Pages

Subscribe:

Ads 468x60px

ආදරයට අවුරුදු හතරයි විවාහයත් ළඟදීම - නතාෂා-ප්‍රිහාන් ආදර කතාව හෙළිවුණ හැටි


තමන් සමඟ යුග ගීතයක් ගායනා කරන්න ආරාධනා කළ තරුණයා සමඟ ජීවන ගීතය ගයන්න සිදුවේවි යැයි අෑ හීනෙකින්වත් නොසිතුවාය. එහෙත් යුග ගීතය ගැයූ ඇය සමඟ ජීවන ගීතය ගයන්නට ඇය දුටුදා පටන්ම ඔහු හීන මැව්වේය. 

ඒ හීනය හැබෑ කරගන්නට නොහැකි තරමට ඔහු අවාසනාවන්තයෙක් නොවීය. එබැවින් යුග ගීය ගැයූ ඒ සුන්දරිය සමඟ ජීවන ගීය ගයන්නට දැන් ඔහු තනු පද බඳින්නේය. ඒ ප්‍රිහාන් මඩප්පුලිය. ප්‍රිහාන්ගේ මනමාල සිත සොරාගත්තී නතාෂා පෙරේරාය. සිවු වසරක් අපට රහසක් නොවුණු එහෙත් රටට රහසක් වුණු ප්‍රිහාන්_නතාෂා ආදර අන්දරයයි මේ.

යුග ගීතයක් ගයන්න ගිහින් අන්තිමට ජීවන ගීතයත් එකටම ගයන්න තීරණය කළා නේද නතාෂා...?
ඔව්... මං හිතනවා ඒක මම මගේ ජීවිතයේ ගත්ත හොඳම තීරණයක් කියලා.


ඒ හොඳම තීරණය අරගත්තේ අද ඊයේ නෙවෙයිනේ. තමන් පෙම්වතියක් බව රසිකයන්ට අවුරුදු හතරක්ම හැංගුවේ ඇයි?
හැමදේටම හොඳ වෙලාවක් තියෙනවා. පසුගිය කාලේ අධ්‍යාපන කටයුතු නිසා මම කාර්යබහුල වුණා. දැන් මම ඒ දේවල්වලින් පුංචි නිදහසක් ලබලා තියෙනවා. ඒ නිසා අපි හිතුවා අපේ ආදරය ගැන කතා කරන්න

මේක හොඳම වෙලාව කියලා.

ප්‍රිහාන් එක්ක ජීවන ගීතය ගයන්න තීරණය කරන තරමටම ඔහු සුවිශේෂී වුණේ කොහොමද නතාෂා...?
"යායට පායනා" ගීතය ගැයුවට පස්සේ අපි හුඟක් හිතවත් වුණා. මුලින්ම අපි යාළුවෝ. පස්සේ තමයි පෙම්වතුන් වුණේ. ප්‍රිහාන්ට හුඟක් හොඳින් මාව තේරුම් ගන්න පුළුවන් වුණා. අම්මි තමයි මගේ ජීවිතේ ළඟින්ම හිටියේ. ප්‍රිහානුත් ඒ තරමටම මට සමීප වුණා. 


සතුටක් විතරක් නෙවෙයි දුකක් කරදරයක් වුණාමත් ඒ හැමදෙයක්ම අපිත් එක්ක බෙදාහදා ගන්න ප්‍රිහාන්ට පුළුවන් වුණා. අම්මි වගේම ආදරෙන් මාව බලාගන්න, මට විශ්වාස, මාව අවබෝධ කරගත්ත කෙනෙක් කියලා හිතුණ නිසයි ප්‍රිහාන්ට මගේ ජීවිතේ ඉඩක් වෙන්කරලා දුන්නේ...

ගීතය ගයන්න ආරාධනා කළේ නතාෂාට ළංවීමේ උපක්‍රමයක් විදියටද ප්‍රිහාන්...?
අපෝ නැහැ... ඒත් නතාෂා දැකපු වෙලාවේ ඉඳන්ම මගේ හිත මොකක්දෝ වුණා. කෙටියෙන්ම කිව්වොත් කැමැත්තක් ඇති වුණා. ඒත් ඒක මම පුංචි ඉඟියකින්වත් පෙන්නුවේ නැහැ. මොකද මම ගියේ ගීතයක් ගයන්න ආරාධනා කරන්න මිසක් විවාහයට ආරාධනා කරන්න නෙවෙයිනේ..


