Pages

Subscribe:

Ads 468x60px

සම්ප්‍රදායික සීතල කාමරයක සුවපහසු පුටුවක හිඳ අදහස් දක්වනවා වෙනුවට..


එක්සත් ජාතික පෙරමුණේ (UNP) නායක රනිල් වික්‍රමසිංහ සිවුවැනි වරටත් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ ඉකුත් සිකුරාදා දිවුරුම් දෙනු ලැබීය. ජනාධිපති කාර්යාලයේ පැවැතියේ අතිශය චාම් ඉතා කෙටි දිවුරුම් දීමේ උත්සවයකි.

ඉකුත් වසරේ පැවැති ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝඩි ඇතුළු නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයද චාම් මෙන්ම කෙටි එකක් විය. 


නරේන්ද්‍ර මෝඩි එහිදී අනුගමනය කළේ කලෙක සිට පැවැත එන ඉන්දීය සම්ප්‍රදායයි. ඒ සම්ප්‍රදාය ලංකාවද ආදර්ශයට ගෙන ඇති බව මේ උත්සව යෙන් පෙනී ගියේය. ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපති වරණයෙන්
අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් මෛත්‍රිපාල සිරිසේන මහතාද ධුරයේ දිවුරුම් දීම උත්සවාකාරයෙන් සිදු කළේ නැත.

මහ මැතිවරණයෙන් තීරණාත්මක ජයග්‍රහණයක් ලබාගත් රනිල් වික්‍රමසිංහ මහතාට ලක්ෂ පහකට වැඩි වාර්තාගත මනාප සංඛ්‍යාවක්ද හිමි වූවේය. එහෙත් ඉන් උදම් නොවී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මඟ යමින් දිවුරුම් දීමේ උත්සවය සරල හා චාම් ආකාරයෙන් පැවැත්වීම පැසසුම් කටයුතුය.

දෙස් - විදෙස් ණය මුදල්වලින් ගැටගසාගෙන යන ආර්ථිකයක් පවතින රටක 'ආණ්ඩු' ප්‍රධානියෙක්ගේ දිවුරුම් දීමේ උත්සවයකට ලක්ෂ ගණනින් මුදල් වියදම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. රුපියල් කෝටි ගණනක් වැය කර පැවැත්වූ මැතිවරණයට පසු දිවුරුම් දීමේ උත්සවවලට ජනතාවගේ බදු මුදල් වියදම් කිරීම අපරාධයකි. 


සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදයනට මැදිවී දුකට පත්වී සිටින රටකට අවශ්‍ය වන්නේ ඇස පිනවන සැරැසිලි, කන පිනවන කතන්දර නොව රට පෙරට රැගෙන යා හැකි හොඳ වැඩපිළිවෙළකි. 'ප්‍රදර්ශනාත්මක' දේශපාලනය අතහැර 'ප්‍රතිපත්ති' දේශපාලනයට මාරුවීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සියලු දෙනාටම කාලය පැමිණ ඇත.

ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හා මහින්ද රාජපක්ෂ මහත්ම මහත්මීන් විධායක ජනාධිපතිවරු ලෙස මෙරට පාලනය කර ඇති අතර මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටී. 


අගමැති ධුරය ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක, විජයානන්ද දහනායක, සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, රත්නසිරි වික්‍රමනායක හා දි. මු. ජයරත්න දරා ඇත. 

ඉකුත් සිකුරාදා රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේ මෙරට 14 වැනි අගමැතිවරයා ලෙසය. මහ මැතිවරණයෙන් පසු ප්‍රථමවරට ඉකුත් 19 වැනිදා වික්‍රමසිංහ මහතා මාධ්‍යයට අදහස් දැක්වූයේ එතෙක් පැවැති සම්ප්‍රදායෙන් බැහැර වෙමිනි. සීතල කාමරයක සුවපහසු පුටුවක හිඳ අදහස් දක්වනවා වෙනුවට වික්‍රමසිංහ මහතා දෙස් - විදෙස් මාධ්‍යවේදීන් අමතනු ලැබුවේ අරලියගහ මන්දිරයේ ගෙඋයනේදීය. 

