Pages

Subscribe:

Ads 468x60px

මෙන්න උසස්‌ පෙළින් ඉහලින්ම දිනුවෝ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා. ඒ අනුව ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්වීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අදිත වීරසිරි ඩයස්‌ ශිෂ්‍යයා සමත් වී තිබෙනවා.

විද්‍යා අංශයේ ප්‍රථම ස්‌ථානය හිමි වී ඇත්තේ ඇහැලියගොඩ මධ්‍ය මහා විදුහලේ අමායා මහතන්තිල ශිෂ්‍යාවටයි.

ගම්පහ රත්නාවලී බාලිකාවේ එරන්දි කාන්චනා ශිෂ්‍යාව වාණිජ අංශයෙන් ප්‍රථම ස්‌ථානයට පත්ව සිටින අතර කොළඹ දේවි බාලිකාවේ මෙත්සරණි ලොකුගේ ශිෂ්‍යාව කලා අංශයෙන් ප්‍රථම ස්‌ථානයට පත්ව සිටියි. 


ඇය එම විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ මහත්මියගේ දියණිය වීම විශේෂත්වයකි. ප්‍රතිඵල ලේඛන සියලුම පාසල්වලට අද (21 වැනිදා)
තැපැල් කෙරේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.


තානාපති සේවයට සම්බන්ධවීම මගේ අරමුණයි 
- කලා අංශයෙන් මුල් තැන ගත් මෙත්සරණී සිසුවිය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සී සෙල්ස්‌ රාජ්‍යයේදී පෙනී සිට එම වසරේ සී. සෙල්ස්‌ රාජ්‍යයේ හොඳම ප්‍රතිඵලයන්, විද්‍යා විෂයෙන් ලොව දෙවැනි ස්‌ථානයක්‌ හිමිකර ගෙන උසස්‌ පෙළ හැදෑරීමට මෙරටට පැමිණ මෙම වසරේ කලා විෂය ධාරාවේ හොඳම ප්‍රතිඵලය වාර්තා කිරීමට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ මෙත්සරණී ලොකුගේ සිසුවිය සමත්ව ඇත.

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ මහත්මියගේ දියණිය වන මෙත්සරණී සිසුවියගේ පියා හා සහෝදරයා සී සෙල්ස්‌ රාජ්‍යයේ දැනට පදිංචිව සිටින අතර ඇයද වසර කිහිපයක්‌ සීසෙල්ස්‌හි පදිංචිව සිට උසස්‌ පෙළ හැදෑරීම සඳහා මෙරටට පැමිණ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත්ව ඇත.

කලා විෂය ධාරාව යටතේ ප්‍රංශ භාෂාව, ඉංග්‍රීසි සාහිත්‍ය හා ආර්ථික විද්‍යාව හදාරා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස්‌ පෙළ විභාගයට පෙනී සිට ඇති ඇය මූලික අධ්‍යාපනය කෑගල්ල බාලිකා විද්‍යාලය, තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය, මහනුවර මහාමායා විද්‍යාලය යන පාසල්වලින් ලබා ඇත.

මට දේවි බාලිකා විද්‍යාලයෙන් විශාල සහයෝගයක්‌ ලැබුණා. විද්‍යාලයේ ගුරුතුමිය මෙම ජනවාරි මාසය වන විට විෂය නිර්දේශය අවසන් කළා. අම්මා නිතරම මාත් එක්‌ක සාකච්ඡා කරලා තීරණ ගත්තා. 


මට අවශ්‍ය වුණේ වෙනස්‌ විදිහේ විෂය ධාරාවක්‌ හැදෑරීමටයි. මගේ අරමුණ තානාපති සේවයට සම්බන්ධ රැකියාවක නිරත වීමයි. මෙත්සරණී සිසුවිය පැවසුවාය.

මෙත්සරණී ලොකුගේ සිසුවියගේ මව වන කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී ප්‍රදීපා සමරසිංහ මහත්මිය පැවසූයේ සිය දියණිය විභාගයට පෙරදින දක්‌වාම පාසල් පැමිණි බවයි. ඉතා සරල පැවැත්මක්‌ ඇති දියණිය අලුයම බුදුන් වැඳ භාවනාවේ නිරත වීම පුරුද්දක්‌ ලෙස කරගෙන ආ බවද ඇය කීවාය.



