Pages

Subscribe:

Ads 468x60px

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගාල්ල කරාපිටිය රෝහලෙන් මතුවූ හොල්මන් අවතාර කතා දැන් කිසිවකුටත් රහසක් නොවේ. එහෙත් ඒ සිදුවීම්වල උණුසුම පහව යන්නටත් පෙරම තවත් එබඳු හොල්මන් කතාවක් පිබිදෙමින් තිබේ. ඒ ගම්පහ අස්ගිරිය ප්‍රදේශයෙනි. 

ඒ එම ප්‍රදේශයේ රාත්‍රී කාලයේ සැරිසරන අද්භූත කාන්තා රුවක් මුල්කොටගත් කතා ප්‍රවෘත්තියකි. වේලයක් බඳු සුදු රෙදි කඩකින් මුහුණ වසා ගත් බවක් පැවසෙන මෙම අද්භූත කාන්තා රුව වැඩිපුරම දර්ශනය වනුයේ ගම්පහ අස්ගිරියේ ඇනිකට් හන්දිය නම් ස්ථානයේ බව පැවසෙයි. 

එමෙන්ම මෙම අවතාරය පිළිබඳ තවත් විශේෂත්වයක් ද ඇත. එනම් මෙය තරුණ පිරිමින්ට පමණක් දර්ශනය වීම ය. මෙම අද්භූත දර්ශනයෙන් බිය
පත් තරුණයන් කිහිප දෙනෙකුද එම ප්‍රදේශයේ ඇතැයි දැනගත හැකිවිය. 

පසුගිය සතියේ ජනමාධ්‍ය මගින් සුවිසල් ප්‍රචාරයක් ලබා ගත් කරාපිටිය රෝහ‍ලේ අද්භූත කාන්තා රුවට කෙසේවත් නොදවෛනි මෙම ගම්පහ අස්ගිරියේ අද්භූත ගැහැනිය පිළිබඳ කතා ප්‍රවෘත්තියේ සුලමුල සොයා අපි පසුගිය දිනවල එම ප්‍රදේශයේ සංචාරයක යෙදුණෙමු.

“දැන් සති කීපයක ඉඳලා රෑ හතේ විතර ඉඳලා සුදු වේල් එකක් වගේ රෙද්දකින් මුණ වහගත්තු ගෑනු කෙනෙක් පාර අයිනේ පෙනී ඉඳලා එක සැරේම නොපෙනී යනවා කියලා මේ පැත්තේ ලොකු කතාවක් පැතිරිලා යනවා; හැබැයි මේ දේ දැකලා තියෙන්නේ වයස අවුරුදු දාහසයේ ඉඳලා තිහ විතර වෙනකම් තරුණ පිරිමි ළමයි විතරයි” 


මෙම ගමනාරම්භයේ දීම ගම්පහ අස්ගිරිය ඇනිකට් පාරේ දී නැතහොත් ඉදල්වල ගොවිජන ව්‍යාපාරයට ජලය සැපයෙන ඇළ මාර්ගය අද්දරදී හමුවූ කාන්තාවක කීවාය. ඒ අනුව අප විසින් කළ යුතු පළමු කාරිය වූයේ එම අද්භූත අත්දැකීමට මුහුණ දුන් තරුණයෙකු සොයා ගැනීමය. එහෙත්, එය මුලදී අප සිතූ තරම් පහසු කටයුත්තක් නොවිණි. 

ඒ මේ දැන් ගෙදර දෙසට ගිය බව දැන ගන්නට එම අද්භූත දර්ශනය දුටු බව පැවසුණු ප්‍රදේශයේ තරුණයකු ලුහුබැඳ ගිය අපට ඔහු ගෙදර නොපැමිණි බව එම නිවැසියන් දන්වා සිටි බැවිනි. ඒ අනුව අපට සිදුවූයේ ආපසු හැරී ඒමටය. “අපිටත් ඔහොම සීන් එකක් වුණා. අපේ නම් ගම් දාන්නේ නැත්නම් විතරක් ඒක කියන්නම්.” ආපසු එන අතරේ අතරමගදී හමුවූ තරුණයෙක් කීය.

