Pages

Subscribe:

Ads 468x60px

හිරු දෙවියන්ට පූජෝපහාර දක්‌වන තෛපොංගල් උත්සවය


තෛයි - පොංගල් නමැති හින්දු උත්සවය සෑම වර්ෂයකම ජනවාරි මස මැද හරියේදී පැවැත්වේ. එය අප රටේ රාජ්‍ය, බැංකු හා වෙළෙඳ නිවාඩු දිනයකි.

මෙම උත්සවය පැවැත්වීමේ නිමිත්ත සූර්ය වන්දනාව හෙවත් සූර්යයා නැමදීම හා සබඳකම් ඇති පෞරාණික චාරිත්‍රයකි. එදින හැම හින්දු නිවසකම විවිධ රසවත් සහ සුවඳවත් ද්‍රව්‍ය එක්‌කොට බතක්‌ පිස එය හිරු දෙවියන්ට පුදනු ලැබේ. චාරිත්‍රය එයයි.

මෙම උත්සවයේ ඉතිහාසය මානව සමාජ ඉතිහාසයේ ඉතා ඈතට විහිදී යයි. ක්‍රි. පූ. 2500 - 1000 අතර කාලයේ බටහිර ආසියාවේ සිට ඉන්දියාවට පැමිණ එහි පදිංචි වූ ආර්යයන්ගේ සමාජවල හිරු දෙවියන් නැමදීමේ

චාරිත්‍රය පැවැතිණ. ඒ තම අස්‌වනු පැසීම, වියළීම සහ එම කටයුතුකර ගැනීම සඳහා යහපත් කාලගුණයක්‌ ලබාදීම ආදී මහත් සේවාවක්‌ කරන හිරු දෙවියන්ට ගෞරව කිරීමක්‌ වශයෙනි. 

තෛයි-පොංගල් උත්සවය ශතවර්ෂ ගණනාවක්‌ තිස්‌සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූවකි. මෙම උත්සවය සහ බැදී ඇති හිරුගේ පිහිටෙන් ලබා ගත් අස්‌වැන්නෙන් ප්‍රථම කොටස කෘතගුණ පූර්වකව එම දෙවියන්ට පිළිගැන්වීම, මෙහි ප්‍රධාන කටයුත්තයි. 

මෙම පිදුම තුළ "අනාගතයේද අපි මෙසේ ඔබ පුදන්නෙමු. ඒ නිසා අපගේ අස්‌වනු සරු කළ මැනවි" යන ඉල්ලීම පවතී. මේ හැර තමන්ට පළතුරු, එළවළු, පලාකොළ සහ අල ලබා දෙන තුරුලතාවන්ට සහ කිරි ලබාදෙන එළදෙනුන්ට සැලකීමේ සිරිතක්‌ද මේ හා බැඳී ඇත.

හින්දු භක්‌තිකයෝ දින කීපයක සිටම තෛයි-පොංගල් උත්සවය සඳහා සූදානම් වෙති. උත්සවයට පෙරදින ඒ සඳහා අවශ්‍ය සියල්ල සම්පූර්ණ කර තබන ඔවුහු ගේ දොර මිදුල් අමැද පිරිසිදු කරති. ඔවුහු උත්සව දින අලුයම පිබිද කහ සහ තලතෙල් වැනි ද්‍රව්‍ය ශරීරයේ ගා ස්‌නානය කොට උත්සවය පැවැත්වෙන කාමරයේ බිම සහල්, තල හා මුං ඇට බඳු ධාන්‍ය සහ කහ කුඩු ආදිය යොදා කෝලම් නමැති විශාල රූපයක්‌ නිර්මාණය කරති. 


මේ රූපය මැද පිත්තල පහනක්‌ සහ පුන් කළසක්‌ තැබීමේ චාරිත්‍රයක්‌ ඇත. පිත්තල පහනින්, නරක දුරු වී ආලෝකය උදාවීමත් පුන් කළසෙන්, සශ්‍රීකත්වයත් සංකේතවත් වෙයි. මේ අතරම නිවසෙන් පිට ස්‌ථානයක සෑදු ලිපක්‌ මත තබා අලුත් සහල්, කජු, මුං, තල, හකුරු සහ එළකිරි යෙදු කිරිබතක්‌ පිස ගනු ලැබේ.

මල්, බුලත් හා සුවඳ ආදී ද්‍රව්‍ය සමඟ මෙම කිරිබත හිරු දෙවියන්ට පිදීමෙන් අනතුරුව සියලු දෙනා කරන්නේ පිරිසිදු වතින් සැරසී කෝවිල වෙත ගොස්‌ එහි පැවැත්වෙන ආගමික කටයුතුවලට සහභාගි වීමයි. 


එහි සිට පෙරළා නිවෙස්‌වලට ආ විටත් මහත් උත්සවශ්‍රීයක්‌ උදා වේ. කැවිලි පෙවිලි කිසිවකට මස්‌ මාංශ හෝ බිත්තර මිශ්‍ර නොකරන අතර එළකිරි, ගිතෙල්, මෝරු, ධාන්‍ය, පිටි, සීනි හා පැණි හකුරු ආදිය පමණක්‌ යොදා ගනු ලැබේ.

මෙම උත්සවයේ තවත් වැදගත් ලක්‌ෂණයක්‌ වන්නේ ගෘහවාසී ගවයන්ට සහ එළදෙනුන්ට විශේෂ සැලකීමක්‌ කිරීමයි. එම සතුන් වසන ගාල් ආදිය ප්‍රතිසංස්‌කරණය කොට පවිත්‍ර කරනු ලැබේ. බොහෝවිට උන් නෑවීම, මල් මාලා හා කිංකිණි ආදියෙන් උන් සැරසීම කරනු දැකිය හැකිය. මෙදින එම සතුන්ට කිරිබත්, ධාන්‍ය, පලතුරු හා එළවළු ආදී මනුෂ්‍යයන් බුදින ආහාරවලින්ම සංග්‍රහ කිරීම විශේෂ ලක්‌ෂණයකි.

තෛයි-පොංගල් උත්සවය ශතවර්ෂ ගණනාවක්‌ පුරා හින්දු සමාජවල අඛණ්‌ඩව පැවත එන උළෙලකි. නුවර, සුළු නුවර හා ගම් දනව් ආදියේ වසන හින්දු භක්‌තිකයින් පොදු බැම්මකින් බැඳලන ස්‌වභාවයක්‌ එහි ඇත.


එය සමාජයක ස්‌ථිර පැවැත්ම ආරක්‌ෂා කරන බලවත් සාධකයකි. මේ උත්සවය පැවැත්වීමේදී අනුගමනය කෙරෙන සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හා වත් පිළිවෙත්වල ඉහළ සංස්‌කෘතික අගයක්‌ ඇත. 

කුඩා ගමක්‌ හෝ නිවාස පුරයක්‌ වැනි පෙදෙසක බෞද්ධ කිතුනු හා මුස්‌ලිම් භක්‌ති අසල්වැසියන් මධ්‍යයේ වාසය කරන හින්දු ජනයා මේ උත්සව දින තම සමීප අසල්වැසියන්ටද ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීම අද දැක ගත හැකි ප්‍රවණතාවයකි. මෙය ඔවුන් අතර හොඳ හිත, සහජීවනය සහ සාමය ස්‌ථාපනය කිරීමට නිසැකවම හේතු වෙයි.

0 comments:

Post a Comment