ක්‍රමානුකූලව අධ්‍යාපන කටයුතු සිදුකිරීම නිසා
මේ වගේ ජයග්‍රහණයක්‌ ලැබීමට හැකි වුණා

- විද්‍යා අංශයෙන් මුල්තැන දිනූ අමායා මහතන්තිල සිසුවිය


එදිනෙදා අධ්‍යාපන කටයුතු එදිනෙදාම අවසන් කර ක්‍රමානුකූලව පිළිවෙළකට අධ්‍යාපන කටයුතු සිදුකළ නිසා මෙවන් ජයග්‍රහණයක්‌ ලැබීමට හැකි වූ බව මෙවර උසස්‌ පෙළ ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන් පළමු තැනට පත් වූ ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ අමායා මහතන්තිල ශිෂ්‍යාව පැවසුවා.

ජීව විද්‍යා ගුරු දෙපළකගේ ආදරණීය දියණිය වූ ඇයට එක්‌ සහෝදරයෙක්‌ සිටී. ශිෂ්‍යත්ව විභාගයෙන් ද ලකුණු 163 ක්‌ ලැබූ ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන් ද දිවයිනෙන් ම තෙවැනි ස්‌ථානයට පත් වූවාය.

පී. එච්. ඩී. රාජකරුණා නමැති අමායාගේ මෑණියන් ඇය අධ්‍යාපනය ලැබූ ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ජීව විද්‍යා ගුරුවරියක්‌ වන අතර ඇය අමායා ශිෂ්‍යාවගේ පන්තිය භාර හා ජීව විද්‍යා ගුරුවරිය ද වූවාය. අමායාගේ පියා වන මහතන්තිල මහතා ජීව විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකි.

තම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අප සමඟ අදහස්‌ දක්‌වමින් අමායා මහතන්තිල ශිෂ්‍යාව වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය.

මම සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන් තෙවැනි තැන ලබා ගත්තා. එහිදී මගේ මවුපියන්, ගුරු දෙගුරුන් විශාල වශයෙන් මාව ධෛර්යවත් කළා. උසස්‌ පෙළ ඊට වඩා හොඳින් ජයගන්න ඔවුන් මාව තව තවත් ධෛර්යවත් කළා. එම ධෛර්යවත් කිරීම මෙම ජයග්‍රහණය ලැබීමට මහත් රුකුලක්‌ වුණා.

පාසලේ අධ්‍යාපන කටයුතු කරන අතරතුර මම අමතර පන්ති සඳහා ද යොමු වුණා. ඇත්තටම මම අධ්‍යාපන කටයුතු සඳහා වැඩි කාලයක්‌ යොමු කළා. අමතර ක්‍රියාකාරකම් සඳහා යොමු නොවුණ තරම්.

මම වැඩි වශයෙන් පාඩම් කළේ රාත්‍රි කාලයට. මුල් වසර තුළ රාත්‍රි 11.00 පමණ වනතුරු පාඩම් කළා. විභාගය ළංවත්ම රාත්‍රි 12.00 1.00 දක්‌වා පාඩම් කළා. මම පාඩම් කරන සෑම දවසකම මගේ අම්මා හෝ තාත්තා අවදියෙන් මා සමඟ සිටියා.

උසස්‌ පෙළ සමත් වීමට සාමාන්‍ය පෙළට වඩා මහන්සි වෙන්න ඕන තමයි. ඒත් එය අනවශ්‍ය ප්‍රශ්නයක්‌ කරගත යුතු නැහැ. විෂය කොටස්‌ නැවත නැවත කියවන්න ඕන. 


ඉදිරියට විභාගයට මුහුණ දීමට ඉන්න නංගිල මල්ලිලාට කියන්න ඕන විෂය කොටස්‌ ප්‍රායෝගිකව භාවිතා කරලා ප්‍රායෝගික දැනුමක්‌ ලෙස යොදා ගන්න කියන එක. එය තමයි මතකය තබා ගැනීමට හොඳම ක්‍රමය. ක්‍රමානුකූලව වැඩ කළොත් මෙවැනි ජයක්‌ ලබන්න ඔබටත් අමාරු නැහැ.

