Pages

Subscribe:

Ads 468x60px

අළුත්ගම දුම්රිය වෑන් රථ අනතුර

ටයර් ගිනි තබයි: ගාළු පාර වැසෙයි

අළුත්ගම පුර්වාරාම පන්සලේ ඉදිකර තිබෙන තොරණ නරඹන්නට පැමිණි පිරිසක් ගමන් කළ වෑන් රථය දුම්රියක  ගැටීමෙන් මේ වන විට පුද්ගලයන් අට දෙනෙක් මිය ගොස් ඇතැයි දැන ගන්නට ලැබී තිබෙනවා. 

මේ වන විට අළුත්ගම ඩිපෝහන්දියේ සිට අළුත්ගම නගරය දක්වා ප්‍රධාන මාර්ගය වසා දමා තිබෙනවා. මීට හේතුවී තිබෙන්නේ මෙම දුම්රිය සහ වෑන් රිය ගැටුමට විරෝධය පලකරමින් ප්‍රදේශවාසීන් විසින් ටයර් පුලුස්සමින් විරෝධතා දැක්වීමයි. 

විශාල පිරිසක් අළුත්ගම නගරයේ හා පුර්වාරාම පන්සලේ ඉදිකර තිබෙන තොරණ නැරඹීමට පැමිණෙමින් තිබියදී දුම්රිය සහ වෑන් රිය අනතුර සිදුවී තිබෙනවා. මේ වන විට දැඩි වර්ෂාවක් සමග සුළගක් ප්‍රදේශය පුරා හමායමින් තිබෙනවා. අළුත්ගම පොලිසිය නොසන්සුන්කාරී තත්වය සන්සුන් කරන්නට දැඩි වෙහෙසක් දරනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයක වීම හේතුවෙන් එයට වහාම ආරක්‍ෂිත ගේට්ටුවක් සවිකරන ලෙසට ඉල්ලමින් ප්‍රදේශවාසීන් විසින් ඊයේ එම ස්ථානයේ විරෝධතාවක නියැළෙමින් කොන්ක්‍රීට් සිල්පර කොටන් දමා දුම්රිය මඟ හරස් කොට දුම්රිය මාර්ගය ගිනි තබා කලහකාරී අන්දමින් හැසිරී ඇතැයි වාර්තා වේ. 

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අලුත්ගම, පයියාගල, කළුතර හා බේරුවල පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් කැඳවා ඇත. ප්‍රදේශ වාසීන් අලුත්ගම ඩිපෝ මංසන්ධියේදී ටයර් පුලුස්සා ඊයේ රාත්‍රියේ දිගින් දිගටම විරෝධතාවක නියැළීම හේතුවෙන් ඩිපෝ මංසන්ධියේ සිට අලුත්ගම නගරය දක්වා ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය පොලිසිය විසින් තාවකාලිකව වසා දමා තිබේ.

දුම්රිය මාර්ගය හරස් කොට කොන්ක්‍රීට් සිල්පර කොට දමා ගිනි තැබීම හේතුවෙන් කොළඹ සිට මාතර දෙසටත්, මාතර සිට කොළඹ දෙසටත් ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය 02ක් දුම්රිය මාර්ගයේ දෙපසින් නවතා තිබූ බවත් බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි රත්නසිරි කළුපෙරුම මහතා පැවැසීය.

මෙම වෑන් රථය ඊයේ රාත්‍රි 7.30ට පමණ කොළඹ සිට මාතර බලා ධාවනය වූ "සාගරිකා" දුම්රියේ ගැටී ඇති බවත් වෑන් රථයේ ගිය පිරිස බේරුවල පොසොන් කලාපයේ තොරණ බැලීමට ගිය කළුතර ‍ෙදාඩංගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා "මව්බිම"ට සඳහන් කෙළේය.

එම වෑන් රථයේ 10 දෙනකු පමණ ගමන් ගෙන ඇති බවත්, දුම්රිය මාර්ගය පසුකිරීමට එහි රියැදුරු සැරසෙද්දී දුම්රියක් පැමිණෙන බවට අසල සිටි පුද්ගලයකු දැක වාහනය ධාවනය නොකරන ලෙසට රියැදුරු වෙත කෑගසා කියා සිටියද රියැදුරු දිගටම වාහනය ධාවනය කර ඇති බවත් පැවැසේ. සිද්ධියෙන් මියගිය අයගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා කීය.

train-acc2train-acc3

0 comments:

Post a Comment