Pages

Subscribe:

Ads 468x60px

හැමදාමත් "හොඳම ටික" ජනතාවගෙන් අහගන්න.


මෑතක සිට කොළඹ නගරයෙත් දිවයිනේ බොහෝ ජනාකීර්ණ නගරවලත් දැඩි වාහන තදබදයක්‌ දක්‌නට ලැබේ. පෞද්ගලික වාහනයකින් කොළඹ නගරයට ඇතුළුවීම කෙනකුට මානසික ආතතිය ඇති කරන්නකි. 

උදේ වරුවේත්, හවස්‌ වරුවේත්, ගිනිගහන මද්දහනේත් පාර තොටේ එක පෙළට නවතා ඇති වාහනවල රියෑදුරු අසුන දෙස බලන ඕනෑම පුද්ගලයෙකුට කේන්තිය නොසන්සුන් බව පිරි මුහුණු දැක ගැනීමට
හැකිවේ.

වාහන පේළි ඉදිරියට ඇදෙන්නේ පැයට එක අඟලක්‌ ලෙසිනි. "ට්‍රැෆික්‌" පටන්ගත් වහාම පොදුවේ ජනතාව දෙස්‌ දෙවොල් තබන්නේ ආණ්‌ඩුවටය. අලුතින් වාහන ගත් හැම කෙනකුම කියන්නේ දැන් රටේ වාහන වැඩි නිසා වාහන ගෙන්වීම නතර කළ යුතු බවය. විශාල සුඛෝපභෝගී වාහනවල ගමන් කරන අයගේ බයිට්‌ එක ත්‍රිරෝද රථය. 


පොදුවේ සියලුම වාහනවල ගමන් ගන්නා උදවිය කියන්නේ වැරැද්ද ඇත්තේ යතුරුපැදිකරුවන් අත බවය. ඕනෑම වාහන තදබදයක්‌ අස්‌සේ වාහන පේළි අතරින් රිංගවමින් ඉදිරියට යන අමනෝඥ යතුරුපැදිකරුවන් පිළිබඳව එලෙස කේන්තියක්‌ ඇතිවීම සාධාරණය. 

ඊළඟ කාරණය වාහන තදබදය සේම බරපතළ ලෙස රිය අනතුරු සංඛ්‍යාවද වැඩිවී තිබීමය. දවසින් දවස රිය අනතුරු ඉහළ යැමක්‌ මිස අඩුවීමක්‌ දක්‌නට නැත. බැලූ බැල්මට නගරයේ පමණක්‌ නොව ගමේ අතු පාරවල්වල පවා මාර්ග පද්ධතිය දියුණුය. 

එවැනි තත්ත්වයක්‌ තුළ සාපේක්‍ෂව රිය අනතුරු අවම වීමත් වාහන තදබදය අවම වීමත් සිදුවිය යුත්තකි. එහෙත් දිනෙන් දින නරකට හැරෙනවා මිස යහපත් තත්ත්වයක්‌ ඇතිවන බවක්‌ පෙනෙන්නට නැත.

රිය අනතුරු වැඩිවීමටත්, වාහන තදබදය වැඩිවීමටත් ප්‍රධාන හේතුවක්‌ වී ඇත්තේ රියෑදුරන්ගේම අවිනීත බව කිව යුතුය. විශේෂයෙන් රටේ කොතැනක වුව මේ තත්ත්වය දක්‌නට ලැබේ. මාර්ග නීති නිසි ලෙස පිළිනොපදින විනයගරුක නොවන තාක්‌ මේ තත්ත්වයට නිසි පිළියම් යෙදිය නොහැකි බව අපේ විශ්වාසයයි. 


නිදසුනක්‌ ලෙස දුම්රිය හරස්‌ පාරක්‌ අසලදී දුම්රිය ගේට්‌ටුව වැසුණු පසු ඇතිවන තත්ත්වය සිහිපත් කළ හැකිය. දුම්රිය යන තුරු ගේට්‌ටුව දෙපස වාහන පෙළට නතර කර තබන විට යතුරුපැදි කරුවන්ද, ත්‍රිරෝද රථ රියෑදුරන්ද අනෙක්‌ වාහන පසු කරමින් ඉදිරියට පැමිණ ගේට්‌ටුව ඉදිරියේ එක පොදියට නතර වෙති. 

