Pages

Subscribe:

Ads 468x60px

එයාලා මගේ සැමියාගේ එව්වා මෙව්වා ඇද්දා - සේමිණි


සේමිණි ඉද්දමල්ගොඩ ප්‍රේක්ෂක හිතවතුන්ගේ ළබැඳි චරිතයක් ලෙසින් තහවුරු වූයේ රූපවාහිනි මාධ්‍යය ඔස්සේය. නිළියකට ඔබින ශෝභාමත් රූප සම්පත්තිය සේම රංගන දක්ෂතාව ද ඇතිව ක්ෂේත්‍රයට පැමිණි ඇය ඉතා කෙටි කලකදී ප්‍රේක්ෂකයන් පිනවීමේ ප්‍රබලතම තැනැත්තියක් බවට
පත්වූවාය. 

රංගන ශිල්පිනියක ලෙසින් තමන්ට ලැබෙන විවිධ චරිත නිරූපණයේදී රූපණවේදයේ ඉහළ කුසලතා පළ කළ ශිල්පිනියක් ලෙස ඇගේ මාවත අද තෝරා බේරා ගැනීමකින් යුක්තව නිර්මාණය කර ගත්තා.

සේමිණි මේ දවස්වල චිත්‍රපට දෙකකින් දකිනවා. ඒ ‘කෝ මාර්ක් නෝ මාර්ක්’ සහ ‘අපි මැරෙන්නේ නෑ’ යන චිත්‍රපටවලින්. මේ දෙකෙන්ම ඔබ හමුවන්නේ කිසියම් ප්‍රහසනාත්මක ලක්ෂණත් එක්ක.

ඇත්තටම ප්‍රහසනාත්මක චරිත රංගනයක් මම කරපු පළමු අවස්ථාව මේක නොවෙයි. පුංචි තිරයේ ‘යර්ස් බොස්’ වගේ ප්‍රහසන ටෙලි නාට්‍යයකට මට ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක බලනකොට මේක අලුත් දෙයක් නොවෙයි. 


නමුත් මේ චිත්‍රපට දෙකේ චරිත දෙ‍ෙක්ම තිබෙන වැදගත් ලක්ෂණය වෙන්නේ ප්‍රහසනය මතු කරන්නේ දෙබස්වලින් නොවීමය. මේ චරිතය මුහුණ දීමට සිදුවන සිද්ධි සමඟ අපි ප්‍රකට කළ යුතු හැඟීම් මුහුණේ ඉරියව් මාර්ගයෙන් තමයි ඒ හාස්‍යය මතුවෙලා තිබෙන්නේ. ‘යර්ස් බොස්’ හුරුවත් තිබුණු නිසා චරිත නිරූපණයේදී ලොකු අමාරුවක් වුණේ නෑ.

ඔබ පුංචි තිරයෙන් පැමිණි නිළියක්. නමුත් දැන් දැන් හිතෙනවා ඔබේ අනාගතය සිනමාවට බර වෙනව නේද කියලා.

ඇත්තටම මං පුංචි තිරයෙන් ආව කියන එක කවදාවත් අමතක කරන්නේ නෑ. නමුත් මගේ වැඩි කැමැත්ත සිනමාවට තමයි. පසුගිය කාලයේ ඒ තුළ මට වැඩි යමක් කිරිමේ ඉඩක් නොලැබුණු එක ඇත්ත. 


නමුත් ඉදිරියේ දී තිරගත වීමට නියමිත චිත්‍රපට දෙකක් වෙනුවෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මට හිතෙනවා මගේ රංගන ජීවිතයේ කඩඉමක් වෙයි කියලා මේ චිත්‍රපට දෙක.

මොනව ද ඒ චිත්‍රපට දෙක?

