Pages

Subscribe:

Ads 468x60px

පොලිස්‌ නිල සුනඛ "බොබී" ගේ අවසන් කටයුතු ආගමික වතාවත් මැද සිදු කෙරේ


ගාලු කොටු පවුර මත පුහුණුවීම්වල යෙදී සිටියදී කොටු පවුර මතින් ඇද වැටීමෙන් මියගිය 'බොබී" නමැති පොලිස්‌ නිල සුනඛයාගේ අවසන් කටයුතු මතක වස්‌ත්‍ර පූජාකොට ආගමික වතාවත් සිදුකොට පැන් වඩා සිදු කෙරුණි.

ප්‍රභූ ආරක්‍ෂක කටයුතු වලදී 'බොබී' සුවිශේෂී වූ කාර්යභාරයක්‌ ඉටුකළ නිල සුනඛයෙකි. ගාලු කොට්‌ඨාසයේ පොලිස්‌ නිල සුනඛ අංශයට අනුයුක්‌තව සිටි 'බොබී' 'රොකී' හා 'ජෙම්' නමැති නිල සුනඛයන් තිදෙනා පුහුණුවීම් කටයුතු සඳහා ගාලු කොටු පවුර මතට රැගෙන ගොස්‌ සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

'බොබී' පුහුණුවීම්වල නිරතව සිටියදී වෙනත් සුනඛයන් දෙදෙනකු කොටු පවුර මත ගමන් කරමින් සිටියදී බෝබි එම සුනඛයන් දෙදෙනා පසුපස

එලවාගෙන ගොස්‌ තිබේ. කොටු පවුර මත ඇති මාර්ග පිළිබඳ අවබෝධයක්‌ තිබී නැති 'බොබී' එම සුනඛයන් දෙදෙනා පසුපස එළවාගෙන යමින් සිටියදී කොටු පවුර මතින් මාර්ගයට ඇදවැටී මෙම අනතුර වී ඇත.

පොලිස්‌ නිල සුනඛ අංශයේ පොලිස්‌ නිලධාරීන් විසින් 'බෝබි' ප්‍රතිකාර සඳහා කඩිනමින් ලබුදුව පශු වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන ගොස්‌ ඇත. 'බොබී'ගේ ජීවිතය බේරා ගැනීම සඳහා පශු වෛද්‍ය නිලධාරීහු දැඩි උත්සාහයක නිරත වුවද එම උත්සාහය අසාර්ථක වී ඇති අතර 'බෝබි' පශු වෛද්‍ය කාර්යාල රෝහල තුළදී මියගොස්‌ තිබේ.

'බොබී' ගාල්ල කොට්‌ඨාසයේ පොලිස්‌ නිල සුනඛ අංශයේ සේවය සඳහා රැගෙනවිත් ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. බෝබිගේ සේවා කාලය වසර 05 කි. මිය යැමට පෙර හොරණ, මහනුවර යන ප්‍රදේශවල පොලිස්‌ නිල සුනඛ අංශයට අනුයුක්‌තව ද සේවය කොට ඇත.

ජනාධිපති අගමැති ඇතුළු ප්‍රභූවරුන් දකුණේ සහභාගි වන උත්සවවලදී ආරක්‍ෂක කටයුතු සඳහා මෙන්ම පුපුරණ ද්‍රව්‍ය පරීක්‍ෂණ කටයුතු සඳහා ද බෝබිගේ දායකත්වය පොලිසිය විසින් ලබාගනු ලබන අතර පොලිස්‌ කොස්‌තාපල් සුරංග මහතා බෝබි භාරව කටයුතු කළේය.

0 comments:

Post a Comment