Pages

Subscribe:

Ads 468x60px

තැන්කූ... තැන්කූ... ගප්පියා තැන්කූ


හිටපු ලොක්කා කියන්නේ ගප්පියාගේ අතිජාත ෆිට් එකකි. ලොක්කට අනුව ගප්පියා කියන්නේ දේස දේසාන්තර තරණය කළ රටට ණය නැති එළකිරි කොල්ලෙකි. ඉන්දියන් ඕෂන් එකෙන් පැසිපික් ඕෂන් එක හරහා බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාව දික්විජය කළ අද කාලේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ සුපර් හීරෝය. 

ගොන් පාර්ට් වීඩියෝ කෑලි එඩිට් කර කර යූ ටියුබ් එක අප්ලෝඩ් කිරීම හරහා හුටස්ලන්ත නාමය අන්තර්ජාලයෙන් ජාත්‍යන්තරයටද අරන් ගිය ෆිට් පොරකි. ඔක්කොටමත් වඩා ලොක්කා ගප්පියාගේ ෆුල් මාවලස් ෆෑන් කෙනෙකි. ලොක්කට හදිස්සියේ ගප්පියා මතක් වුණේ 'කවුද යකෝ ගප්පියා.

අල්ලපිය ඕකා මරපිය, කොටපිය', කියමින් විමලාත්, අංගංපිලත් ෆේස් බුක් එකත් යූ ටියුබ් එකත් පෙරළන්නට පටන් ගත්තාට පසුවය. පස්සට භූමිතෙල් වැදුණු ගැරැඩි වගේ හාදයන් ඩබල ඇවිළිලා ඉන්නේ මොකද
කියා හිතමින් කූල් ඩවුන් එකේ පැත්තකට වෙලා හිටිය ලොක්කා ඇයි ඇයි මොකද වෙලා තියෙන්නේ ගප්පියට කරදරයක්ද කියා ඇසුවේය. 

ලොක්ක ගප්පියාගේ රියල් ෆෑන් කෙනෙක් බව නොදත් විමලා කාලකණ්ණි අසමජ්ජාතියා කියමින් නැවතත් ශර්දාව වැක්කෙරුවේය.
ලොක්කට කියවුණේ දන්න තරමට උෟ නරක කොල්ලෙක් නෙවෙයි කියාය. 

පොසොන් පෝයට ඔය යකා ෆේස් බුක් එකේ ශෙයාර් කරපු අසමජ්ජාති කතාව දන්නේ නැද්ද අසමින් විමලා කෝපයෙන් ලොක්කාගේ ඇඟටත් ගොඩවෙන්න ආවේය. එක්සකටිව් පවර්ස් නැති වුණාම ඔහොම තමයි, මැක්කොත් ඇඟටමයි ගොඩවෙන්න එන්නේ. 

කරන්න දෙයක් නෑ කියා හිත හදාගත්තු ලොක්කාගේ කුතුහලය දිව ගියේ ගප්පියා පෝය දවසේ පෙරළා ගත්තු බාල්දිය දෙසටය. හරි හරි නිවී හැනහිල්ලේ කියහල්ලකෝ උෟ මොනාද කරලා තියෙන්නේ බලන්න කියා ලොක්ක කීවේය. 

විමලා කිව්වේ උෟ අපි පණ වගේ අවුරුදුම දෙදහස් පන්සියයක් තිස්සේ රක්ෂා කොරගත්තු ආගමික සිම්බොල්ස්වලට කෙළියනේ අයියා කියාය. නැහ් කිව්ව ලොක්කා පුදුමෙන් නළල ඇල්බටයින්ස්ටයින් වගේ රැලි කොරගෙන ඇසුවේ නෑ මොනාද ඉතින් ආගමික සංකේතවලින් කරන්න පුළුවන් සෙල්ලම් කියාය.

විමලා කට රවුම් කරමින් උල් කරමින් කේලම ලොක්කාගේ කනේ තිව්වේය. කින්ග් දේවානම් පියතිස්සටත් මිහිඳු මහ රහතන් වහන්සේටත් මිස්සක පව්වටත් මුවාටත් විතරක් නොව දුනු ඊතලවලටත් නිගා කරලා කාටූන් ඇඳලා ෆේස් බුක් ෂෙයාර් කොරලා කියා කිව්වේය. ලොක්කට නැහ් ගෑවී ආපහු ඇල්බටයින්ස්ටයින් මෙන් නළල ඉරි තළා ගත්තේය. 


අද වගේ දවසක මිහිඳු හිමියන් මිහින්තලාවට වැඩම කළා නම් කින්ග් තිස්ස හෝව් හාමුදුරුවනේ හෝව් ලෙට් මී ටේක් අ සෙල්ෆි ප්ලීස් කියා මිහිඳු හිමියන්ටත් සෙල්ෆි ගන්න කතා කරයි කියා මෑන් කැත විදියට කාටුන් කරලා තියෙනවා කියා අංගංපිල එක්ස්ප්ලේන් කර දුන්නේය. ඉතින් මේක අපේ රිලිජන් සිම්බල්ස්වලට කරපු අපහාසයක් නෙවෙයිද කියා සීරියස් වුණේය. 

