ජනතා විමුක්ති පෙරමුණ ද මැතිවරණයක් ඉල්ලා සිටී. 

සුළුජන කොට්ඨාස නියෝජනය කරන දේශපාලන පක්ෂ ද මැතිවරණයකට අකැමැත්ත ප්‍රකාශ කර නැත. 20 වන සංශෝධනය වැදගත් වුව මේ මොහොතේ එය පස්සට දැමිය යුතු ය. දැන් සිදුවිය යුත්තේ පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම ය. එය කළ හැක්කේ ජනාධිපතිවරයාට ය.

0 comments:

Post a Comment