ඒත් ආරදයයි කැස්සයි හංගන්න බෑනේ...?
ඔව්... ඒත් නතාෂාට මම මගේ සිතිවිලි කියනකොට අපි යාළුවො විදියට හුඟක් සමීප වෙලා ඉවරයි. ඒ නිසා නතාෂාගේ ආදරය දිනාගන්න මට පුළුවන් වුණා.


ඇත්ත කියන්න ප්‍රිහාන් ඔයා වශී වුණේ නතාෂාගේ ලස්සනට නේද?
බොරු කියන්නේ මොකටද මුලින්ම ආකර්ෂණය වුණේ නතාෂාගේ ලස්සනට තමයි.

මුළු ජීවිතයම බෙදා හදාගන්න තීරණය කරන්න ලස්සන විතරක් හේතුවක් වෙන්නේ නෑ නේද?
ලස්සන නොවැදගත් නෑ. නතාෂාගේ ලස්සන ගැන මට තියෙන්නේ ආඩම්බරයක්. ඒත් නතාෂා මගේ පෙම්වතිය, බිරිය කරගන්න තීරණය කළේ එයාගේ හිතත් එයා වගේම ලස්සන නිසා. ඒ ගතිගුණ, ඇවැතුම් පැවැතුම්වලට මම හුඟක් ප්‍රියයි.


අම්මා කියන්නේ නතාෂාගේ සෙවණැල්ල. නතාෂා හයියෙන් හුස්මක් ගත්තත් අම්මිට දැනෙනවා. තමන් ආදරවන්තියක් කියලා අම්මිට කිව්වේ කොහොමද?
ඔයා කිව්ව දේ ඇත්ත. මම වැරැදියට ඇස්පිල්ලමක් ගැහුවත් අම්මා දන්නවා. අම්මිට මගේ වෙනසක් දැනිලා තිබුණා. අම්මි නිතරම කියන දෙයක් තමයි මම කවදාහරි විවාහ වෙන්න ඕනෑ මාව ආදරයෙන් බලාගන්න කෙනෙක් සමඟ කියලා. 


මුලින් කිව්වා වගේ ප්‍රිහාන් අපේ පවුලට සමීප වෙලා හිටියා. ඒ නිසා ප්‍රිහාන් ගැන අම්මි හොඳින්ම දන්නවා. කොහොම හරි මම අම්මිට කියන්න කලින් ප්‍රිහාන්ම අම්මිගෙන් මං ගැන ඇහුවා.

මං හිතන්නේ ප්‍රිහාන්ට ඒ අභියෝගය ජය ගන්න එක නම් ලේසි වෙන්නේ නැතිව ඇති... ඇත්තටම ප්‍රිහාන් කොහොමද ඒ අභියෝගයට මුහුණ දුන්නේ..?
ඉවසීම තමයි. මම මේ ප්‍රේමය ජයගත්තෙම ඉවසීමෙන්. නතාෂාට හිත ගිය ගමන්ම ඉවසලා හොඳ වෙලාව එනකන් නොහිටියා නම් මට නතාෂාගේ ආදරයත් නැති වෙනවා. නතාෂාගේ අම්මි සම්බන්ධයෙනුත් එහෙමයි. මම සුදුසුම වෙලාව එනකන් ඉවසුවා. ඒ වෙනකොට අම්මිගේ හිතේ මං ගැන පැහැදීමක් ඇති වෙලා තිබුණ නිසා ඒ අභියෝගයත් මම ජයගත්තා.

එතකොට ප්‍රිහාන්ගෙ ගෙදරින්..?
අම්මා තාත්තා නංගි මල්ලි මුල ඉඳන්ම නතාෂා ගැන දැනගෙන හිටියා. එයාලා නතාෂාට හරි ආදරෙයි. එයත් මගේ පවුලේ අයත් එක්ක එකමුතුයි.


දෙන්නා ප්‍රේමවන්තයෝ කියලා කියන්න ගීතයකුත් නිර්මාණය කරලලු නේද?
ඔව්... නිලාර් අයියා පද රචනා කළේ. රදේශ් වැන්දබෝනා තනු රචනා කරපු 'ඉඳුවර නීල නෙත්' ගීතය එළිදැක්වීමත් එක්ක පෙම්වතුන් කියලා කියන්න අපි හිතුවා. මේ දවස්වල ඒ ගීතයේ රූප රචනාව ගැන හිතනවා. උඊභඡඥ එකෙන් ගීතය අහන්න නම් පුළුවන්.

