Pages

Subscribe:

Ads 468x60px

ගුවන් යානයක්‌ කඩා වැටෙන මහා සද්දයක්‌ ඇසුණා...


ගුවන්යානයක්‌ කඩා වැටෙනවා වගේ මහා ශබ්දයක්‌ ආවා. මීදුමක්‌ වගේ මුළු පළාතම අඳුරු වුණා. ලයින් කාමර තිබූ තැන මහා පස්‌ කන්දකින් වැසිලා තිබෙනවා දුටුවා යෑයි හපුතලේ, කොස්‌ලන්ද, මීරියබැද්ද කන්ද නායයනවා සියෑසින් දුටු ශෂිකලා මහත්මිය ඊයේ (29 වැනිදා) පැවසුවාය.

මෙම නායයැමෙන් පුද්ගලයන් දෙසීයක්‌ පමණ අතුරුදන් ව ඇති අතර තිදෙනකුගේ මෘතදේහ ඊයේ (29 වැනිදා) පෙරවරුවේ සොයා ගැනීමට

ත්‍රිවිධ හමුදාව ඇතුළු ප්‍රදේශවාසීන්ට හැකිවී ඇත.

මෙම නායයැමෙන් අතුරුදන්ව සිටින අය අතර කුඩා දරුවන් ද, සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

හපුතලේ, කොස්‌ලන්ද මීරියබැද්ද කන්ද ඊයේ (29 වැනිදා) පෙරවරු හතට පමණ නායයැමෙන් පුද්ගලයන් දෙසීයක්‌ පමණ අතුරුදන් වී මුළු ගමක්‌ම බිමට සමතලා වී ඇත.

ලයින් කාමරවල සිටි පවුල් හැත්තෑවක්‌ පමණ මෙලෙස නාය යැමට ලක්‌ව තිබූ අතර කඩ කාමර දහයක්‌ද, නිල නිවාස තුනක්‌ ද, කෝවිලක්‌ හා ප්‍රජාශාලාවක්‌ ද මෙලෙස සම්පූර්ණයෙන්ම පස්‌ කන්දට යටව ගොස්‌ ඇත.

සිද්ධිය සැලවූ සැණින් ක්‍රියාත්මක වූ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය එම ප්‍රදේශයට නිලධාරීන් පිටත් කර යෑවූ අතර පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා එක්‌වී විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා සහන මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

කොස්‌ලන්ද, මීරියබැද්ද ප්‍රදේශය නායයැමේ අවදානම් කලාපයක්‌ ලෙස හඳුනාගෙන තිබූ අතර පෙරේදා (28 වැනිදා) රාත්‍රියේ වර්ෂාවද පැවතිණි. ඊයේ (29 වැනිදා) පෙරවරුවේ හිටි හැටියේම ප්‍රදේශය නායයැමට පටන් ගෙන ඇත.

මෙම නායයැමෙන් වර්ග කිලෝමීටර් තුනකට වැඩි ප්‍රදේශයක්‌ සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස්‌ තිබිණි. මෙහි නවතා තිබූ ලොරි හා තවත් වාහන කිහිපයක්‌ ද පස්‌වලට යටව ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.

බැකෝ යන්ත්‍ර මගින් පස්‌ ඉවත් කර තුවාල ලබා සිටින හා පස්‌ කඳුවලට යටව සිටින පුද්ගලයන් බේරා ගැනීමට ඊයේ (29 වැනිදා) පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සහන සේවකයන් හා ප්‍රදේශවාසීන් පියවර ගනිමින් සිටින අතර පස්‌ කන්දට යටවූ ලොරියේ උඩු කොටස නිරාවරණය කර ගැනීමට ඊයේ දහවල් වනවිට හැකිවී තිබිණි.

මෙම නායයැම නිසා එම ප්‍රදේශයේ මිනිසුන් සමග සිටි ගවයන්, එළුවන්, සුනඛයන් වැනි සතුන් ද පණ පිටින්ම වැළලී ඇතැයි පොලිසිය සඳහන් කළේය. නායයැමේ අවදානම් තත්ත්වය පහව නොතිබීම නිසා සිද්ධිය වූ ස්‌ථානයට රැස්‌වන පිරිස්‌ ඉවත් කිරීමටද ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමේදී ඇමැතිවරයා කියා සිටියේ ලයින් දාහතක විසූ එකසිය පනස්‌දෙනකු පමණ නායයැමට ලක්‌ව අතුරුදන්ව සිටින බවයි.

සිද්ධිය සැලවූ වහාම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කතා කර ත්‍රිවිධ හමුදාව යොදවා අතුරුදන් වී සිටින පිරිස්‌ බේරා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස උපදෙස්‌ දුන් බවද ඇමැතිවරයා කියා සිටියේය.

මෙම සිද්ධිය පිළිබඳව පුද්ගලිකව සොයා බැලීම සඳහා එම ප්‍රදේශයට යන බවත් ආපදා කළමනාකරණ නිලධාරීන් ඇතුළු නිලධාරීන් සියලුදෙනා අදාළ ස්‌ථානයට පිටත්කර ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගත් බවත් ඇමැතිවරයා පැවසීය.

මෙම ප්‍රදේශය නායයන ප්‍රදේශ ලෙස හඳුනා ගෙන තිබූ ප්‍රදේශ බවත් තවමත් අවදානම පහව ගොස්‌ නැති නිසා ප්‍රදේශයේ අය ආරක්‍ෂිත ස්‌ථාන වෙත ගෙන යන ලෙසට උපදෙස්‌ දුන් බවත් කියා සිටියේය.

මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ බදුල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා පැවසුවේ නිවාස හැටක්‌ පමණ මෙම නායයැමට ලක්‌ව ඇති බවයි. නිල නිවාස දෙකක්‌ ද ඒ අතර වන බවත් පාසල් දරුවන් පාසල්වලට ගොස්‌ සිටියදී මෙම විපත සිදුව ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳ ඇසින් දුටු අය කියා සිටියේ මෙලෙසිනි.

ගුවන් යානයක්‌ කඩා වැටෙනවා වගේ මහා ශබ්දයක්‌ ආවා. මීදුම වැන්නකින් පළාතම වැසුණා" යෑයි සිද්ධිය සියෑසින් දුටු ශෂිකලා මහත්මිය පැවසුවාය.

මම ඈත බලන විට ලයින් නිවාස තිබූ ස්‌ථානය මහා පස්‌ කන්දකින් වැසිලා. කිසිදු ගෙයක්‌ පේන්නවත් තිබුණේ නැහැ..." ඈත එක පැත්තකින් විලාප හඬක්‌ ඇසුණා..." යෑයිද ඇය කීහ.

එම්. රාධා මහත්මිය - මට හිතාගන්න බැරි වුණා. මුළු ප්‍රදේශයම දෙදරවමින් කන්ද කඩා වැටුණා. මාව පස්‌ කන්දකට යට වුණා. මගේ ඉඟටියෙන් පහළ පස්‌වලට යට වුණා. මගෙ දරුවො තුන්දෙනායි අම්මයි, අප්පයි අනෙක්‌ කට්‌ටියටයි වෙච්ච දෙයක්‌ නෑ. දෙවියනේ මොකක්‌ද මේ වුණේ මට තවමත් හිතාගන්න බෑ මොකක්‌ද මේ වුණේ කියලා. මගේ දරුවෝ, නෑයෝ ඔක්‌කොම පස්‌වලට යටවෙලා.

පස්‌කන්දට යටව සිට බේරා ගෙන රෝහල්ගත කර සිටින එන්. මහින්දන් මහතා -

මුළු පළාතම කළුවර කරමින්, දූවිල් නංවමින් එකපාරටම කන්ද කඩා වැටුණා. වෙච්ච දේ හිතාගන්නවත් බෑ. ලයිම් ගෙවල් ඔක්‌කොම පස්‌වලට යට වුණා. මම පස්‌ කන්දට යටවෙලා වීසිවෙලා ගියා. කට්‌ටියක්‌ එකතුවෙලා පස්‌ ඉවත් කරලා මාව බේරාගත්තා. අනෙක්‌ අයට වෙච්ච දෙයක්‌ නෑ.

මහා වර්ෂාවත් සමගම ඊයේ මහා පාන්දර මහා ශබ්දයක්‌ ඇති වුණා. බැලින්නම් පාන්දර විශාල පස්‌ කන්දක්‌ පමණක්‌ දකින්නට ලැබුණේ" යෑයි කොස්‌ලන්ද කන්ද නායයැම පිළිබඳව ජීවිතය බේරාගත් ගැමියෙක්‌ පොලිස්‌ නිලධාරියකුට පැවසීය.

"මම පෞද්ගලික ආයතනයක සිකුරිටි රැකියාවක්‌ කරනවා. පාන්දර රැකියාවට යද්දි මහා ශබ්දයක්‌ ඇති වුණා. පිටුපස හැරිලා බලද්දී මුළු පළාතම කළුවර වී තිබුණා.

අපේ ගෙවල් දොරවල්වලට දරු පවුලට මොනවා වුණාද කියලා හිතන්න බැරි වුණා. මීට පෙරත් මේ පළාත නායයනවා. මගේ බිරිඳ මගේ දරුවාට මොනවා වුණාද කියන්න දන්නේ නැහැ.

කන්ද නායයද්දී මගේ දණහිසට ඉහළින් පස්‌වලට යට වුණා. තවත් පස්‌ කන්දක්‌ ජල කඳත් සමග ගසාගෙන එද්දී කවුදො මාව ඇදලා ගත්තා යෑයි අනතුරෙන් ජීවිතය බේරා ගත් ආර්. ලෙච්චමි පොලිස්‌ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළාය.

මගේ දරු දෙදෙනාට වෙච්ච දෙයක්‌ නැහැ. මගේ නිවස පොළොවට සමතලා වුණා. ඒ වෙලාවේ මගේ සැමියා ගෙදර හිටියේ නැහැ. ඊයේ දවසේ මේ පැත්තේ වැස්‌ස තිබුණා. මේ වගේ විපතක්‌ වෙයි කියලා අපි හීනෙන්වත් විශ්වාස කළේ නැහැ.


සිද්ධිය ඇසින් දුටු රාජගෝපාල් (41) මහතා -

කන්ද මුදුනින් විශාල ශබ්දයක්‌ ආවා. මම කන්දට නැග්ගෙ ඒ ශබ්දය බලන්නයි. ඒ වනවිට වෙලාව 6.30ට විතර ඇති.

විනාඩි දෙකක්‌ ගියේ නෑ එකපාරටම පහළ තිබුණ කන්ද පාත් වෙන්න ගත්තා. මට අදහගන්න බැරි වුණා. ඒත් එක්‌කම ලයින් කාමර හැටතුනක්‌ම තිබූ තැන තිබුණේ නෑ. මයෙ හිතේ එකසිය හැටපස්‌දෙනකුට වඩා ඒ වෙලාවේ ලයින්වල හිටියා වෙච්ච දේ හීනයක්‌ වගේ.

0 comments:

Post a Comment