Pages

Subscribe:

Ads 468x60px

පාසල් ප්‍රධානීන්ගේ විවිධ අතවරවලට ගොදුරු සනීපාරක්ෂක සේවිකාවන්

දැන් දැන් අපේ පාසල් පද්ධතිය තුළින් අමිහිරි  හා නොසරුප් සිදුවීම බොහෝ සෙයින් අසන්නට ලැබේ.  ඒ අතරින් වැඩිපුරම  අසන්නට ලැබෙන්නේ ඇතැම්  ගුරුවරුන්ගෙන් ඔවුන්ගේ  ගෝලබාලයන්ට සිදුවෙතැයි කියන ලිංගික අඩත්තේට්ටම් ගැනය.

එවැනි අපචාර චෝදනා මත අධිකරණයෙන් දඬුවම් නියම වූ  හිටපු ගුරුවරුන්ගේ  සංඛ්‍යාව ද සුළුපටු නොවේ. ඇතැම් ගුරුවරුන්ට එල්ල වී ඇති  අපචාර චෝදනා දෙස බලන විට  ඔවුන් මානසික රෝහලකින් පැන ආ රෝගීන්දැයි ප්‍රශ්නයක් පැන නැගීමද  නොවැළැක්විය හැකිය.


මේ අතර අසන්නට ලැබෙන අලුත්ම ආරංචිය වන්නේ ඇතැම් විදුහල්පතිවරුන් හා නියෝජ්‍ය  විදුහල්පතිවරුන්  ඇතුළු  පාසල් ප්‍රධානීන්  වෙතින් එම විදුහල්වල කම්කරු සේවිකාවන් වශයෙන්

සේවයේ  යෙදී සිටින තරුණ කාන්තාවන් බහුල වශයෙන් ලිංගික  හිංසනවලට  ලක්වන බවයි.

පළාත් සභා පාසල් අතරින් 3000ක පමණ සිටින්නේ එක කම්කරු සේවිකාවක බැගින් යැයි පෙන්වා දෙන අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය  සනීපාරක්ෂක,  පුස්තකාල සහ විද්‍යාගාර  සේවා කටයුතු සඳහා පත්කර  සිටින එම කම්කරු සේවිකාවන් අතරින්  සෑහෙන  පිරිසක් ඔවුන්ගේ සේවා ස්ථාන භාර  විදුහල්පතිවරුන් හා නියෝජ්‍ය  විදුහල්පතිවරුන් ඇතුළු පාසල් ප්‍රධානීන්ගේ  විවිධ අතවරවලට ලක්වන බව සඳහන් කර ඇත. 


මේ අතර එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සියලුම පාසල්වල සේවා  කටයුතු පස්වරු 1.30න් පසු අවසන් වුවද මෙම කම්කරු සේවිකාවන්ට පස්වරු 3.00 දක්වා තම සේවා ස්ථානයන්හි  රැඳී සිටීමට සිදුවීම නිසා එකී පාසල් ප්‍රධානීන්ට මෙම සේවිකාවන් ගොදුරු කර ගැනීමට වඩාත් පහසුවක් වී ඇති බවයි.

එවැනි ඇතැම් පාසල් ප්‍රධානීන් තමන් යටතේ සේවය  කරන මෙම කම්කරු සේවිකාවන්ට කොට ගවුම් අඳින ලෙස බලකර ඇතැයි ද අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ  ‍ලේකම්වරයා මාධ්‍යයට හෙළිකර ඇත. 


විදුහල්පතිවරුන්ගේ මෙවැනි නිල නොවන නියෝග හමුවේ එම කම්කරු සේවිකාවන් වඩාත්  අසරණ වන්නේ ඔවුන් පිරිස් බලය අතින්ද බොහෝ සෙයින් දුර්වල තත්ත්වයක පසුවන බැවිනි.


මේ මොහොත වනවිටත් එවැනි ඇතැම් කම්කරු සේවිකාවෝ තම පාසල් ප්‍රධානීන්ගේ පහසු ගොදුරු බවට පත් වෙමින් සිටිති.  තම සේවා ස්ථානයන්හි  හුදෙකලා වන මෙවැනි බොහොමයක් කම්කරු සේවිකාවන්ට සිදුවී ඇත්තේ  තමන්ට සිදුවන මෙවැනි ලිංගික  අතවර පිළිබඳව  ‍පොලීසියට හෝ අධ්‍යාපන  බලධාරීන්ට පැමිණිලි  නොකර නිහඬව විඳ දරා ගැනීමටය. 


තමන් අදාළ පාසල් ප්‍රධානීන්ට ගොදුරුවන බොහෝ අවස්ථාවන්හිදී තමන්ගේ පිළිසරණයට කිසිවකු නොමැතිවීමත්, ඒ පිළිබඳව  ඇසින් දුටු සාක්ෂි නොමැතිවීමත් නිසා අසරණ වන එම කම්කරු සේවිකාවන්ට  අහසට හා ‍පොළොවට දෙස් දෙවොල් නගමින් නිහඬවීම හැර කළ යුතු යමක්  තිබේදැයි යන්න බරපතළ   ගැටලුවකි.

එකී විෂමාචාර ලිංගික හිංසනයන්හි නිරත වන ඇතැම් පාසල් ප්‍රධානීන්ට නම් එම තත්ත්වය පනින රිලවුන්ට ඉනිමං බැඳීමකට සමානය. මන්ද පස්වරු 1.30 සිට 3.00 දක්වා වූ කාලය තුළ  බොහෝ පාසල්වල පවතින  පාළු හා හුදෙකලා බව  ඔවුන්ගේ  අපචාර ක්‍රියාවන්ට කදිම වාතාවරණයක් සලසා දෙන බැවිනි. 


කෙසේ වෙතත් මෙවැනි  ලිංගික හිංසන හා අපචාර චෝදනා නැගෙන්නේ සියලුම  පාසල් ප්‍රධානීන්ට එරෙහිව නොවන බවද විශේෂයෙන්ම සඳහන් කළ  යුතුය. බොහොමයක් පාසල්වල සිටින විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු ප්‍රධානීන් ගුරු දෙවිවරුය. නැතහොත්  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිසාපාමොක්  පරපුරෙන්  පැවත එන ගුරු භවතුන්ය.

එහෙත් ගුරු නමට බලවත් නිගාවක් වන අන්දමේ  කාමාතුර  අවලමුන්ද ඔවුන් අතර  සිටිති. මෙරට පාසල් පද්ධතිය   තුළට රිංගා  ගෙන සිටින මෙවැනි කාමාතුර  උම්මත්තකයන් මානසික  රෝහල්වලට යැවිය යුතුය. එසේත් නැත්නම්  සිපිරි ගෙවල් තුළට ගාල් කළ යුතුය.

0 comments:

Post a Comment