මේ පුංචි පුතාගෙ නම සමන් පිහාර හඳුවළගේ. දැං හරියටම එයාට වයස අවුරුදු තුනයි මාස පහයි. ඉන්නෙ මහරගම කොහිලකොටුව පාර දෙමටවත්ත අංක 24/8/1 ඒ කියන කුලී නිවසක.
මේ පුංචි දරු පැටිය උපදිනකොට අම්මයි තාත්තයි හුඟාක් බලාපොරොත්තු තියාගෙන හිටියා. ලස්‌සන නිරෝගි පුතෙක් ලැබෙයි කියල. ඒත් ඒ අහින්සක බලාපොරොත්තුව ඉටුවුණේ දෙමාපිය නෑ හිතවතුන්ගේ ඇස්‌වලට කඳුළු එක්‌කරල.
මේ දරුපැටිය උපත ලැබුවේ උපතින්ම ශාරීරික ආබාධ දුබලතා රැසක් උරුම කරගෙන. ඒ අහිංසක ඇස්‌වලට අම්මගෙ තාත්තගෙ මුහුණ පේනවා. ගහකොල පාට පාට පේනවා. පුංචි කන්පෙති අතරින් එයාට හැමෝම ආදරෙන් කතා කරනව ඇහෙනවා.
ඒත් මේ පුංචි අසරණ පැටියට එයාගෙ වයසෙ අනෙක් පුංචි දරු පැටව් වගෙ දුවන්න පනින්න අතපය දිගහරින්න ඉඳගන්න නිදියන්න බැහැ. පුංචි පුතාට කුමන හෝ බලවේගයක් අකාරුණික වෙලා. මේ අපස්‌මාර රෝගයට ගොදුරුවුණ පුංචි පිහාර පුතාගෙ වර්ධනයත් සාමාන්‍ය දරුවෙකුට වැඩිය හුඟාක් වෙනස්.
වෛද්‍ය නිර්දේශ අනුව ඔහුට දිනපතාම විශේෂ ආහාර ද්‍රව්‍ය විශේෂ ඖෂධ වර්ග දෙන්න ඕන. මාසෙකට එයාට වියදම විතරක් රුපියල් විසිතුන්දහස් හයසිය පනහක් විතර යනවලු. මේ පුංචි පුතාට නිර්දේශකරල තියෙන මේ බෙහෙත් වර්ග ටිකයි එයාට විශේෂයෙන් දෙන එම ආහාර නිසා තමයි ඔහුගේ ජීවිතය රැකිල තියෙන්නේ. ළඟකදී කරපු ප්‍රතිකාරවලින් සුළු වශයෙන් අත පය දිගහැරීමේ හැකියාවක් ලැබිල තරමක සුවයක් තියෙනව කියල ඔහුගේ මව අප සමඟ පැවසුවා.
පුංචි පිහාරගෙ පියා රැකියාව කරන්නෙ මහරගම පිළිකා රෝහලේ ආරක්‍ෂක නිලධාරියකු වශයෙනි. ඔහුගේ වැටුපත් අතිකාල වලින් ලැබෙන මුදලත් එකතු කරල තමයි දරුවගෙ වියදමත් අනෙක් ගෙදර වියදමත් දරන්නෙ.
මේ නිසා ඒ පුංචි පවුල මේ වන විට අනේකවිධ ආර්ථික දුෂ්කරතාවලින් දුක්‌විඳිනව. එදිනෙදා දරුවගෙ බෙහෙත් ආහාර ටික ගන්නත් මදි කියලයි පිහාර පුතාගෙ මව කියන්නෙ. උත්තරීතර දරු සෙනෙහස ඒ අම්මගෙ පපුවෙත් නොඅඩුව තියෙනවා. ගෙයින් ගෙට ගොස් සිඟා යදින්නට ඇයගේ දෙපාවලට ශක්‌තිය නැහැ.
පුංචි දරු පැටිය වෙනුවෙන් මේ ලිපියට ඇස් යොමුවෙන්න කියල අපිත් ප්‍රාර්ථනා කරනවා. මේ පුංචි දරු පැටිය වෙනුවෙන් ඔහුගේ ජීවිතයට පුංචි ආලෝකයක් හෝ දෙන්න හැකියි කියල උතුම් හිතකට කල්පනාවක් ආවොත් මහරගම ලංකා බැංකුවෙ ගිණුම් අංක 71658912 ට මුදලින් ඔබේ ශක්‌තිය ලබාදෙන්න කියල පුංචි පිහාරගෙ මව ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා.
Subscribe to:
Post Comments (Atom)





0 comments:
Post a Comment