මෙම ජයග්‍රහණය ලබා ගන්න මගේ දෙමවුපියන්, මගේ එකම මල්ලී, මගේ ගුරු දෙගුරුන්, ඥාතීන්, පාසලේ යහළු යෙහෙළියන් මට බොහෝ උපකාර කළා. ඒ සෑම දෙනාටම බොහෝම ස්‌තුතියි. ඉදිරියේදී රටට වැඩදායක සේවයක්‌ කිරීමට බලාපොරොත්තු වෙනවා.



ගණකාධිකාරිවරියක වීම මගේ අපේක්‍ෂාවයි
- වාණිජ අංශයෙන් මුල්තැන දිනූ එරන්දි කාංචනා


මෙවර 2013 අ.පො.ස. උසස්‌ පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්‌ථානය ගම්පහ රත්නාවලී බාලිකා මහ විදුහලේ අබේසිංහ ආරච්චිලාගේ දෝන එරන්දි කාංචනා (19) සිසුවියට හිමිවී ඇත. ගම්පහ බෙම්මුල්ලේ ඔබේසේකර මාවතේ 40/7 නිවසේ පදිංචිය ඇති ඇය වේයන්ගොඩ ප්‍රාථමික විදුහලේ මූලික අධ්‍යාපනය ලැබූ සිසුවියකි.

ඇය වේයන්ගොඩ ප්‍රාථමික විදුහලෙන් ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්වී ලකුණු 152 ක්‌ ලබා කොළඹ ගෝතමී විදුහලට ඇතුළු වී ගෝතමී විදුහලින් සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට සම්මාන 8 ක්‌ ලබා 2010 ගම්පහ රත්නාවලී බාලිකා මහ විදුහලට උසස්‌ පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ සිසුවියකි.

දක්‍ෂ සිසුවියක වන එරන්දිගේ නිවසට අප ගිය විට ඇයගේ මව වන ජී. අයිරාංගනී මහත්මිය මෙසේ කීවාය.

මගේ මහත්තයට ස්‌ථිර රස්‌සාවක්‌ නෑ. සුළු ව්‍යාපාරයක්‌ කරනවා. කුලී වැඩත් කරනවා. එයා වගේම මමත් ගෙවල්වල ළමයි බලල කීයක්‌ හරි හොයල තමයි මේ දුවට ඉගැන්නුවේ. හරිම දක්‍ෂ දරුවෙක්‌. 


ගෙදර කන බොන වියදම් පවා අඩුකරල ළමයාට ඉගැන්නුවා. විදේශගතව ඉන්න අක්‌කා එවන සුළු මුදලිනුත් ඉගෙන ගත්තා. දරුවා මෙසේ ලංකාවෙන්ම පළමුවැනියා වීම ගැන සතුටුයි. 

ගෙයත් භාගයයි හදල තියෙන්නේ. දුව පොත්පත් බැලුවා. රූපවාහිනියේ අධ්‍යාපන හා ළමා වැඩසටහන් බලනවා. අපට මේ දියණියගේ අනාගත අධ්‍යාපනය වෙනුවෙන් රජයෙන් හෝ වෙනයම් තැනකින් අදාළ දායකත්වය ලබාදෙනවා නම් ඒක ලොකු දෙයක්‌.

එරන්දි කාංචනා ශිෂ්‍යාව - මම ඉගෙන ගන්න හරි ආසයි. වරලත් ගණකාධිකාරිවරියක්‌ වීමේ බලාපොරොත්තුවෙන් තමයි මම ඉගෙන ගන්නේ. මම ටී.වී. එකේ හොඳ වැඩසටහන් තෝරල බේරල බලනවා. හැම එකටම කැමැති නෑ. පත්තර බලනවා. 