“පහුගිය දවසක අපි හැන්දෑවේ හයට හතට විතර ඔතන ඇනිකට් එක ළඟ ‍පොඩ්ඩක් සෙට් වුණා. කොහොම හරි වැඩේ පටන් අරන් විනාඩි දහයක් වත් ගියේ නැහැ. එක පාරටම අපි හිටපු තැනට ගල් වීසි වෙන්න පටන් ගත්තා. කොහොම හරි අපේ බයිට් එක උඩටත් ගල් වැටුණා. අපි හොඳටම දන්නවා මේක කවුරුවත් කරපු එකක් නොවෙන බව; ඒ හින්දා එන‍පොට හොඳ නැති බව දැනගෙන අපි හීන් සීරුවෙම මාරුවුණා” ඔහු කීය.


ඊළඟට අපට මේ සම්බන්ධයෙන් තොරතුරක් කීයේ එම ප්‍රදේශයේ වෙළඳසලක් අද්දර දී හමුවූ අයෙකි.


“දවසක් රෑ කළුවර වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ඇළේ නාන කොල්ලෝ කට්ටියක් දැකලා තියනවා; ඇළ අයිනේ නතර කරලා තියන ත්‍රීවීලර් එකක හෙඩ් ලයිට්  සිග්නල් ලයිට් නිවෙනවා පත්තු වෙනවා. ඒත් කවුද මේ වැඩේ කරන්නේ කියලා හිතා ගන්න බැරි හින්දා එක කොල්ලෙක් ඇළෙන් ගොඩවෙලා ගිහින් ත්‍රීවීලර් එකට එබිකම් කරලා බලලා තියෙනවා. 


එතකොටයි දැකලා තියෙන්නේ ඒක ඇතුළෙ කිසිම කෙනෙක් නැති බව ඔහු එසේ පවසන අතර එහි සිටි තවත් අයකු කියා සිටියේ වරක් මෙම ප්‍රදේශයට ‘හයර්’ එකක් පැමිණි ගම්පහ නගරයේ ත්‍රිරෝද රථයක් මෙම ඇනිකට් එක අද්දර ක්‍රියා විරහිත වීමෙන් පසු එහි රියැදුරා විවිධ බියජනක සිදුවීම්වලට මුහුණ දුන් බවකි.

ගම්පහ අස්ගිරියේ දී දක්නට ලැබෙතැයි පැවසෙන මෙම සළුවකින් මුහුණ වසා ගත් අද්භූත කාන්තා රුව පිළිබඳ ප්‍රවෘත්තිය අද වන විට ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගොසිනි. එහෙත්, ඒ සම්බන්ධයෙන් තම සෘජු අත්දැකීමක් හෙළි කිරීමට කිසිවකුත් ඉදිරිපත්වන පාටක් නැත. ඒ වෙනුවට බොහෝ දෙනකු ඉදිරිපත් වනුයේ ඒ සම්බන්ධයෙන් සෙස්සන් ලත් අත්දැකීම් විස්තර කිරීමටය. ඒ ද නමින් නොව නොනමිනි.


මේ ළඟකදී මේ කිට්ටුව පිරිත් ගෙදරක් තිබුණා; රෑ බෝවෙලා ඒකට ආපු කොළු ගැටයෙක් තමන් ආපු සයික‍ලේ නතර කරලා පිරිත් ගෙදර මිදු‍ලේ නතර කරලා තිබුණු ත්‍රීවීලර්  එකකට නැගලා ඉඳලා එක පාරටම යටි ගිරියෙන් හූ තුනක් කියාගෙන ඔය ඇළ පැත්තට දුවන්න පටන් ගත්තා.


