Pages

Subscribe:

Ads 468x60px

පුරාණ පිටසක්වළ ජීවින් සොයා කළ ගවේෂණය

ඉතා දියුණු පිටසක්වළ ජීවීන් පිරිසක්, පුරාණයේ, පෘථිවියට පැමිණ මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බවට සාක්ෂි තිබෙන්නේ කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති පමණක් නොව අභිරහස් සිතියමක් පවා ඇති බව ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන්ඩයිකන්ගේ ගවේෂණ වාර්තාවල දැක්වෙයි.

වසර 45 ක් පුරා වොන්ඩයිකන් සිදු කළ ගවේෂණ ඇතුළත් කරමින් පළ කළ පොත පත, වෙබ් පිටු අදත් අතිශයින් ජනපි‍්‍රයය. වොන්ඩයිකන්ගේ කෘති අතුරින් වඩාත් ප‍්‍රකට 1968 දී මුද්‍රණය කෙරුණු ‘චැරියට්ස් ඔෆ් ද ගෝඞ්ස්’ ය. වොන්ඩයිකන් ලියූ පොත් මිලියන 60 කට වඩා අලෙවි වී ඇති අතර ඒවා භාෂා 40 කට පරිවර්තනය වී ඇත.

වොන්ඩයිකන් උපන්නේ 1935 අපේ‍්‍රල් 14 වැනිදා ය. වොන්ඩයිකන්ගේ ගවේෂණ ඇසුරින් රූපවාහිනී කතා මාලා සහ චිත‍්‍රපට පවා නිර්මාණය වී ඇත.

වොන්ඩයිකන්ගේ ගවේෂණයට පාදක වී ඇත්තේ ප‍්‍රධාන සාධක දෙකකි. පළමු සාධකය සාහිත්‍යය, මිථ්‍යා කතා, පුරාවිද්‍යාත්මක තොරතුරුවලින් හෙළිවන කරුණු කාරණාය. දෙවැනි සාධකය, දැකිය හැකි සහ අත ගා බැලිය හැකි වස්තූන්ය. 

කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති ඊට අයත් වෙයි. පුරාණ පිරමීඩත් ඊට ඇතුළත් වෙයි. වොන්ඩයිකන් පිරමීඩ සම්බන්ධයෙන් අපූරු අදහස් කිහිපයක් පළ කර ඇති අතර ඒවා බොරු යැයි පහසුවෙන් බැහැර කළ නොහැකිය.

ඊජිප්තුවේ පිරමීඩ ඒ අතරින් කැපී පෙනෙයි. අප දන්නා පරිදි ඉපැරණි මිසර වැසියන් පිරමීඩ ඉදි කළේ දෙවියන් උදෙසාය. මිසර වැසියන්
දෙවියන් ලෙස විශ්වාස කළේ, අහසින් පොළොවට සම්ප‍්‍රාප්ත වූ පිරිසක්ය.

ටොන් ගණනක් බර මිලියන 250 කට වඩා යෝධ හුණුගල් කුට්ටිවලින් පිරමීඩ නිර්මාණය කිරීමට නම් මිසර වැසියන්ට දියුණු තාක්ෂණයක් තිබියු යුතුයි. එහෙත්, එවැනි දියුණු තාක්ෂණයක් ඔවුන්ට තිබුණාද යන්නට පුරාවිද්‍යාඥයන්ට පිළිතුරු දීමට හැකියාවක් ලැබී නැත. පිරමීඩ හැදුවේ මිසර වැසියන්ම ද යන්න සහතිකව ඔප්පු කිරීමට ද කිසිදු ප‍්‍රබල සාක්ෂියක් හෝ ඇසින් දුටු සාක්ෂියක් හෝ නැත.

ලෝකයයේ පැරැුණි පුදුම 7 ටත් අයත් අදටත් නොනැසී පවතින ගීසාහි යෝධ පිරමීඩය සැබැවින්ම විස්මිත අභිරහසක් බව වොන්ඩයිකන් පෙන්වා දෙයි. ඊජිප්තුවේ ඇති පිරමීඩ ති‍්‍රත්වයෙන් විශාලතම පිරමීඩය වෙන්නේ ද ගීසා මහා පිරමීඩයයි. එය පිහිටා ඇත්තේ ගීසා පළාතේය. මෙය ඉන්ජිනේරු හාස්කමක් හැටියට සැළකෙයි.

පිරමීඩය ඉදි කළා යැයි පැවැසෙන්නේ වසර විසි දෙකක කාලසීමාවක් ඇතුළතය. පිරමීඩය සාදා නිම කළා යැයි පැවැසෙන්නේ කි‍්‍ර.පූ. 2560 වසරේදීය. පුරාණ පිටසක්වළ ජීවීන් ගැන අදහස් පළ කරන විද්වතුන් පෙන්වා දෙන පරිදි, එය එසේ විය නොහැකිය. 