එකක් ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ ‘සිනහව අතරින්’ චිත්‍රපටය. මම හිතන්නේ ඉස්සරලම තිරගත වෙනවා ඇත්තේ ඒ චිත්‍රපටය. අනෙක් චිත්‍රපටය ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ “28” චිත්‍රපටය. මේ චිත්‍රපට දෙකේ මම රඟපාන්නේ දෙවිදියක චරිත දෙකක්.

ප්‍රසන්න ජයකොඩිගේ 28…?

මේ චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන රැසක් මේ වන විටත් ලබාගත්ත චිත්‍රපටයක්. චිත්‍රපටයේ ජාත්‍යන්තර ප්‍රදර්ශනය පැවැත්වුණේ නෙදර්ලන්තයේ රොටඩෑම්වල. මම ඒකට සහභාගි වුණා. 


මේ චිත්‍රපටය නරඹන්න ඇතුළුට එන විට ප්‍රතිචාර දක්වන්න පුංචි කඩදාසියක් දුන්නා. නරඹලා ඉවර වෙලා ඒක ප්‍රතිචාර සලකුණු කරලා පුංචි පෙට්ටියකට දමන්න ඔවුන් ලෑස්ති කරලා තිබුණා. ‘exellent’ කියලා ප්‍රතිචාර දක්වපු වැඩිම පිරිසක් හිටියේ මේ චිත්‍රපටයට.

මේ චිත්‍රපටයේ ඔබ කවුද?

මම ‘මළමිනියක්’. ඒක හරි අමුතු කතාවක්. ජීවත්ව ඉන්න ගැහැනියකට කතා කරගන්න බැරි දේවල්, ප්‍රකාශ කරගන්න බැරි හැඟීම් මේ මළමිනිය සංකේතවත් කරමින් සිදු වෙනවා. මේ අපි අපේ ජිවිත ඇතුළේ කොපමණ හිර වෙලා ද ඉන්නේ කියලා හිතෙනවා. චිත්‍රපටයේ මගේ සැමියා විදියට රඟපාන්නේ මහේන්ද්‍ර පෙරේරා.

ඇයි ඔබ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් දුරස් වෙන්නෙ?

අවුරුදු හතරකින් මම ටෙලි නාට්‍යයක රඟපාලා නෑ. ඒ කාලේ රඟපාපු ‘දමයන්ති’ කියන ටෙලි නාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. දැන් ඒක ‘දිරිය දෝනි’ කියලා නම වෙනස් කරලා. මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ ඇන්ඩෲ ජයමාන්න සහ දීප්ති විජේතුංග. 


දැනුත් මට ටෙලි නාට්‍යවලට කතා කරනවා. සමහර ඒවා බලද්දී තිර පිටපතේ ගත යුත්තක් නෑ. ඒක අමතක කරලා මුදල් ගැන හිතල ගාණක් කිව්වම ඒකටත් අදිමදි කරනවා. 

මට වැඩක් කරන්න පුළුවන් චරිතයක් නම් මට ලැබෙන මුදල ගැන හිතන්නෙත් නෑ දැන් මගේ ව්‍යාපාර කටයුතු බලා කියාගෙන නිදහසේ ඉන්න තමයි කැමැති. මට යමක් කළ හැකි හොඳ චරිතයක් ලැබුණොත් මම ටෙලි නාට්‍යය නොකර ඉන්නේ නෑ.

රංගන ක්ෂේත්‍රයේ ඔබ පූර්වාදර්ශ සපයා ගත් නිළියන් සිටිනවා ද?

මම රංගන ශිල්පිනියක් විදියට ඉදිරියට ආවේ ශ්‍රියානි අමරසේන මහත්මියගේ අනුදැනුම ඇතුව. ඇගේ සිනමා ගමන්මඟ දෙස මම බැලුවා. ඒ වගේම ස්වර්ණා මල්ලවාරච්චි වැනි රංගන ශිල්පිනියන් මට පූර්වාදර්ශ චරිත ලෙස සලකනවා.

