Pages

Subscribe:

Ads 468x60px

පිටසක්වල පවුල නිසා තඹුත්තේගම තවම නොසන්සුන්


තඹුත්තේගම රාජපක්ෂගම සැරිසරණ බව කියන අද්භූත පවුල සම්බන්ධ සිද්ධිය නිසා එම ගමේ බොහෝ දෙනා භීතයට පත්ව ගම හැරයන තත්වයක් මතුව තිඛෙන බව මින් ඉහත වාර්තා වුණා.

අද වනවිට එම තත්වය තවත් දරුණුවී ඇත. ගමේ අයට මේ පවුල සම්බන්ධ තවත් විවිධ අත්දැකීම් ලැබී ඇත. මීට දින ගණනකට ඉහතදී තඹුත්තේගම දඹුලූ පාරේ පදිංචි විසිඅට හැවිරිදි තරුණයකු වූ ඉන්දික තම

ත්‍රීවීල් රථයේ නැඟී රාජපක්ෂ ගම හරහා ගොස් ඇත්තේ ඊට අල්ලපු ගම වූ සෝලිය ගමේ පන්සලට යෑමටය. ඒ තම ලොකු අප්පච්චිගේ අවමගුලට පාංශු කූලය දීමට එහි ලොකු හාමුදුරුවන් වඩම්මවාගෙන ඒමටය. 

ඔහු රාජපක්ෂ ගම මැද වූ තුංමංහන්දියක් බඳු ස්ථානය සමීපයට පැමිණියේය. ඒ අසල දිය පහරක්, වෙල්යායක්ද විය. ඔහු එක්වරම දුටුවේ කොළ පැහැති ගවුමක් හැඳ උන් කාන්තාවකි. ඇය ත්‍රීවීල් රථයට අත දැම්මාය. මේ ගම්බිම්වල කිසිදු විටෙක පාරක තොටකදී යමකු අත දමා වාහනය නතර කළ විට නොනවත්වා යන සිරිතක් නැත. 

එහෙයින් ඉන්දිකද ˜නැන්දා කොහේද යන්නේ?˜ යැයි ඇසුවේය. ˜මම ඉස්සරහ සොහොන ළඟින් දාල යන්න˜ ඇය කීවාය.

ඔහු ඇයව නංවාගත් ස්ථානයේ සිට සොහොන් පිටියට යද්දී ඔහු වරෙක පසුපස බලන විට දුටුවේ ඇගේ මුහුණ විරූපී වී ඇති අයුරකි. මඳක් හෝ බිය වූ බව නොපෙන්වූ ඔහු ˜නැන්දේ මොකද මූණට වුණේ˜ ඇසූවිට
˜අනේ පුතේ මට ලෙඩක් තියෙනවා˜ යැයි කී ඇය සොහොන්පිටිය අසලදී ත්‍රීවීල් රථයෙන් බැස ඇත.


මේ කාන්තාව හා දැරිය වැඩි වශයෙන් දිස් වී ඇත්තේ ගමේ ඇති වගා ළිඳ අසලදීය. මේ ගම පිහිටපු දා සිට වගාවන්ට ජලය ගැනීමට හා නෑමට මෙම ළිඳ භාවිත කළ ගැමියන් පවසන්නේ දැන් දැන් තමන් මේ ළිඳ අසලටවත් යෑමට බියක් දක්වන බවය.

එක් කාන්තාවක් දවල් දොළහට එහි දිය නාමින් සිටියදී එක්වරම ඇය දුටුවේ අසල වූ ගල් තලාවේ ඉඳගෙන සිටින දාහතර හැවිරිදි දැරියකි. බියට පත්වූ එම කාන්තාව මේ වන විට මීගලෑව ප්‍රදේශයට ගෙන ගොස් ඇත්තේ ශාන්ති කර්මයක් කිරීමටය.


තවත් එක් කාන්තාවක වූ එම්.ජී. ඉන්ද්‍රාවතී මැදිවයසේ කාන්තාවකි. ඇය සතෙකුටවත් බිය නැති තැනැත්තියකි. රෑ ජාමේ වුවත් කුඹුරට හේනට යන ඇය ස්වාමිපුරුෂයාද අහිමි වූ වැන්දඹුවකි. 


ඇතැම් දවසට කිරි අම්මා දාන සඳහා රෑ එකට දෙකටද තනිපංගලමේ යන්නීය. එහෙත් පසුගියදා ඇය කුඹුරට ගොස් එනවිට ඉහත කී තුංමංහන්දියේ වූයේ රතු පැහැති ගවුමක් හැඳගත් කාන්තාවකි.

ඇය ඉන්ද්‍රාවතී දෙස බලා ˜උඹේ ඔය මල්ලේ මොනවාද?˜ යැයි ඇසුවාය. ඒ අහපු තාලය ගැනත්, ඇසූ දේ ගැනත් උරණ වූ ඉන්ද්‍රාවතී ˜ඒ උඹට මොකටද˜ ඇහුවේ, මේ කොහේදෝ යන අඳුනන්නෙ නැති ගෑනිට මගේ මල්ලෙ තියෙන දේ කියන්නෙ මොන දේකට දැයි සිතමිනි. 