 මේ සිද්ධිය දැක්ක කීප දෙනෙක් දුවලා ගිහින් ඒ කොළු ගැටයව අල්ලා ගත්තා. ඒත්, මේ කොල්ලව මොන විදිහකින්වත් මෙල්ල කර ගන්න බැහැ. කොහොම හරි දවස් කීපෙකට පස්සේ මේ කොල්ලා සාමාන්‍ය තත්ත්වයට පත් වුණාට පස්සෙයි අනික් අය කාරණේ දැන ගත්තේ. 

මෙයා බයික් එකේ පිරිත් ගෙදරට එනකොට ඇළ අයිනේදී එක පාරටම බයික් එකට කවුරු හරි නගිනවා වගේ ලොකු බරක් දැනිලා තියෙනවා. ඒ බරට බයික් එක ඒ මේ අතට පැද්දිලා පෙරළිලා. ඊට පස්සේ තමයි මේ ළමයා ඇවිත් අර ත්‍රීවීලර් එක ඇතුළේ හැංගිලා තියෙන්නේ බය වැඩිකමට.


ඒ කෙසේ හෝ මේ චාරිකාවේදී අපට අවශ්‍ය වූයේ ඉහත දැක්වුණු රූපකාය සහිත සුදු හැඳගත් ගැහැනිය ඇසින් දුටු එක් අයකුගේ හෝ අත්දැකීම් ගොනු කර ගැනීමටය. මන්දයත් මෙලෙස සුදු හැඳගත් කාන්තා රූපය හෙවත් සුදු නෝනාගේ අවතාරය අප රටට පමණක් සීමාවූවක් නොවෙන බැවිනි.


Mulher de Braonco නමින්ද හැඳින්වෙන මෙය ලෝකයේ බොහෝ රටවල ගම්බද පළාත් ආශ්‍රිතව දිස්වන්නේ යැයි කියනු ලබනු ලැබේ. ඇය විපත්, ශෝකාන්ත සහිත ඉපැරණි ජනප්‍රවාද හා සම්බන්ධ බැව්ද පෙනේ. ලෝකය පුරාම මෙවැනි කතා අසන්නට ලැබේ. 


මේ අතුරින් බොහොමයක් අවතාර සිය සැමියාගේ හෝ පෙම්වතාගේ හෝ ද්‍රෝහිකම්වලට ලක් වූ ගැහැනුන්ය.  අප රටේ මෝහිනියගේ අවතාරය ද මීට බෙහෙවින් සමාන බව ඔබට එක්වරම සිහියට නැංවෙනු ඇත.

“ඔය ඇනිකට් එකට නාන්න ගිහින් සෑහෙන දෙනෙක් මේ වෙනකොට මැරිලා තියෙනවා. පහුගිය සුමානෙත් මිනියක් ගොඩ ගත්තා. ඒත් ඔය අවතාරය මීට අවුරුදු හතරට විතර කලින් ඔය ඇළේ ගිලිලා මැරුණු එක ගෑනු ළමයෙකුගේ කියලයි කියන්නේ; ඒ හින්දා තමයි මේ පැත්තේ කිසිම කෙනෙක් ඒ වෙනුවෙන් පෙනී හිටින්නේ නැත්තේ ඒ මැරුණු ළමයට මදිපුංචිකමක් වෙයි කියලා” 


මේ ගමනේදී අපට හමුවූ වැඩිහිටි කාන්තාවක කීවාය. වැඩිදුරටත් ඇය කී විස්තරවලට අනුව එම තරුණිය ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ තරුණයකු හා දීග පැමිණි නුවරඑළිය ප්‍රදේශයේ තරුණියකි. ඉතා ගුණයහපත් දිවි පවෛතකට හිමිකම් කී ඇය තම සැමියා සමග එම ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස් තිබේ. 

මේ අතර එක්තරා දිනයක ඇය රෙදි සේදීම පිණිස මෙම ඇළට පැමිණ ඇතත් ආපසු නිවසට ගොස් නැත. මේ පමාව දුටු ඇගේ සැමියා සහ ඔහුගේ දෙමාපියන්ට ඇය සේදීමට ගෙනා රෙදි පමණක් ඇළ අයිනේ තිබි හමුවී ඇත. 