පොත් කියවනවා. ඉස්‌කෝලෙ එදා වැඩ එදාම කරනවා. වැඩ ගොඩ ගහගන්නේ නෑ. පාඩම් කරන්නේ රෑට තමයි. පාසල් අධ්‍යාපනයට හැර වෙනත් දේවල්වලට මම හිත යොදවන්නේ නෑ, මුල්තැන අධ්‍යාපනයටයි. 

අම්මයි තාත්තයි දෙන්න මට උගන්වන්න පුදුම දුකක්‌ විඳිනවා. ඒ වගේම රත්නාවලී විදුහලේ විදුහල්පතිනිය ජයවර්ධන මහත්මියත්, වාණිජ අංශයේ සියලු ගුරුවරුන්ම මට යහපත් අනාගතයකට මඟපාදලා දුන්නා.

රත්නාවලී බාලිකා විදුහල්පති එච්. ඒ. එච්. ජයවර්ධන මහත්මිය කීවේ, එරන්දි හොඳ දක්‍ෂ සිසුවියක්‌. පාසලට මහත් ආඩම්බරයක්‌. අප පාසලේ නිසි ලෙස අධ්‍යාපනය ලබාදීමත් ඇය එම අධ්‍යාපනය නිසි පරිදි හැදෑරීමත් මේ ජයග්‍රහණයට හේතුවක්‌ බවය.

එරන්දි කාංචනා සිසුවියට සුබ පැතීමට විශාල පිරිසක්‌ එම නිවසට ඇදී එමින් සිටි අතර ඇයගේ මව තුටු කඳුළු සලමින් ඔවුනට තම දියණියගේ දස්‌කම් ගැන කතා කළාය.



මට මේ ප්‍රතිඵලය අදහගන්නත් බැහැ
- ගණිත අංශයෙන් මුල් තැන දිනූ අදිත ඩයස්‌ සිසුවා


මේ තරම් ලොකු ප්‍රතිඵලයක්‌ බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් මම ගණිත අංශයෙන් ලංකාවෙන්ම පළමු වැනියා වීම ගැන ඇසූවිට මට එය අදහාගන්න බැරි වුණා යෑයි මෙවර අ.පො.ස. උසස්‌ පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්‌ථානය හිමිකරගත් අදිත වීරසිරි ඩයස්‌ (19) සිසුවා පැවැසීය.

අදිත වීරසිරි සිසුවා පදිංචි ගාල්ල කලේගානේ පිහිටි නිවසට අපි ඊයේ (20 දා) ගියෙමු. එහිදී මෙම සිසුවා මෙම ප්‍රතිඵලය නිසා දැඩි ලෙස උද්දාමයට පත්ව සිටියේය. ඔහු ලබාගෙන ඇති ඉසඩ් ස්‌කෝර් අගය 2.94 කි.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදිත වීරසිරි ඩයස්‌ සිසුවා අප සමග මෙසේද කීවේය. මම පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්ද ලකුණු 166 ක්‌ ලබාගත්තා. අ.පො.ස. සා.පෙළ විභාගයෙන් විෂයන් නවයටම A- 9 ක්‌ අරගෙන ලංකාවෙන්ම 15 වැනි ස්‌ථානය හිමිකර ගත්තා. 


සා.පෙළ ප්‍රතිඵලවලින් පසු වෛද්‍ය වරයෙක්‌ වෙන්න හිතාගෙන තමයි උසස්‌ පෙළට විද්‍යා අංශය සඳහා පංති ගියේ. නමුත් ටික දිනකින් විද්‍යා විෂය ධාරාවන් අමාරු නිසා ගණිත අංශයට මාරු වුණා. ගණිත අංශයෙන් අ.පො.ස. උසස්‌ පෙළ හැදෑරුවා. පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම් නම් කළේ නැහැ. 

නමුත් ඉලක්‌කයක්‌ ඇතිව වැඩ කළා. පාසලේ එදිනෙදා කටයුතු එදිනෙදා කළා. උදේ පාන්දර නැගිටලා රාත්‍රි එළිවෙනකම් පාඩම් කළේ නෑ. සාමන්‍ය විදියට අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. පාසලේ දෛනික කටයුතු එදිනම කළා.