දෙන්නාගේ ආදර ගීතයට ලැබෙන ප්‍රතිචාර හොඳද ප්‍රිහාන්?
නිල වශයෙන් රීලිස් නොකළත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. යායට පායනා සඳ ගීතය මට මගේ ජීවිතේ තියෙනකල් අමතක වෙන්නේ නෑ. මොකද මට නතාෂාව හමුවුණේ ඒ ගීතය නිසා. ඒ වගේම තමයි 'ඉඳුවර නීල නෙත්' ගීතයත් මට කවදාවත් අමතක නොවේවි. මොකද ඒ අපේ ආදර මතක සටහන් නිසා.


පසුගිය කාලේ නතාෂා නිවේදිකාවක් විදියටත් සමීප වුණා. ලැබෙන ප්‍රතිචාර හොඳද?
පුංචි කාලෙත් මට ඒ අවස්ථාව ලැබුණා. ඊට පස්සේ තරුණ කාලේ දෙරණ විවාහ වැඩසටහන නිසා ඒ අවස්ථාව ලැබුණා. පුංචි කාලේ වගේම දැනුත් රසිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

නතාෂා කියන්නේ ගායිකාවක්, නිවේදිකාවක් විතරක් නෙවෙයි දක්ෂ නිළියක්. දැන් නතාෂා රඟපාන්නෙ නැත්තේ ප්‍රිහාන්ගෙන් අවසරයක් නැති නිසාද?
අපෝ නෑ මම කවදාවත් එයාට තහංචි දාලා නෑ.. මං හොඳින්ම එයාගෙ දක්ෂකම් දන්නවා. ඒ නිසා එයා කරන දේකට මම උදවු කරනවා. පසුගිය කාලේ අධ්‍යාපන කටයුතු නිසයි නතාෂාට රංගනය මඟහැරුණේ.


හෙට අනිද්දා නීතිඥවරියක් ආඩම්බරයිද නතාෂා...?
මට වඩා ඒ ගැන ආඩම්බර වෙන්නෙ ප්‍රිහාන්. ඒක එයාගේ හීනයක් හැබෑවීමක්. මට ප්‍රිහාන් හම්බවුණෙත් මම නීතිය හදාරන්න පටන් ගත්තෙත් එකට. ඉතින් ඒ හැමදේකදීම එයා හෙවණැල්ල වගේ හිටියා.

ඇත්තද ප්‍රිහාන් මේ කියන්නේ...?
නතාෂා ඉගෙන ගන්න මේ තරම් දක්ෂයි කියලා මං හිතුවෙ නෑ. මම කියන්නේ නතාෂා තවත් ඉගෙන ගන්න ඕනෑ.


ප්‍රිහාන් ගායකයෙක් වුණාට උනන්දු වෙලා ගීත කරන පාටක් නෑනේ...?
ඇත්ත, මමත් පසුගිය කාලේ අධ්‍යාපන කටයුතුයි පවුලේ ව්‍යාපාර කටයුතුයි නිසා ටිකක් කාර්ය බහුල වුණා. ඒ වගේම මම සංගීත ක්‍ෂේත්‍රය හා සම්බන්ධ නිෂ්පාදන අලෙවි ක්‍ෂේත්‍රයේ වැඩකරනවා. ඉතින් ඉදිරියට ඒ කටයුතුත් වැඩි දියුණු කරන ගමන් ගායනය ගැනත් හිතන්න ඕනෑ.

දැන් දෙන්නා එක වහලක් යටට යන්නේ කවදාද?
හොඳම වෙලාව ආවාම ඒ ගැන කියන්නම්. මුලින්ම හදගැස්මට කියන්නම්කෝ. දෙන්නා දකින හීන කන්ද ගැනත් කියමු ප්‍රිහාන් හීන කන්දක් නම් නෑ,.. විවාහය ගැන නම් හිතනවා. ඒ ගැන සැලසුම් කරනවා. ඒ වගේම අපේ ගීතයේ රූප රචනාව කරන්න ඕනෑ... ඒ ගැනත් හිතනවා. ඊට අමතරව ව්‍යාපාරික, රැකියා, කලා කටයුතු කරගෙන වැඩි සද්ද බද්ද නැතිව ඉන්නවා.

හිමේෂා සවන්තී රාජපක්ෂ
ඡායා - අසන්ත ගමආරච්චි

0 comments:

Post a Comment