දැන් ඉතින් ඕකද මේ රටේ ජාතික ප්‍රශ්නේ කියා ඇසුව ලොක්කට විමලා කිව්වේ අපි ඉඳියානම් බොදු බලේ අවුස්සලා ඕස්ට්‍රේලියාවෙනුත් ගේම ඉල්ලන්න තිබුණා කියාය. ඒ කොහොමද ඒ ඔසී ආණ්ඩුව මේ සීන් එකට පටලවන්නේ කියා ඇසුව ලොක්කට විමලා කුමාර් සහෝදරයාව මතක් කර දුන්නේය. 

ගප්පියා මෙහේ ආව වෙලාවක වයිට්වෑන් එකක් යැව්ව නම් කෙළින්ම ඔසීලා ගේමට එන්ටර් වෙනවනේ කිව්ව විමලාගේ දුර දක්නා ස්ථානෝචිත ප්‍රඥාව ගැන ලොක්කට පුදුමත් හිතුණේය.
ලොක්කා හක හක ගා උළු උඩ යවන්න පටන් ගත්තේය. 

පට්ට විග්‍රහයක්නේ මල්ලි ගප්පි කොල්ලා කරලා තියෙන්නේ. අපි මිස්සක පව්ව පාමුල දුනු හී අමෝරන් ඉන්න වෙලාවක මිහිඳු හිමියන් වැඩම කළා නම් අපි වුණත් සෙල්ෆියකට කතා කරන්න ඉඩ තිබුණා. 

ඒක නරක දෙයක් නෙවෙයිනේ. තාක්ෂණය දියුණු වුණාම ඔහොම තමයි ඒකවත් තේරෙන්නේ නෑ හූ කියමින් ලොක්කා හක හකම ගෑවේය. අනික මේ වෙලාවේ හැටියට ඕක කොයි තරම් දෙයක්ද. යාපනේ කොටි නැඟිටියි කිව්වා. නැඟිට්ටවන්න උඹලටවත් පුළුවන් වුණාද? 

බුද්ධාගම ඉවරයි කිව්වා. ඉවර කරන්න පුළුවන් වුණාද? මේ වගේ උඹලා වේළි වේළි ඉන්න වෙලාවක ගප්පියා නියම ඉෂූ එකක් හදලා දීලා තියනවානේ කියා බඩ අල්ලන් හිනා වුණේය. 

විමලාත් අංගංපිලත් මූණට මූණ බලා ගනිද්දී ලොක්කා හිනා වෙමින්ම ගප්පියා ඩයල් කළේය. "පන්සල් යන්නේ ඉරිදට. දන්සල් යන්නේ පෝයට. මත්පැන් නම් බොන්නේ කොරහට. මල්ලි ඇයි බොරු සෝබන.

ඕව මහ ගොන් වැඩ" රින්ගින් ටෝන් එකක් විදියට ප්ලේ වුණේ ගප්පියාගේම රැප් වර්ෂන් එකක්ය. ඒ රින්ගින් ටෝන් එක ඇසී ගප්පියා කෙරෙහි භක්තිය දෙගුණ තෙගුණ වුණත් ඒ බව නොපෙන්වා ආන්සර් කළ සැණින් අලුගුත්තේරුවා, අවලම් මැටි මෝල, නොරට ගියාට පස්සේ තමන්ගේ රට, ජාතිය, ආගම අමතක කළ බූරුවා කියා බැනගෙන බැනගෙන ගියේය.

මැම්මා මාමා... කියා ලොක්කව අඳුනාගත්තු ගප්පියා කිව්වේ ගිය අවුරුද්දේ බර්ත් ඩේ එකට විෂ් කළාට පස්සේ මාමා කතා කරපු ෆස්ට් ටයිම් කියාය. අපේ ආච්චිගේ දෙවැනි නංගිගේ ලොකු පුතාගේ තුන්වැනි දුවගේ මැරේජ් එකටත් මාමා ගිහින් සයින් කරලා තිබුණා. 

ෆේස් බුක් එකෙන් ෆොටෝස් දැක්කා කියාය. අනේ පලයන් යන්න අපිට නොකියාම සුද්දියෙක් බැඳගත්ත රිළවා. උඹලගේ වෙඩින්වලට සයින් කොරන්න කිව්ව නම් මමත් බෝට්ටුවකින් හරි ඔහේ එනවානේ කියා ලොක්කා කිව්වේය. 

එහෙනම් හෝම්කමින් එකට අරලියා පැලැස් එක රෙඩි කරලත් දෙන්න තිබ්බා කියා ලොක්කා බොක්කෙන්ම වොරි වුණේය. අටවැනිදායින් පස්සේ පොලිටිකල් සිටුවේෂන් එකත් එක්ක මාමට කරදර කරන්න හිත දුන්නේ නෑ කියා ගප්පියා කිව්වේය. ඒක නෙවෙයි බං රින්ගින් ටෝන් එකනම් එළකිරි. 