පසුගිය කාලය ඇතුළත මේ රටේ කලා ශිල්පීන් දේශපාලනමය ක්‍රියාකාරකම් වෙත මැදිහත් වුණා. ඇත්තටම කලා කරුවන් දේශපාලනීකරණය වෙන එක හරි ද?
දේශපාලනමය වශයෙන් අපි හැමෝටම කිසියම් මතයක් දැරීමේ අයිතිය තිබෙනවා. නමුත් මට හිතෙනවා කලාකරුවෝ කිසියම් පක්ෂයක පාටකට වෙන්වී නියෝජනය නොකළ යුතුයි කියලා. අපි හැමෝම ජනතාව ආදරය කරන ජනතා නියෝජිතයෝ. 


අපි එක එක පාට පක්ෂ බදා ගත්තම ඒක ප්‍රේක්ෂකයාට කරන අසාධාරණයක්. නමුත් පසුගිය දේශපාලනමය වාතාවරණය තුළ මට ලොකු බයක් දැනුණා. මේ විදියට ගියොත් අපේ රට කිසියම් ම්ලේච්ඡ තත්ත්වයකට ඇද වැටෙයි කියලා. අපේ රටේ නීතියක් තිබුණේ නෑ. විනයක් තිබුණේ නෑ.

එකිනෙකාට ගෞරව කිරීමක් තිබුණේ නෑ. මට හිතුණා අපේ දරුවන්ට ඉතිරි වෙන්නේ ම්ලේච්ඡ රටක් කියලා. මේ දේවල් එක්ක කලාකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධිය ඇහුවම මට ලොකු කේන්තියක් ආවා. 


ඒ නිසා තමයි ඊට විරුද්ධව සාධාරණය ඉෂ්ට කරන්න කියන පණිවුඩය දුන්නේ. මගේ සැමියා පොලිස් නිලධාරියෙක්. මගේ ව්‍යාපාර ආරක්ෂක අංශයට සම්බන්ධ ව්‍යාපාර. මේ සියල්ල කෙරෙහි බලපෑමක් එයි කියන සිතුවිල්ල ඇතිව භයානක ගමනක් මම ගියේ. 

ඒ ප්‍රකාශයෙන් පස්සේ මට නොයෙක් තර්ජන ආවා. දුරකථන ඇමතුම් ආවා. මගේ සැමියාගේ කාර්යාලයට හිටපු ගමන් එස්. පී. ලා එස්. එස්. පී. ලා කඩාගෙන වැදුණා. පසුගිය files ඇදගෙන චෙක් කළා වැරැද්දක් අල්ලගන්න පුළුවන් ද බලන්න.

රංගනය, ව්‍යාපාර සමඟ පවුලේ සබඳතා ඔබ පවත්වාගෙන යන්නේ කොහොම ද?

මම රංගනයට ආපු දවසේ ඉඳන්ම හැකි සැම විටම ගෙදර හිටපු කෙනෙක්. එදා ඉඳන්ම මගේ පවුලට, ස්වාමියාට, දියණියට, ඥාතින්ට ඉටුවෙන්න ඕන යුතුකම් ගැන සොයා බලා ඉටුකරපු කෙනෙක්. ඒක ඒ විදියටම අදත් කෙරීගෙන යනවා. දියණිය කුමලී දැන් ලොකුයි එයා නිළියක් වෙනවට නම් මම කොහොමත් කැමැති නෑ. 


එයා හොඳට ඉගෙන ගන්නවා. ඒ කටයුතු ගැන මම සොයලා බලනවා. මම හිතන්නේ නෑ එයා කලාව පැත්තට යොමු වෙයි කියලත්. දැන් අපි විවාහ වෙලා අවුරුදු 20 ක් ගතවෙලා. අපි බොහොම නිදහසේ සාමකාමී පවුල් ජීවිතයක් ගෙනියනවා.

0 comments:

Post a Comment