Pages

Subscribe:

Ads 468x60px

ගමේ දරුවන් නගරයට ගෙනා පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වී ගමේ දක්ෂ දරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙරට ජනප්‍රිය පාසැල් වලට ඇතුළත් වී පසුව ඔවුන් මෙරට දීප්තිමත් පුරවැසියන් වූ බව නොරහසකි.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද කොළඹදී පැවසුවේ ඒ ආකාරයෙන් ජනප්‍රිය පාසැල් සඳහා දරුවන් ඇතුළත් කර ගන්නා ශිෂ්‍යත්ව විභාගය 2016 වසරේ සිට අහෝසි කරන බවයි.

මෙම විභාගය 2016 වසරේ සිට පවත්වන්නේ සිසුන්ගේ සාධනය මැන බැලීම සඳහා පමණක් බව හෙතෙම මෙහිදී පැවසීය. 


පසුගිය පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලැයිස්තුවෙන් ලංකාවේ ජනප්‍රිය පාසල් යයි නම් දරා තිඛෙන ඉසිපතන, අශෝක ,මහනුවර
කිංග්ස්වුඩ්, ශාන්ත අන්තෝනි, ගාල්ල රිච්මන්ඩ්, මාතර රාහුල ,ශාන්ත සර්වේසස් වැනි පාසල් ගණනාවක්ම ඉවත් කර තිබීම ගැන අධ්‍යාපන අමාත්‍යංශය එය නිකුත් කළ පෙරේදා සවස කරුණු හෙළි කළේ නැත.

ඒ ගැන ලේඛනය මාධ්‍ය වෙත ලැබුණ පසු එය අත්වැරදීමකින් සිදුවූවාදැයි විමසන්නට මාධ්‍ය උත්සාහ කරද්දීත් කිසිවෙකු පැහැදිලි කරේ නැති අතර පසු දින සොයා බලද්දී වාර්තාවූයේ ඒ පාසල් වලට විවිධ මාර්ගවලින් පන්ති වලට ඇතුළත් කර තිබුණ සිසුන් හවුස් ෆුල් මට්ටමට පැමිණ ඇති නිසා තවත් ඉඩ කඩ නැතිවූ බවකි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඉහළින්ම සිටින රිච්මන්ඩ් හා මාතර දිස්ත්‍රික්කයේ ඉහළින්ම සිටින රාහුල වැනි අතිශය තරගකාරීවූද සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉහළ සාධන මට්ටම් සහිත වූද පාසල්වලට පහේ දක්ෂ සිසුන්ට ඇතුළත්වීමේ වරම අහිමිව ගොස් ඇති අතර ඒ වෙනුවට තාත්තා ඇමති / මන්ත්‍රී කෙනෙක්වීම නෑයා කඩේ යන්නකුවීම  තාත්තාට පගාව දීමේ හැකියාව පැවතීම වැනි සුදුසුකම් මත ජනප්‍රිය පාසල්වලට ඇතුළුවීමේ වරම හිමිව තිඛෙයි.

ජනප්‍රිය පාසල්වලට විවිධ මාර්ග වලින් ළමුන් ඇතුළත් කිරීම දිගු කලෙක පටන් සිදුවන සංසිද්ධියක් වන නමුත් ඒවා සිදුවන්නේ සීමාවක් තුළය. පහේ සමතුන්ට සාධාරණ ලෙස අවස්ථාවක් ලබාදීම මේ හේතුවෙන් නතරකිරීම යුක්ති යුක්ත නොවන අතර ඒ ඒ දිස්ත්‍රික්ක වල පහේ පන්තියේ දරුවන්ගේ ජයග්‍රහණය අවතක්සේරු කිරීමක්ද මෙමගින් සිදුව තිබෙයි.

සාමාන්‍යයෙන් පහේ පන්තිවලට ළමුන් 45 ක පුරප්පාඩු පවතින පාසල් සඳහා කඩඉම් ලකුණු ඇතුළත් කරන බවත් ඉසිපතන, අශෝක , කිංග්ස්වුඩ්, ශාන්ත අන්තෝනි, රිච්මන්ඩ්, රාහුල ,ශාන්ත සර්වේසස් වැනි පාසල්වල කිසිම පුරප්පාඩුවක් නැති බවත් සෑම පන්තියකම සිසුන් 50-60 කට වැඩි ප්‍රමාණයක් රඳවා අතිරික්තයක් ඇති බැවින් අමතර පන්තියක් යොදාවත් මේ ගැටලූව නිරාකරණය කරන්නට බලධාරීන්ට නොපුළුවන් වූ බවත් වාර්තා වුණා.

මෙම ගැටලූකාරී තත්වය ඉදිරියේදී මතුවන බව මේ වසර මුලදීම අධ්‍යාපන බලධාරීන්ට ඒත්තු ගොස් ඒ ගැන ඇමතිවරයාව පවා දැනුවත් කළ බවත් වාර්තා වුණා. නමුත් ඒ සඳහා විසඳුමක් ලෙස පගාවට පන්දමට ළමුන් ඇතුළත් කිරීම නතර කිරීම වෙනුවට ඒ ගැන දැනගත් අවස්ථාවේ සිට ඇමතිවරයා ක්‍රියාකර ඇත්තේ ලබන අවුරුද්දේ සිට පහේ ශිෂ්‍යත්වය නෑ යන මතය සමාජ ගත කරන්නටය.

එමගින් අනාගතයේදී සියලූ ජනප්‍රිය පාසල් පිරී ඉතිරී යනු ඇත්තේ පගාවට හා පන්දමට ජනප්‍රිය පාසල් කරා යන සිසුන්ගෙනි. ඔවුන් අතර වෙන්දේසියක මෙන් තරගයක් ඇතිවිය හැකි බවත් දායකයින් මාර්ගයෙන් පන්සල් දියුණු කරන ආකාරයට පාසල්ද දියුණු කළ හැකි වනු ඇති බවත් වාසිදායක තත්වයන් ලෙස ඇතැමුන් පෙන්වාදී ඇතැයි වාර්තා වුණා.

නමුත් සමාජය තේරුම් ගත්තේ පහේ ශිෂ්‍යත්වයේ ළමයි දුක්විඳින නිසා අනවශ්‍ය මානසික ප්‍රශ්න නිසා ෆේල් අය ගෙදරින් එළවන නිසා මේ ක්‍රමය නතර කරන්නට යන බවකි.

0 comments:

Post a Comment