අපි දවස ගාණේ පන්සල් යනවා කියනවුන්ට පොළොව පළාගෙන යන්න දීලා තියෙනවා. මටත් ඕක ඩවුන්ලෝඩ් කරගන්න විදිය කියපන් කොල්ලෝ කිව්ව ලොක්කා 'පන්සල් යන්නේ ඉරිදට' කෑල්ල ගප්පියා වගේම රැප් කරලා මුණු මුණු ගාමින් මිමිණුවේය.

ඒක නෙවෙයි ගප්පියා උඹ ඕස්ට්‍රේලියාවට පැන ගත්තේ කොයි කාලෙද කියා ඇසුව ලොක්කට ගප්පියා කිව්වේ දෙදාස් පහේ තව සූට්ටෙන් අවුරුද්දක් එහා මෙහා වුණා නම් මම කීයටවත් හුටා ලන්තය දාලා මෙහේ එන්නේ නෑ කියාය. ලොක්ක කිව්වේ එහෙම කියන්න එපා. 


මම හැමදාම උඹ ගැන ආඩම්බර වුණේ උඹ කවදාවත් අපිට බරක් වුණේ නැති නිසා කියාය. කැම්පස් යන්න ඉල්ලුවේ නෑ. ඊට පස්සේ ඇට බෙදන්න යන්න ඕන කියා ආණ්ඩුවේ සංවර්ධන වැඩකාර ජොබ් ඉල්ලගෙන ආවේ නෑ. විරැකියාවෙන් පෙළුණේ නෑ. කවදාවත් හන්දියක් හන්දියක් ගාණේ බොක්කු කටක් ගාණේ රස්තියාදු වුණේ නෑනේ කියාය. 

නිසි කල වයස උදාවුණු ගමන් ඕස්ට්‍රේලියාවට පැනගෙන යූ ටියුබ් එකෙන් රස්සාවත් හොයාගෙන සුද්දියක් එක්ක පරස්තාවක් කරගෙන සහජ හැකියාවෙනුත් වැඩ අරගෙන දැන් නිකං සුද්දෙක් වගේ ඉන්නවනේ කියාය. උඹලා වගේ කොල්ලෝ රටේ සමස්ත තරුණ ප්‍රජාවටම උතුම් ආදර්ශයක් කියාය.

මට උඹ ගැන පට්ට ආඩම්බරයි, ෆුල් මාවලස් කිව්ව ලොක්කාට ගප්පියා කිව්වේ ඕ යස් මාමා මේ දැනුත් ෆුල් බිසී. ක්ලයන්ට්ස්ලා වගයක් එක්ක මීටින් එකක ඉන්නේ කියාය. 


එතකොටම සර සරාස් ගා පිඟන් කුඩු වෙන සද්දයක් ඇසුණු අතර ගප්පියට කියැවුණේ හුටා ක්ලයන්ට් පිඟාන බිම අත ඇරියනේ මාමා කියාය. අම්මට හුඩු උඹ කන ගමන්ද මාත් එක්ක කතා කළේ කියා ඇසුව ලොක්කට ගප්පියා කිව්වේ කන ගමන් නෙවෙයි හෝදන ගමන් කතා කළේ කියාය. පව්...

ටයි කෝට් සන්ගා බූට් දාලා සුද්දා වගේ වැඩට ගියාට යූ ටියුබ් එකෙන් මහ ලොකු සැලරියක් හම්බ වෙන්නේ නැතුව ඇති කියා හිතා ගත්ත ලොක්කා කිව්වේ ඒකෙන් මේකෙන් මට කතා කළ කාරණාවත් අමතක වුණා. පොසොන් දවසේ ඇඩ් කළ පෝස්ට් එක මරු හොඳේ කියාය. 

දැන් ඉතින් අපේ උන්ට කන්න බොන්න නැතත් ජොබ් එකක් නැතත් ගප්පියගෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනේ බේරාගන්න ඕනා කියා හරි ඉෂූ එකක් තියෙනවානේ කියාය. තැන්කූ ගප්පියා තැන්කූ කිව්ව ලොක්කට ගප්පියා කිව්වේ ශාසනේ රැක ගන්න නම් ඉතින් මාමලා වගේ මිනිස්සු සුදුසු තැන්වලට පත් වෙන්න ඕන කියාය. 

ඒක ඉතින් ඕන තොත්ත බබෙක් දන්න දෙයක්නේ කිව්ව ලොක්කා කිව්වේ ගප්පි පැටියෙක් දෙන්නෙකුත් හදාගෙන සුද්දිත් එක්ක වෙලාවක මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න. උඹ ඔය ඕස්ට්‍රේලියාවට වෙලා පිඟන් කටු හෝදන්න ඕන එකෙක් නෙවෙයිනේ කියාය.

0 comments:

Post a Comment