සිය බිරිය කැටුව අරලියගහ මන්දිරයේ පියගැට පෙළ බැස පැමිණි හෙතෙම සිටගෙන මාධ්‍ය ඇමැතූ අතර බිරිය පසෙකට වී සැමියාගේ කතාවට සවන් දුන්නේ අවු රැසින් ආවරණය වීමට රැගෙන ආ කුඩය තමාම ඉහල ගෙනය. මෙහිලා එය සඳහන් කෙළේ දෙදෙනගේම පරිවාර සේවයට කිසිවකු නොසිටීම කැපී පෙනෙන නිසාය.

කෙසේ වුවද එහිදී මාධ්‍යවේදීන් අමතා රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාවද අතිශය වැදගත්ය. 'ජනවාරි 8' විවර කරගත් 'අගෝස්තු 17' පුළුල් වූ 'ප්‍රජාතන්ත්‍රවාදී' මාවතේ පෙරට යා යුතුය යන 'ජනතා අභිලාෂය' වික්‍රමසිංහ මහතාගේ කතාවෙන්ද විදහා දැක්විණි. 


අන්‍ය මත දරන්නන් විරුද්ධවාදීන් ලෙස නොව වෙනස් මත දරන්නන් ලෙස සලකා සම්මුතිවාදයෙන් ඉදිරියට යෑමට ජනාධිපතිවරයා සමඟ වැඩ කරන බව එහිදී ඔහු කියා සිටියේය. 

ශ්‍රී ලනිප - එජාප එකතුවෙන් ගොඩනැඟෙන 'යහපාලනය සඳහා වූ හවුල් ආණ්ඩුවක්' පිහිටුවා ගැනීමට දෙපාර්ශ්වය ඉකුත් සිකුරාදා ගිවිසුමක් අස්සන් කළේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

අලුත් මැතිවරණ ක්‍රමයක්, පුළුල් බලය බෙදීමක්, ස්වාධීන අධිකරණයක්, ආර්ථික වැඩපිළිවෙළක් හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යය. ඝාතන, දූෂණ, වංචා, පිළිබඳ සොයා බලා වැරැදිකරුවන්ට නීතියට අනුව දඬුවම් ලබාදීමටත් යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට වැට කඩොලු බැඳීමක් අත්‍යවශ්‍ය වේ. 


හවුල් ආණ්ඩුවකින් ජනතාව අපේක්ෂා කරන්නේ එවැනි දේ මිස ඇමැතිකම් බෙදා හදා ගෙන ඉදිරි අවුරුදු පහේ 'පරණ සෙල්ලම්' අලුතෙන් කිරීමට හෝ කළ වැරැදි යට ගසා යළි පුරුදු ගමන යෑමට හෝ මැති ඇමැතිවරුන්ට 'නිදහස' ලබාදීම නොවේ.

ජනාධිපති, අගමැති එක්ව රටට අලුත් දේශපාලන සම්ප්‍රදායයන් හඳුන්වා දුන් ආකාරයට ශ්‍රී ලනිපය හා එජාපය එකතු වී රටට අලුත් දේශපාලනයක් හඳුන්වා දෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කරති. තරුණ තරුණියන් ඇතුළු දුක් විඳින ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ක්‍රියා කළ යුතු අතර පක්ෂ දේශපාලනය ගැන සිතිය යුත්තේ ඉන් අනතුරුව බව අගමැති රනිල් වික්‍රමසිංහ ඉකුත් දිනෙක කියා තිබිණි. 


අලුතෙන් තේරී පත් වූ ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබුණේ සියලු තීරණ ගත යුත්තේ ජනතාවගේ ජයග්‍රහණ අරමුණු කරගෙන බවත්, ජයග්‍රහණය කරා යා හැක්කේ එකමුතුව වැඩකරන්නේ නම් පමණක් බවත්ය. 

නායකයන් දෙදෙනාගේ අරමුණු එයාකාරනම් පොදු ජනතාවගේ පරම වගකීම වන්නේ අන්තවාදීව නොසිතා පරාර්ථකාමීව 'ආණ්ඩුවට' පූර්ණ සහාය පළ කිරීමය. රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගත හැක්කේ සැවොම එකා මෙන් ඊට උරදෙන්නේ නම් පමණි.

0 comments:

Post a Comment