ඉන්පසු ඇයගේ මළ සිරුර එම ඇළ පාරේ ඇනිකට්ටුව අද්දර තිබි සොයා ගෙන තිබේ.  ඇගේ මරණයට හේතුව   එම ඇළේ ජල මට්ටම එක්වරම ඉහළ ගොස් ඇය ගසාගෙන යාම නිසා බව  පසුව අනාවරණය වී තිබේ.
“ඔය කියන හොල්මන ඇත්තක්ද ? ඒක කාගේ එකක්ද ? කියන්න අපි දන්නෙ නැහැ. 


නමුත් මේ හොල්මන් සිද්ධියට ඒ ළමයව සම්බන්ධ කරන එකට නම් මුළු ගමම විරුද්ධයි. මොකද ඒ එච්චර හොඳ ළමයෙක්” මේ ගමනේ දී අපට හමුවූ කාන්තාවක කී බැවින්  එම මියගිය තරුණියගේ නැන්දණිය සහ මාමණ්ඩිය මුණ ගැසීමටද අපි අමතක නොකළෙමු. එම අවතාරය පිළිබඳව විස්තර වන්නේ වේලයක් වැනි රෙදි කඩකින් මුහුණ ආවරණය කර ගත් කාන්තාවක ලෙසිනි. 

ඒ අනුව එම මුහුණ වසා ගත් කාන්තාව මීට සිව් වසරකට ඉහත දියේ ගිලී මියගිය තරුණිය වශයෙන් නිසැක ලෙසම හඳුනාගෙන ඇත්තේ කවුරුන් විසින්ද ?

“මෙහේ හොල්මන් තියනවා කියලා පත්තරවලට ලියන්න එපා. ඕක මේ පැත්තේ මිනිස්සු බය ගන්වලා ගෙවල් බිඳීම් වගේ අපරාධ කරන්න සැලසුම් කරපු අයගේ සංවිධානාත්මක වැඩක් වෙන්න පුළුවන්; 


ඔය අවතාර බය හින්දා හවස හය වෙනකොට මිනිස්සු ගෙවල් ඇතුළට වෙලා දොරවල් වහගන්නව ඒකෙන් වාසි ගන්න බලා‍පොරොත්තු වෙන පිරිසකුත් මෙහේ ඉන්නවා. 

මෙම චාරිකාව අන්තයේදී අප හා කීයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට
සම්බන්ධ ප්‍රදේශයේ ප්‍රභූ වැඩිහිටියෙකි.


“අනික ඔය කියන හොල්මන දැකලා තියෙන්නේ ඔක්කොම තරුණ කොළු ගැටව්; අද කා‍ලේ රටේ තොටේ සිද්ධ වෙන දේවලුයි කොල්ලෝ කරන කියන දේවල් වල හැටියට ඔය වගේ එක එක විකාර රූප මැවි මැවී පේන්න පුළුවන් කියන කාරණෙත් අපි අමතක කරන්න හොඳ නැහැ” ඔහු කීයේ මෙම හොල්මන් අවතාර සංසිද්ධියට අමුතුම අර්ථ කථනයක් ලබා දෙමිනි.


කෙසේ හෝ මෙහි ඉහත සඳහන් කිසිදු ප්‍රකාශයක යුක්තායුක්ත භාවය පිළිබඳ විනිශ්චයකට ඒමට අපට නොපුළුවන. එහෙත් මෙම සමස්ත හොල්මන් සංසිද්ධිය සම්බන්ධයෙන්ම අපට කීමට ඇත්තේ හුදෙක් ප්‍රදේශය පුරා පැතිර යන කටකතා මත පදනම් වූවකට වඩා ගැඹුරක් මෙම අවතාර සිද්ධිය තුළ ඇති බවක් අපට නම් නොපෙනෙන බවකි.

0 comments:

Post a Comment