පිරමීඩය ඉදි කිරීමට අවශ්‍ය යෝධ බර ගල් කුටිටි කපා වෙන් කිරීම, ප‍්‍රවාහනය, නිසි ලෙස ගොඩ ගැසීම පැවැති නොදියුණු තාක්ෂණය යටතේ වසර 22 කින් කළ නොහැකි දෙයකි.

එය වසර 22 කින් කළා නම්, සෑම තත්ත්පර නවයකට වරක්, ගල් කුටිටි කපා වෙන් කිරීම, ප‍්‍රවාහනය, නිසි ලෙස ගොඩ ගැසීම සිදු කළ යුතු වෙයි. එය කළ හැකි දෙයක්දැයි වොන්ඩයිකන් විමසා සිටී. 

වර්තමානයේ දියුණු තාක්ෂණය යොදා ගනිමින් පවා වසර 22 කින් මෙවැනි නිර්මාණයක් කළ නොහැකි බව ද වොන්ඩයිකන් සිය ගවේෂණ වලින් තහවුරු කර ගෙන ඇත. ගීසා පිරමීඩය වැනි පිරමීඩයක් වර්ත මානයේ තාක්ෂණය යොදා ගනිමින් වසර 22 කින් ඉදිකිරීමට නොහැති යැයි වර්තමානයේ සිටින අති දක්ෂ ඉන්ජිනේරුවෝ පවා පවසති.

ගීසාහි යෝධ පිරමීඩ හැදුවේ කොහොමද කියලා න්‍යායයන් ගණනාවක් ඉදිරිපත් වී ඇත. පිටසක්වළ ජීවීන්ගේ මැදිහත්වීමක් මගින්, ධ්වනි තරංග යොදා ගෙන ගල් කුට්ටි පාවෙන්න සලස්වා එකට ගොඩ ගැසීම, දහස් ගණන් වහලූන්, හා සේවකයන් එක් වී ලීවර, ලී කොටන්, කඹ යොදාගෙන ගල් කුට්ටි ඇදගෙන ගොස් එකලැස් කිරීම ආදිය ඒ න්‍යායයන් අතරට ඇතුළත් වෙයි. 

එහෙත් සත්‍යය කුමක්දැයි තහවුරු වී නැත. පිරමීඩ සාදා ඇත්තේ, යෝධ බර ගල් කුට්ටි ඉතාම නිවැරදි ව එකිනෙකට සම්බන්ධ කිරීමෙනි. ඉතා සියුම් එහා මෙහා වීමක්වත් ඒවායේ දකින්න නොලැබෙයි. නවීන තාක්ෂණයෙන් පිරි වර්තමාන නිර්මාණකරුවන්ටවත් එලෙස ඉතා නිවැරදිව සහ සූක්ෂමව නිර්මාණයක් කිරිමට හැකියාවක් නැත.

ග‍්‍රැනයිට් සහ කිරිගරුඩවලින් පිරමීඩවල ඇතුළත සොහොන් ගැබ් නිර්මාණය කිරීම තවත් විස්මිත කටයුත්තකි. පිරමීඩ ඇතුළත නිර්මාණය කර ඇත්තේ, ඉතා ම පිරිසිදුවය. ඉතා ම නිවැරදිවය. පුරාණ මිසර වැසියන්ට තාක්ෂණයක් නොමැති ව දෑත්වලින් පමණක් මෙවැනි නිර්මාණයක් කළේ කෙසේද ? ඔවුන්ට පිටසක්වළින් පැමිණි අමුත්තන්ගේ සහාය හිමිවුණාද ?

‘මිනිසාගේ ඉන්ජිනේරු විස්කම් ගැන මා කිසිසේත් ම එය අවතක්සේරු කරන්නේත් නැහැ. ඒත් පුරාණ මිනිසා හැදු සමහර ස්මාරක හා නිර්මාණ කරද්දී පුරාණ මිනිසාට කාගේ හෝ උදව්වක් මඟ පෙන්වීමක් ලැබිලා තිබෙන්න  ඕනෑ. ඔවුන්ට තනිව ම එවැනි නිර්මාණයක් කළ හැකි වන්නේ නැහැ.’ පුරණ පිටසක්වළ ජීවීන් ගැන ගවේෂණ කරන ඇමෙරිකානු ජාතික ජේසන් මාටෙල් කියා සිටී.

මිසරයේ සාම්ප‍්‍රදායික කතා පුවත්වල සඳහන් වන අන්දමට, පිරමීඩ නිර්මාණය කරනු ලැබුවේ සවුරිට් නම් පාරාවෝ විසිනි. සවුරිට් යනු හිබෲ ජනයාගේ ඉනොක් නමැත්තාටය. ඉනොක් යනු පුරාණ තෙස්තමේන්තුවේ සඳහන් අන්දමට අනාගත වක්තෘවරයෙකි. 