ඉඩ ලැබෙන විදියට අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. පාසලේ ගණිත විද්‍යාගාරයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. රූපවාහිනි බැලුවේ ප්‍රවෘත්ති බලන්න විතරයි. ඇත්තටම ඉලක්‌කයක්‌ ඇතිව වැඩ කළොත් මේ වගේ ප්‍රතිඵලයක්‌ ලබාගන්න අපහසු නැහැ. විභාගයට මා ඉතා සැහැල්ලුවෙන් පෙනී සිටියා.

මගේ දෙමවුපියන් සහෝදර සහෝදරියන් ගුරුවරුන් මට විශාල ශක්‌තියක්‌ වුණා. පාසලේ විදුහල්පති ඒ. එම්. එස්‌. ඒකනායක මහතා, ගාමිණි සර්, අපේ පංති භාර ගුරුතුමා නාලක කුලතිලක සර් මේ අවස්‌ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන.

අනාගතයේදී රටට වැඩදායී පුරවැසියකු වී රට වෙනුවෙන් යම් කිසි සේවාවක්‌ කරන්න තමයි බලාපොරොත්තුව පාසලේ අධ්‍යාපන කටයුතුවලින් මෙන්ම උපකාරක පංතිවලිනුත් විශාල සහයෝගයක්‌ ලැබුණා. යෑයිද අදිත සිසුවා කීවේය.

ආදිත්‍යට සහෝදරයන් දෙදෙනෙකි. එක්‌ සහෝදරියකි. ඔහු පවුලේ තුන්වැනියාය. පියා වීරසිරි ඩයස්‌ මහතා බද්දේගම අධිකරණයේ නීතිඥවරයෙකි. මව රත්නසීතා ඩයස්‌ මහත්මිය මහ මෝදර රෝහලේ වෛද්‍යවරියකි. 


ආදිත්‍ය පළමු ශ්‍රෝණිය දක්‌වා බද්දේගම ක්‍රිස්‌තුදේව බාලක විද්‍යාලයේ අකුරු කළ අතර දෙක වසරේ සිට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් ව අධ්‍යාපන කටයුතුවල නිරතව ඇත.

ආදිත්‍යගේ මව වන රත්නසීතා මහත්මිය තම පුතුගේ ජයග්‍රහණය පිළිබඳ මෙසේ කීවාය. පුතාගේ මෙම ජයග්‍රණය පිළිබඳ ගොඩක්‌ සතුටුයි. පුතා කීකරු දරුවෙක්‌. ඔහු කැපවීමෙන් වැඩ කළා. හොඳ දරුවෙක්‌. මටත් වඩා පුතාට තාත්තා තමයි ගොඩක්‌ උදව් කළේ. ඇත්තටම මේ ප්‍රතිඵලය ගැන ගොඩක්‌ සතුටුයි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති ඊ. එම්. එස්‌. ඒකනායක මහතා ආදිත්‍ය සිසුවා විසින් පාසලට ලබාදුන් මෙම ජයග්‍රහණය පිළිබඳ දැඩි සතුටට පත්ව ඇති අතර ඔහු මෙසේ කීවේය.

මේ දරුවා දක්‌ෂ දරුවෙක්‌. ලංකාවෙන්ම ගණිත අංශයෙන් ප්‍රථම ස්‌ථානය අපේ පාසලට ලබාදීම ගැන පාසලට කීර්තියක්‌ ගෞරවයක්‌. ඇත්තටම ගොඩක්‌ සතුටුයි. මේ දරුවා දීප්තිමත් දරුවෙක්‌. රසායන විද්‍යා තරගාවලියෙන්ද මෙම දරුවා ඉහළම දක්‌ෂතා දැක්‌වුවා. 


අනිත් පාසල් දරුවන්ට උදව් කිරීමට අතහිත දෙන දරුවෙක්‌ හැටියටත් මේ දරුවා හඳුන්වන්න පුළුවන්. මේ දරුවා පාසලට විශාල කීර්තියක්‌ ලබාදී ඇති බවද විදුහල්පතිවරයා සඳහන් කළේය.

0 comments:

Post a Comment