Pages

Subscribe:

Ads 468x60px

වැඩිකල් නොගොස්‌ රටේ අහිංසක ජනතාවට පවා නිදහසේ ජීවත්විය නොහැකි තත්ත්වයක්‌


රට පුරා මිනීමැරුම් සමඟ පාතාලය යළිත් හිස ඔසවමින් තිබේ. අවනීතිය රජකරන්නට පටන්ගෙන තිබේ. අලුත්ම ගොදුර කරාටේ වසන්තය. 

සුදු පැහැති පොහොර උරවලින් සැකසූ ඇඳුම්වලින් සැරසී නින්ජාවරුන් මෙන් කළු පැහැති රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන කළු පැහැති අත් ආවරණ පැළඳ, තියුණු ආයුධ සහිතව අනුරාධපුර කඩ 50 මුදිතා මාවතේ පිහිටි පැනොරාමා සමාජශාලාව වෙත කඩා වැදුණු 25 කට ආසන්න
පුද්ගලයන් පිරිසක්‌ අමානුෂික අන්දමින් කඩුවලින් කපා කොටා කරාටේ වසන්ත හෙවත් වසන්ත සොයිසා ඝාතනය කර පලා ගොස්‌ තිබේ.

කරාටේ වසන්ත යනු චන්ඩියෙක්‌ යෑයිද, සමාජ ශාලා හිමියෙක්‌ යයිද පැවසේ. ඔහු හොඳ මිනිසෙක්‌දැයි අප දන්නේ නැත. එහෙත් ඔහුගේ වරදක්‌ තිබේ නම් හෝ ඔහු නීත්‍යනුකූල නොවන කටයුතු වල නිරත වූයේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට රටේ නීතියක්‌ තිබේ. 


එසේ නොමැතිව නීතිය අතට ගෙන සිත්සේ මිනීමරන්නට කිසිවකුට ඉඩදීම කෙළෙසකින්වත් අනුමත කළ නොහැක. ඔහු වරදක්‌ කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් රටේ අධිකරණ පද්ධතිය හරහා ඔහුට එරෙහිව කටයුතු කළ හැක.

පොහොර උරවලින් සකසා ගත් ඇඳුම් හැඳ නින්ජාවරුන් ලෙස මුහුණ ආවරණය කරගත් පිරිස විනාඩි 7 ක්‌ ඇතුළත වසන්ත සොයිසා ඝාතනය කර ඔහුගේ සේවකයන්ටද පහරදී පැනොරාමා සමාජශාලාව මුළුමනින්ම විනාශ කර පලා යන අයුරු එහි සවිකර තිබූ ආරක්‌ෂිත කැමරා පද්ධතියේ සටහන්ව ඇති බව සඳහන්ය. 


ඒ අනුව පෙනීයන්නේ මේ අපරාධකරුවන් ඒ සම්බන්ධයෙන් මනා පුහුණුවක්‌ ලැබූ අය බවය. එසේ නොමැතිව බියක්‌ සැකක්‌ නොමැතිව ඔහුගේම සමාජ ශාලාවට ගොස්‌ එවැනි සුළු කාලයක්‌ තුළ එවැන්නක්‌ සිදුකර පලායන්නට බැරිය.

පාතාලය යළි හිස එසවීම අතිශය භයානකය. පසුගිය රජය පැවති කාලයේ රටෙන් පලාගොස්‌ සිටි ඇතැම් පාතාල සාමාජිකයන් දැන් යළිත් රටට එන්නට පටන්ගෙන ඇති බව පැවසේ. 


වරින්වර රට පුරා සිදුවන මිනීමැරුම්, මහදවල් සිදුවන බැංකු මංකොල්ල, විවිධ ප්‍රදේශවලින් මිනිස්‌ අත් පා හමුවීම, දෙමටගොඩ කළුපාලම අසල කුණු ගොඩකින් මිනිස්‌ කඳක්‌ සොයාගැනීම, ව්‍යාපාරිකයන් ඝාතනය කිරීම, ව්‍යාපාරිකයන්ගෙන් හා වෘත්තීයවේදීන්ගෙන් කප්පම් ගැනීම වැනි සිද්ධීන් රැසක්‌ මේ වනවිට වාර්තාවී තිබේ.

විශේෂ කාර්ය බලකාය හා පොලිසිය භාවිත කරමින් පසුගිය සමයේ මර්දනය කළ පාතාලය දැන් ආපසු සිය මෙහෙයුම් ආරම්භ කර ඇති බව පැවසේ. පසුගිය කාලය තුළ කොළඹ නගරය ආශ්‍රිතව පැවැති පාතාල කණ්‌ඩායම් දහයක්‌ පමණ යළිත් සක්‍රීයව කටයුතු ආරම්භ කර ඇති අතර එයින් ඇතැම් කණ්‌ඩායම් පසුපස දමිළ දේශපාලන පක්‌ෂ සිටින බවත් තවත් පාතාල කණ්‌ඩායම් පසුපස සිංහල හා මුස්‌ලිම් දේශපාලනඥයන් ක්‍රියාත්මක වන බවත් පැවසේ.

කවර අන්දමින් හෝ පාතාලය යළි හිස එසවීම අතිශය භයානකය. එයින් සමස්‌ත සමාජයම බරපතළ ගැටලු ගණනාවකට මුහුණ පායි. මෙහිදී පොලිසියට පැවරී ඇති රාජකාරිය අති විශාලය. පාතාලය මර්දනය සඳහා පෙරමුණ ගත යුත්තේ පොලීසියයි. එහෙත් පොලිසිය කිසියම් විමර්ශන කටයුත්තක්‌ සිදුකළ යුතුවන්නේ ඉතාම ප්‍රවේශමිනි. 


පසුගිය කාලයේ පොලිසිය අහිංසකයන් ගණනාවක්‌ මිනීමරුවන් බවට පත් කර ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය. ඔවුන් විසින් සිදුකරන ලද පාපොච්චාරණ ලෙස පෙන්වන ලද්දේ මරණීය තර්ජන සිදුකර බලහත්කාරයෙන් අත්සන් කරවා ගන්නාලද ලේඛනයන්ය.

බැරිවෙලාවත් ඔවුන් ආයුධ පෙන්වන්නට යද්දී අතරමගදී පොලිසිය සමඟ ගැටී මියගියේ නම් ඔවුන් අනිවාර්යෙන්ම යථෝක්‌ත මිනීමැරුම් වලට වරදකරුවන්ය. එසේ නිකරුණේ වරදකරුවන් කර පොලිසිය විසින් එලොව යෑවූ සියගණනක්‌ සිටිය හැක. ඇතැම්විට ඒවායේ නියම ඝාතකයන් තවමත් නිදැල්ලේ සිටිය හැක. 


මේ නිසා පොලිස්‌ පරීක්‌ෂණ මෙන්ම පාතාල මර්දනයද සිදුකළ යුත්තේ ප්‍රවේශමිනි. ඒ කෙසේ වෙතත් වහාම මේ පාතාල කල්ලි අවසන් කළ යුතුය. එහෙත් ඒ සඳහා කටයුතු කළ යුත්තේ නීත්‍යනුකූල ආකාරයටය. 

එසේ නොමැති වුවහොත් රටේ අහිංසක ජනතාවට පවා නිදහසේ ජීවත්විය නොහැකි තත්ත්වයක්‌ වැඩිකල් නොගොස්‌ යළිත් ඇතිවනු ඇත.

0 comments:

Post a Comment