Pages

Subscribe:

Ads 468x60px

ගැබිනි මවක්‌ 18 වැනි උපන් දිනයට පසුදා පුතකු බිහි කර විවාහ වෙයි

කොළඹ ද සොයිසා කාන්තා රෝහල තුළ ඊයේ (06 දා) උදෑසන මහත් මංගල සිරියක්‌ ගත්තේය. එම සොඳුරු විවාහ මංගල්‍යය කාගේද? කියා ඔබ සිතන්නට බැරි නැත. 

වයස අවුරුදු 18 ට අඩු ගැබිනි මවක්‌ සිය 18 වැනි උපන් දිනය සැමරූ දිනයට පසුදා පුතකු මෙලොවට බිහි කළාය. ඒ දරුවට සහ මවට සමාජයට පිවිසෙන්නට පෙර ඒ සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීමට මේ විවාහ මංගල්‍යය පැවැත්විණි.

විවාහ මංගල්‍යයේ මනාලයා වැල්ලම්පිටියේ සම්පත් කළුආරච්චිය. මනාලිය එම ප්‍රදේශයේම පදිංචි ශානිකා පෙරේරාය. ඇය වයස 18 සම්පූර්ණ වන්නට මත්තෙන් ගැබ් ගත්තාය. එහෙත් ඔවුහු අවිවාහකය.


 
ශානිකාගේ තම 18 වැනි උපන් දිනය සැමරුවේ පසුගිය මස 30 වැනිදාය. දරුවා ලැබුණේ ද සොයිසා කාන්තා රෝහලේ 07 වැනි වාට්‌ටුවේදී ඊට පසුවදාය. එනම් අගෝස්‌තු 31 වැනිදාය. සම්පත් හා ශානිකා යුවළ විවාහ වන්නට කැමැති වී සිටිය ද ඒ සඳහා ඔවුන් සතුව විවාහය ලියාපදිංචි කිරීමේ ගාස්‌තුවක්‌ නොතිබිණි.

දරුවාගේ උප්පැන්න සහතිකයට දෙමාපියන් "විවාහකයි" යනුවෙන් සඳහන් කරන්නට නොහැකිය. එහෙත් මේ දරුවාට සුජාතභාවය ද දරුවාගේ අම්මා වන ශානිකාට නිසි ලෙස සමාජගත වන්නට ද අවස්‌ථාව උදාකරදීමට ද සොයිසා කාන්තා රෝහලේ "මිතුරු පියස" ඉදිරිපත් විය.

මංගල ඇඳුමින් සැරසී මල් පොකුරක්‌ අතට ගෙන රන් - රිදී ආභරණ සහිතව සිය මනාලයා වන සම්පත් සමගින් තම විවාහය නීතිගත කර ගැනීම ඊයේ (06 දා) උදෑසන සුබ හෝරාවෙන් සිදුවිය. 


ඒ සඳහා විවාහ රෙජිස්‌ට්‍රාර්වරියක්‌ ද එහි පැමිණියාය. නව මනාල යුවළගේ ඥතීන් ද මෙහි පැමිණි අතර මංගල කේක්‌ එකක්‌ කපා සම්ප්‍රදායානුකූල පොල්තෙල් ප්‍රදීපයේ තිරකඩ දැල්වූ අතර සියල්ලෝ දෙපළට සුබ පැතූහ.

පසුගිය 31 වැනිදා මෙලොව එළිය දුටු සිඟිති පුතු විදූෂ සත්සරණ ද සොයිසා රෝහල් අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය විසින් ගෙනැවිත් නව යුවළ අත තබන ලදී.

මෙම අවස්‌ථාවට එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය අයන්ති ශිරෝමි කරුණාරත්න, ඇතුළු රෝහල් වෛද්‍ය කාර්ය මණ්‌ඩලය, හෙද හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

0 comments:

Post a Comment