ඉනොක් ගැන සඳහන් පුරාණ පොත පත බොහොමයක් තිබේ. ඒ අතරින් ‘බුක් ඔෆ් ඉනොක්’ නමැති පොත වැදගත් තැනක් ගනී. අහසේ සිට පැමිණි අමුත්තන් පිරිසකට ඉනොක් හමුවුණු බවත්, එම අමුත්තන් ඉනොක්ට දැනුම දුන් බවත් එහි සඳහන් වෙයි. 

වසර දහස් ගණනක් ගත වුනත් විනාශ නොවන ආකාරයේ ගොඩනැගිලි ඉදිකිරීමට මෙම අමුත්තන් පිරිස ඉනොක්ට උපදෙස් දුන් බව එම පොතේ වැඩි දුරටත් සඳහන් වෙයි.

වොන්ඩයිකන් ඒ ගැන මෙසේ අදහස් දක්වා සිටී. ‘ඒ කියන්නේ පිරමීඩ නිර්මාණය කළේ මනුෂ්‍යයන්. හැබැයි අහසේ සිටින ආරක්ෂකයන්ගේ මඟ පෙන්වීම අනුවයි. අහසේ ආරක්ෂකයන් කියන්නේ දෙවිවරු. අද අප පිටසක්වළයන් යැයි කියන්නේ, අතීතයේ මේ දෙවිවරුන් යැයි කී පිරිසට වෙන්න බැරිද ?’

ලෝකයේ පුදුම හතට ඇතුළත් පිරමීඩය පුරා විද්‍යා අභිරහසක් පමණක් නොවේ, අපූරු හාස්කමක් ද වෙයි. 1877 වසරේ දී ආතර් ඇන්තියො ලෝජන් ජෝසප් සයිස් පැහැදිලි කර දුන් අන්දමට, ගීසා හි යෝධ පිරමීඩය ඇතුළු සෙසු පිරමීඩ දෙක ඉදිකර තිබෙන්නේ ලෝකයේ හරි මැදය. 

පිරමීඩ ඉදි කර ඇත්තේ, පෘථිවියේ දිග ම අක්ෂංශකය හා දේශාංෂකය හමු වන ස්ථානයේය. පෘථිවියේ මුළු භූමි ස්කන්ධයේ ම කේන්ද්‍ර ස්ථානය ලෙස සැලකෙන්නේ ද එතැනය.  එපමණක් නොව, මාලිමාවක කොන් හතර පිරමීඩයේ කොන් හතරට සමපාත වෙයි. එහෙත් පිරමීඩ ඉදි කළ අවධියේදී මාලිමා තිබුණේ නැත. මාලිමාව නිර්මාණය කළේ ඊට අවුරුදු දහස් ගණනකටත් පසුවයි. මෙය ඇත්තටම පුදුමයක් නොවේද ?

ඊජිප්තුවේ පමණක් නොව, ලොව සෙසු රටවලත් පිරමීඩ දකින්නට ලැබීම තවත් පුදුමයකි. ලොවෙන් හුදකලා වූ පැසිෆික් සාගර ¥පත්වල පවා පිරමීඩ ඉදිකර තිබේ. දකුණු ඇමෙරිකාවේත් මෙක්සිකෝවේත් පිරමීඩ දකින්න ලැබේ. ඉන්දියාවේ ද පිරමීඩ ඇත. 

අතීතයේ දී පිරමීඩ නිර්මාණ කලාව ලොව පුරා පැතිරුණු උන්මාදයක් මෙන් පෙනෙන බව වොන්ඩයිකන් පවසයි. මුහුදින් හා ගොඩබිමින් වෙන් ව ජීවත් වෙන, කිසිදා එකිනෙකා මුණ නොගැසුණු එකිනෙකට වෙනස් ජන සංස්කෘතීන්, පිරමීඩ යනුවෙන් අද අප හඳුන්වන හැඩයට අනුකූලව නිර්මාණ කළේ කෙසේ ද යන්න අභිරහසකි. ස්වරූපයේ වෙනස්කම් තිබුණ ද පිරමීඩ ආකෘතිය හැම සංස්කෘතියකට ම පොදු බවක් දකින්න ලැබේ.

මධ්‍යම මෙක්සිකෝවේ වසර දෙදහසකට වඩා පැරැණි නගරයක නටඹුන් දකින්න ලැබේ. මෙම නගරය නම් කර ඇත්තේ ‘ටියෝටිවකාන්’ යනුවෙනි. එහි සරල අර්ථය ‘දෙවියන්ගේ පුරවරය’ යන්නය. 