එහෙත් ˜මට බඩගිනියි˜ කී රතු ගවුම හැඳ සිටි ගැහැනිය ඉන්ද්‍රාවතීගේ මල්ල උදුරා ගත්තාය. ඉන්ද්‍රාවතීද පැන තම මල්ල ඇගෙන් උදුරා ගැනීමට පොර බැදුවාය. අවසන මල්ල ගත් ඉන්ද්‍රාවතී ගෙදර එන්නට වුණා. 

එක්වරම ඉන්ද්‍රාවතී දුටුවේ ඒ අසල වූ දාර අඹ ගස මහ සුළි සුළඟකට හසුවූවක් මෙන් සෙලවී එක්වරම කඩා වැටුණා සේය. ඇය නිවෙසට යනතුරුත්, ඇයට හමුවූ කාන්තාව ගැන බියක් නොසිතිනි. 

එහෙත් ගෙදර ගියවිට ඇය දුටුවේ ඇගේ කලවා මත වූ සීරීම් ලකුණුය. ඇය බය වූයේ එහිදීය. ඉන්පසු ටිකෙන් ටික ඇයට බිය දැනෙන්නට වූ අතර, හිස කැක්කුමද දැනෙන්නට විය.

පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන මෑකරල් කැඩීමට ගිය ගමේ පිරිමි පුද්ගලයකුට දැනුණේ යමෙක් තමාව පසුපසට අදින බවයි. ඔහු හිස හරවා බැලු විට දුටුවේ කාන්තාවක් තමා පසුපස සිටින බවය. මින් බියට පත්වූ පුද්ගලයාට වැහුනෙ අපූරු ලෙඩකි. 


ඔහු මුළු දවසම ගත කළේ කරවල කකා ගම පුරා ඇවිදිමිනි. එහි ග්‍රාමසේවක මහතා දැන්වූ පරිදි ඔහු දවල් වනවිට කරවල කිලෝ එකහමාරක් පමණ කා දමා තිබි‚. මෙයද ඒ බිය වීමේ යම් බලපෑමකැයි ගම්වැසියෝ විශ්වාස කරති.

තවත් පුද්ගලයකු රාත්‍රියේ කුඹුරට යනවිට දුටුවේ නාඳුනන මැදි වයසේ පිරිමියකු සහ ගැහැනියක කුඹුරේ රැඳී සිටින අයුරුය. ඒ අනුව ගම්වැසියන් කියන්නේ මේ ගම පුරා අදෘශ්‍යමාන ගැහැනියක්, පිරිමියකු, දැරියක සැරිසරන බවය.


රාජපක්ෂ ගම විහාරස්ථානයේ විහාරාධිපති රත්වත්තෙ චන්දරතන හිමියන් පවසා සිටියේ ˜මේ හොල්මන් කතා බොරුවක්. මේක කාගේ හරි වෙන සැලසුමක්. මේ ගම මංකොල්ලකන්න හදන්නෙ මෙහෙම කියල මිනිස්සු බය කරල. ආගම දහමට අනුව ජීවත් වෙනවනම් මෙහෙම වෙන්නෙ නෑ.˜


ග්‍රාමසේවක අශෝක මහතා කියා සිටින්නේ ˜මේ වෙනකොට ගමම බයවෙලා. පස් හය දෙනෙක් හොඳටම අසනීප වෙලා. මේක විසඳගන්න දක්ෂ යකැදුරෙක් හරි, එහෙම නැත්නම් මානසික වෛද්‍යවරයෙක් හරි ඉදිරිපත් වෙනවානම් හොඳයි.

මෙහෙම ගියොත් ගම විනාශ වෙයි. ඒ සම්බන්ධයෙන් දැනුම තියෙන කෙනෙක් මේ ගමට සරණක් වෙන්න කියල මම ඉල්ලනවා.˜මෙහි පැමිනි‚ පිටස්තර පුද්ගලයකු වූ යම් ප්‍රසිද්ධ බැංකුවක ණය එකතු කිරීමේ නිලධාරියකුගේ වාහනයටද මේ කාන්තාව ගොඩවී ඇත. එම නිලධාරියා තම නම හෙළිදරව් කිරීමටද අකැමැති විය.


සමඟිපුර තඹුත්තේගම කම්බිලි, කඩවර දෙවොලේ දේවගැති ඩිංගිරි මැනිකා කියන්නේ තමාට මේ ව්‍යසනය පිළිබඳ දෙවියන්දැනුම් දුන් බවය. ඒ අනුව දෙවියන් පවසා ඇත්තේ, අතීතයේදී මේ ගමේ තිබූ නිධානයක් ගත් පිරිසක් මෙම නිධානය භාරව සිටි බහිරවයන් අල්ලා ගසකට තබා ඇණ ගසා ඇති බවය. 


මෑතකදී එම ගස කපා දැමීමෙන් එම බහිරවයන් නිදහස්ව දැන් ගම පුරා සැරිසරන බවත්, ඉක්මනින් ගමම එකතු වී ශාන්තිකර්මයක් නොකළ හොත් මේ ගමේ හත්දෙනකු බිලිගන්නා බවය. ඒ සමඟම ගමට ලොකු විනාශයක් වන බවය.

- සඳරැසි සුදුසිංහ අනුරාධපුර - මහේෂ් පටබැඳි

0 comments:

Post a Comment