Pages

Subscribe:

Ads 468x60px

කොටකෙතන ඝාතන රැල්ල මෙතෙනින් නිමාවකට පත්විය යුතුය


කොටකෙතන අලුත් ම ඝාතනයත් සමඟ ශ්‍රී ලංකාවේ අපරාධ ගැන අලුතින් සිතන්නට හා විමර්ශනය කරන්නට අවස්ථාව උදා වී ඇතැ’යි අපට සිතේ. කොටකෙතන ස්ත්‍රී ඝාතනවලට ප්‍රකට වූයේ 2008 ජූලි මාසයේ සිට යැයි මතකයක් අපට තිබේ. 

එදා ඝාතනය වූයේ සෙල්ලම්මා මරියානී නම් වූ කාන්තාවෙකි. එතැන් සිට මේ දක්වා කාන්තාවන් 18 දෙනකු ඝාතනය වී ඇත. මේ ඝාතනවල
ඇත්තේ අද්භූත ස්වරූපයෙකි. අනෙක් අතට බිහිසුණු ස්වාභාවයෙකි. මේ වන තෙක් ම ස්ත්‍රී ඝාතන සඳහා පිස්තෝල, රිවෝල්වර, තුවක්කු හෝ ගල්කටස් භාවිත වූ බවක් අප දන්නේ නැත. 

මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කිරීම හා ඝාතනය කළ සිරුරු විනාශ කිරීම සඳහා නිවෙස්වලට ගිනි තැබීම ද සිදු වී ඇත. මේ සෑම ක්‍රියාවකින් ම මතුවන්නේ දරුණු ගණයේ කෲරත්වයකි.

අලුත් ම ඝාතනයේ ගොදුර බවට පත්වූයේ 39 හැවිරිදි කාන්තාවකි. මේ කාන්තාව මන්නා පිහියකින් කපා කොටා දීර්ඝ ප්‍රදේශයක් ඔස්සේ ඔසොවාගෙන ගොස් අවසානයේ සිරුර කොටකෙතන ඔයට හෙළා තිබේ.


පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ කාන්තාවගේ 18 හැවිරිදි පුත්‍රයා එම ඝාතනය සිදුකර ඇති බව ය. ඒ අනුව පුත්‍රයා විසින් සිය මව ඝාතනය කරනු ලැබ තිබේ. පුත්‍රයාගේ පාපෝච්චාරණයෙන් හෙළිදරව් වන්නේ ඔහු සිය පෙම්වතියට ත්‍යාගයක් ලබාදීම සඳහා මවගෙන් රු. 1500/- ක් ඉල්ලා සිටි බව හා එය නො ලැබීම මත මව සමඟ ඇතිවූ ආරවුලකින් පසුව පුත්‍රයා මව ඝාතනය කළ බව ය.

මේ පාපතර පුත්‍රයා පළමුව කරන්නේ මවට අතින් පහරදීම ය. එම පහර කෑ මව සිහිසුන් වන අතර ඇය මියගියේ යැයි සිතන ඝාතකයා බියට පත් ව ඝාතනයේ වගකීම සමූහ මිනිස් ඝාතනයට යොමු කිරීම උදෙසා උපාය මාර්ගයක් භාවිත කරයි. 


එහි සම්පූර්ණ ඉලක්කය වන්නේ කොටකෙතන ඝාතන රැල්ලට මේ ඝාතනයත් එකතුකොට තමන්ගේ පාපකාරී අත් සෝදා ගැනීම ය. මෙයින් කරුණු දෙකක් ගම්‍ය වේ. පළමුවන්න කොටකෙතන ඝාතන රැල්ල තව ම අවසන් වී නැති බව ය. 

දෙවන්න අලුත් පරම්පරාව ද එම ඝාතන රැල්ලෙන් ආදර්ශ ලබාගෙන ඇති බව ය. රටේ ජනමාධ්‍ය ද ඊට වගකිව යුතු ය. එහි අර්ථය වන්නේ අපරාධ නිරූපණය කර දැක්වීම තවත් අපරාධවලට පාර කපන බව ය.