‘හිරු’ගේ පිරමීඩ නමින් හැඳින්වෙන පිරමීඩයක් මේ නගරය මැද ඉදිකර තිබේ. හැඩයෙන් සමාන වුනත් ඊජිප්තුවේ පිරමීඩවලට වඩා මෙක්සිකෝවේ සහ ලතින් ඇමෙරිකාවේ නටබුන් වූ පිරමීඩවල පෙනුම වෙනස්ය.

පුදුමයකට මෙන් ‘ටියෝටිවකාන්’ හිරුගේ පිරමීඩයේ ප‍්‍රමාණය මිසරයේ ගීසා පිරමීඩයේ ප‍්‍රමාණයට හරියට ම සමානය. එය අහඹු සිදුවීමක්ද ? නැතිනම් පිරමීඩ දෙක ම නිර්මාණය කරනු ලැබුවේ එක ම නිර්මාණ කරුවන් පිරිසක් විසින් ද ? 

පුරාණ පිටසක්වළ ජීවීන් ගැන මත පළ කරන විද්‍යාඥයන් මෙසේ අපූරු අදහසක් ඉදිරිපත් කර තිබේ. ‘මිසර හා පුරාණ මෙක්සිකෝ වැසියන්ට පිරමීඩ හදන්න උගන්වන්න ඇත්තේ එකම පිටසක්වළ ජීවීන් පිරිසක්. 

එහෙම නැතිනම් පිරමීඩ හැදුවේ ලොව පුරා සංචාරයේ යෙදුණු පුරාණ සංචාරකයන් පිරිසක්. ඔවුන් වසර ගණනක් පුරා එක් තැනක සිට තවත් තැනකට ගමන් කළා.පුරාවිද්‍යාත්මක ප‍්‍රාතිහාර්යයක්, නිර්මාණ කරුවන්ගේ දස්කමක්, කියන දේ නම් එකහෙළා ම පිළිගන්න ටිකක් අමාරුයි නේද ?’ එම විද්‍යාඥයෝ විමසා සිටිති.

ටියෝටිවකාන් නගරයේ ‘හිරු’ගේ පිරමීඩයට අමතරව ‘සඳු’ගේ පිරමීඩය නමින් හැඳින්වෙන පිරමීඩයකුත් දකින්න ලැබේ. පුරාවෘත්තවලට අනුව මෙම පිරමීඩ ඉදි කළ බව පැවැසෙන්නේ යෝධයන්ය. 

ඔවුන් මේ පිරමීඩ නිර්මාණය කර ඇත්තේ, ලෝකය විනාශ වන මොහොතේදී යැයි සෙල් ලිපිවල සඳහන් වී ඇත. ඇස්ටෙක් සහ මායාවරුන්ගේ විශ්වාසවලට අනුව අතීතයේ දී අපේ ලෝකය සිව්වරක්් විනාශ වී තිබේ. ඒ, අයිස්වලින්, සුළඟින්, ගින්නෙන් හා ජලයෙනි. 

මායා කැලැන්ඩරයට අනුව 2012 වසරේ දී ද ලෝකය විනාශ වන බවක් සඳහන් වුවත් එවැන්නක් සිදුවූයේ නැත. කෙසේ නමුත් ලෝකය විනාශ වුණැයි පැවැසෙන සෑම අවස්ථාවකදීම මිනිසා යළි ලෝකය නිර්මාණය කරලා තිබේ. ටියෝටිවකාන් නගරය නිර්මාණය කර තිබෙන්නේත් එවැනි ලෝක විනාශයක් සිදුවීමෙන් පසුවයි.

පිරමීඩ වැනි මෙම දැවැන්ත නිර්මාණ ඉදිකළේ ඇයි ? ඒවායේ අරමුණ කුමක්ද ? ඇතැමුන් පවසන්නේ, මිසරයේ රජවරුන් වූ පාරාවෝ ඔවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වීමට යෝධ පිරමීඩ නිර්මාණය කළ බවය. එසේ නැතිනම් පැරැුන්නන්, අපව දමා යන්නට පෙර අපට යමක් ඉතිරි කර ගියා වෙන්න පුළුවනි. 

පිරමීඩ ඉදි කළේ ඇයි යන්න පුරාණ මිසර ලේඛනවල සඳහන් වෙයි. ඒ අනුව, පිරමීඩ ඉදිකර ඇත්තේ දැනුම ගබඩා කිරීමටය. විශ්වයේ රහස්, විශ්වයේ දැනුම මනුෂ්‍ය වර්ගයාට ලබා දීමටය. මේ දැනුම අපට දුන්නා යැයි පැවැසෙන්නේ දෙවියන් විසිනි. එපමණක් නොව, මිසරයේ පිරමීඩ නිකම්ම නිකම් පාරාවන්ගේ සොහොන් ගැබ් නොවන බව පැහැදිලිය.

0 comments:

Post a Comment