Pages

Subscribe:

Ads 468x60px

මෛත්‍රී - මහින්ද සාකච්ඡා සාර්ථකයි

මෛත්‍රී-මහින්ද සාකච්ඡා සාර්ථකයි- මෛත්‍රී පාර්ශවය කියයි
සියයට සියයක්‌ තෘප්තිමත් විය නොහැකියි
- මහින්ද පාර්ශවය කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාත් අතර ඊයේ (06 වැනිදා) සවස පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැයකට ආසන්න කාලයක්‌ පැවැති සාකච්ඡා සියයට සියයක්‌ සාර්ථක බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ඊට සහභාගි වූ ඇමැතිවරු ප්‍රකාශ කරති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ඒ සඳහා සහභාගි වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර සිටියේ තමන්ගේ පැත්තෙන් එම සාකච්ඡා පිළිබඳව සියයට සියයක්‌ තෘප්තිමත් විය

නොහැකි බවයි.

මේ පිළිබඳව මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ වාරිමාර්ග ඇමැති දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ දෙදෙනා අතර පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් පුළුල් එකඟතාවකට පැමිණීමට හැකි වූ බවයි.

මන්ත්‍රී කුමාර වෙල්ගම හා ඩලස්‌ අලහප්පෙරුම මහත්වරුන් සඳහන් කර සිටියේ මෙම සාකච්ඡාවේදී තෘප්තිමත් නොවුණු කරුණු පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කර තීරණ ගැනීමට නියමිත බවයි. එසේම දෙපාර්ශ්වයේ නියෝජිතයන් මේ පිළිබඳව සතිපතා රැස්‌ව සාකච්ඡා වට කිහිපයක්‌ පැවැත්වීමට තීරණය කළ බවත් ඔවුහු පැවසූහ.

මීළඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකත්වය නම් කිරීම, පළාත් පාලන ආයතන විසුරුවා හැරීම, එජනිස ශක්‌තිමත් කිරීම ආදී කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණ නැති අතර එම කරුණු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යොමු කිරීමට තීරණය කර ඇත.

එසේම අපේක්‍ෂකයන් සඳහා නාම යෝජනා ලබා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණ අතර ඒ පිළිබඳවද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යොමු කිරීමට එකඟත්වය පළ වී තිබේ.

ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති අතර පැවැති සාකච්ඡා ඉතා සුහදශීලි අන්දමින් නිමා වූ බවයි.

ශ්‍රීලනිපයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියේදී සියලු දෙනා එක්‌ව ක්‍රියා කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බවත් මධ්‍යම කාරක සභාවේ තීරණයන්ට අනුව පක්‍ෂයේ සියලු දෙනා විනයානුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී විශේෂ අවධානයට ලක්‌ කර තිබේ.

මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ දේශපාලන මැදිහත්වීම් වහාම නතර කිරීමටත් ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, විපක්‌ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, එම්. කේ. ඩී. ඒ. එස්‌. ගුණවර්ධන, දුමින්ද දිසානායක, ඩලස්‌ අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, මහින්දානන්ද අළුත්ගමගේ, මහාචාර්ය ජී. එල්. පීරිස්‌ යන මැතිඇමැතිවරු මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

0 comments:

Post a Comment