කොටකෙතන ඝාතන සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ආරම්භ වී තිබේ. 2008 ජූලි මාසයෙන් ආරම්භ වූ එම ඝාතන රැල්ල 2015 වන විට ස්වරූපයෙන්, නිරූපණයෙන් හා නිරවද්‍යතාව ප්‍රකාශ කිරීමෙන් ද බොහෝ ඉදිරියට ගොස් ඇති බව ය. 2008 සිට 2015 දක්වා ම එම ඝාතන රැල්ල කදිමෙට සිදු වී ඇත. ඇතැම් විට එහි අභිරහස් තිබිණි. 


ඇතැම් විට එම ඝාතනවලට කසිප්පු ජාවාරම්කාරයන් හා කුඩු ජාවාරම්කාරයන් සම්බන්ධ වී තිබිණි. ඒ පමණක් නො ව දේශපාලන හස්තයන් ද ඝාතන රැල්ල පසුපස තිබිණි. අප දන්නා පරිදි එම තොරතුරු සියල්ල ම පාහේ මේ වන විට හෙළිදරව් වී ඇත.

අලුත් ම ඝාතනය සිදු වී ඇත්තේ ඉහත කී ඝාතනවලට අලුත් අර්ථකථනයක් ද එකතු කරමින් ය. එය හැඳින්විය හැක්කේ බරපතළ අපරාධයක ආදර්ශය ගනිමින් තවත් අපරාධයක් සිදු කිරීම හෝ එය විකෘති කිරීමක් ‍යන ලෙසින් ය. 


සොයා බැලිය යුතු කාරණය වන්නේ අවුරුදු 18 ක තරුණයකු මේ තත්ත්වයට පෙළඹෙන්නේ මන් ද? ඔහුට බලපෑ සමාජ හා ආර්ථික සාධක කවරේ ද යන්න ය. ඒ පිළිබඳ විද්වත් සංවාදයක් ඇතිවන බවක් පෙනෙන්නට නැත. එවැන්නක් ඇතිකිරීම මෙරට සමාජ විද්‍යාඥයන්ගේ වගකීම යැයි අපට සිතේ.

ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ගැන ද රටේ නීතිය ක්‍රියාත්මක වීම ගැන ද මේ මොහොතේ අදහසක් පළකිරීම වැදගත් ය. අපේ පොලිස් දෙපාර්තමේන්තුව මේ අපරාධවල චුදිතයන් සොයා ගත්තේ ය. ඔවුන්ගේ උපාය මාර්ග ද සොයා ගත්තේ ය. 


අවසන් වරට කොටකෙතනේදී ඝාතනය වූ කාන්තාවගේ මිනීමරුවා සොයා ගැනීම සත්‍ය ලෙස ම පොලිසියේ විශේෂ දක්ෂතාවකි. ඝාතනයට ලක්වූ කාන්තාවගේම පුත්‍රයා මෙහි ඝාතකයා යැයි සැක කිරීමට කිසිදු හේතුවක් නො තිබිණි. එහෙත් පොලිසිය නිවැරැදි ලෙස කරුණු ගවේෂණය කළේ ය. අවසානයේ කාන්තාවගේ පුත්‍රයා වූ නියම ඝාතකයා අල්ලා ගත්තේ ය. එය මෙරට පොලිසියේත් ජයග්‍රහණයක් ලෙස සැලැකිය හැකිය.

කුමක් වුව රජය යහ පාලනයක් ඇතිකිරීමට යයි. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට යයි. මේ එකක්වත් නරක දේවල් නො වේ. අපරාධ අවම කොට සාධාරණ හා යුක්තිසහගත සමාජයක් ඇතිකිරීමත්; සමානාත්මතාවයෙන් යුතු ව සියල්ලන්ට ම සාධාරණ ලෙස ජීවත්වීමේ අවකාශය ලබාදීමත් මේ ආණ්ඩුවේ අරමුණ හා ඉලක්කය වී තිබේ. 


ඒ ගැන අපට සතුටු විය හැකි ය. ඇත්තට මුල් තැන දිය යුතු ය. නැත්ත ප්‍රතික්ෂේප කළ යුතු ය. කොටකෙතන ඝාතන රැල්ල මෙතෙනින් නිමාවකට පත්විය යුතුය. ඒ සඳහා මෙරට ජනතාව මෙන්ම පොලිසිය ද එක පෙරමුණකට ‍පැමිණ වේගයෙන් කටයුතු කළ යුතු ය.

0 comments:

Post a Comment