Pages

Subscribe:

Ads 468x60px

සමාජ පරිවර්තනය වෙනතුරු බකංනිලාගෙන නොසිට

ඇසළ පොහොය දිනයේ මිනිසුන්ගේ නොමිනිස්කම් ගැන ලිවීම කිසිසේත් පහසු කටයුත්තක් නොවේ. එහෙත් අවාසනාවට රටේ සිවුදෙසින් අසන්නට ලැබෙන්නේ තිරිසනුන් මෙන් හැසිරෙන මිනිසුන් ගැනය. මිනිස්කමට නිගාදෙන සාහසික අපරාධවල වැඩිවීමක් මිස අඩුවීමක් සිදුවී නැත.

ඇමෙරිකාවේ "චිකාගෝ" නගරය ප්‍රසිද්ධ අපරාධවලටය. දිවයිනේ ඇතැම් ප්‍රදේශ කලෙක අපරාධ නිසා ප්‍රසිද්ධියට පත්වී තිබිණි. එහෙත් ඇමෙරිකා වේ චිකාගෝ මෙන් මුළු රටම අපරාධවලින් පිරී ගොස් ඇත.


කොළඹ කොටුවේ ගමන් බෑගයක තිබී තරුණියකගේ මළ සිරුරක් හමුවූයේ ඉකුත් 29 වැනිදාය. එදිනම බදුල්ල නගරයේදී දෙනෝදාහක්

බලා සිටියදී එකකු තවෙකකුට පිහියෙන් ඇන මරා දමා තිබිණි.

තංගල්ල නගරයේදී පන්න පන්නා වෙඩි තබා මරා දමා තවමත් සතියක් ගතවී නැත. දිගින් දිගටම මෙවැනි "සිද්ධීන්" ගැන සිහිකිරීම අප්‍රසන්නය. කෙසේ වුවද මේ අපරාධ පෞද්ගලික වැරැදි ලෙස ලඝු කිරීම බරපතළ වරද්දා ගැනීමකි.


උතුරේ මෙන්ම දකුණේ තිස් අවුරුද්දක් තිස්සේ මිනීමරා ගත් රටක, එකකුගේ මරණයේ ප්‍රීතියට රතිඤ්ඤා දැල්වූ - කිරිබත් කෑ පිරිස් වෙසෙන සමාජයක පුංචි ප්‍රශ්නයකටත් මිනී මරා ගැනීමට පෙලඹීම අරුමයක් නොවේ. වැරැදිකරුවන් උල තැබූ, ගෙල සිඳ දැමූ පැළඉනි වැටට ගහ මරා ගත් අතීතයක් තිබුණද මේ තරම් සාහසික සමාජයක් කිසි කලෙක තිබුණේ නැත.

අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, ඥාතියා හා අසල්වැසියා නොහඳුනන කලියුග කාලයක අසන්නට දකින්නට ලැබෙන දේවල් කිසිසේත් මිනිස්කම සමඟ ගනුදෙනු කළ නොහැක. එකම රටේ දෙපිරිසක් යුද වදින හැටි සාලයේ හිඳ රසවින්ද, ලේ ඥාතීන් දෙපිල බෙදී මිනී මරා ගන්න මේ සමාජයට අපරාධ මානසිකත්වයක් බෝ වී තිබේ. එවැනි පිරිසකට මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තුට්ටුවක් නොවටී.

කෙසේ වුවද පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවල වගකීම වන්නේ අපරාධකරුවන් සමඟ සන්ධානගත නොවී අපරාධ මර්දනයට උපරිම යෙන් කැපවීමය. අපරාධ මැඬලිය හැකි දක්‍ෂයෝ පොලිසියේ ඕනෑ තරම් සිටිති. 


ඕනෑම අපරාධකරුවකු වැඩිකල් නොයවා කොටුකර ගැනීමට ඔවුහු හපන්නු වෙති. අපරාධකරුවන් බෝ කරන සමාජය වෙනස් කිරීම කල් ගතවන "දේශපාලන" වැඩකි. එහෙත් සමාජ පරිවර්තනය වෙනතුරු බකංනිලාගෙන නොසිට පොලිසිය සිය රාජකාරිය අකුරටම ඉටු කළ යුතුය. අපරාධ මර්දනය කිරීම මේ සමාජයට කිසියම් හෝ අස්වැසිල්ලක් වනු ඇත.

0 comments:

Post a Comment