ගේට්‌ටුව දෙපසම තත්ත්වය එලෙසය. ගේට්‌ටුව ඇරුණු විට මේ යතුරුපැදි සහ ත්‍රිරෝද රිය පොදි තරගයට මෙන් දුම්රිය හරස්‌ මඟ පසු කරති. එවිට ඇතිවෙන්නේ අප්‍රසන්න තදබදයකි. මහ පාරේ ගමන් කරන විටද තත්ත්වයේ වෙනසක්‌ නැත. 

කහ ඉර පදිකයන්ගේ ලයිසන් එක නොවේ යයි කියමින් කහ ඉර මතින් පදිකයකු ගමන් කරන විට පවා වාහන ගමන් කිරීම සුලබය. සමහර යතුරුපැදිකරුවන් හා ත්‍රිරෝද රථ රියෑදුරන් ඉතාම අවිනීත ආකාරයෙන් මේ ක්‍රියාව සිදු කරනු දැකිය හැකිය. 

රියෑදුරන් පමණක්‌ නොව පදිකයන්ද වාහන තදබදය ඇති කිරීමටත් රිය අනතුරු වැඩි වීමටත් සෘජු දායකත්වක්‌ සපයන බව සඳහන් කළ යුතුය. අවිනීත ලෙස මහා මාර්ගය භාවිත කිරීම පදිකයන් අතින්ද සිදු වන්නකි. කහ ඉර මාරුවන කහ ඉර නොමැති තැනකදී මාරුවන බොහෝ දෙනෙක්‌ගේ කණේ පෙම්වතියගේ තොදොල් කතාය. 

ගෙදර ප්‍රශ්නය. ජංගම දුරකතනයට අවධානය ගිය විට මහපාර ගෙදර මිදුල බවට පත්වන්නේ නිරායාසයෙනි. ගෙදරට ගෙන යා යුතු හාල් පොල් පිළිබඳව කහ ඉර මැද ඉඳ කල්පනා කරන අය සිය කල්පනාව නැතැයි බැණ වදින්නේ රියෑදුරන්ටය. 

බලනවිට දෙපාර්ශ්වයම එකය. එකිනෙකාට බැණ ගන්නා මේ පාර්ශ්වයන් තමන්ගේ "මාර්ග විනය" හදා ගත්තා නම් ප්‍රශ්නයෙන් සියයට හතළිහක්‌ - පනහක්‌ අතර ප්‍රමාණයක්‌ ඉවර බව අපි තදින්ම විශ්වාස කරමු.

හරි හැටි පුහුණුවක්‌ නොලබා රිය පැදවීම, ජංගම දුරකථනය භාවිත කරමින් රිය පැදවීම, තමන් ගමනේ යෙදෙන්නේ අනිකා පරාජය කර රේස්‌ යැමට යෑයි සිතා අධික වේගයෙන් රිය පැදවීම වැනි කාරණාද තදබදයට හා අනතුරුවලට බලපාන තවත් කාරණා බව සිහිපත් කළ යුතුය.

මේ වර්ෂයේ පමණක්‌ මෝටර් රථ හාරලක්‌ෂ හැටදහසක්‌ මේ රටට ආනයනය කර තිබේ. වාහන තදබදයට එයද එක්‌ හේතුවක්‌ බව සිතිය හැක. එමෙන්ම මහාමාර්ග සංවර්ධනය වීම හොඳ තත්ත්වයක පැවතුණද වැඩිවන ජනගහනයට හා වාහන සංඛ්‍යාවට ඔරොත්තු දෙන ආකාරයට මහාමාර්ග පද්ධතිය සැලසුම් කර නොතිබීමද මේ තදබදය ඇතිවීමට ප්‍රධාන හේතුවකි.

මේ වාහන හැසිරවීමෙහි ක්‍රමවේදය හා මාර්ග සංඥ පද්ධතිද මේ තත්ත්වයට ඔරොත්තු දෙන ආකාරයට යාවත්කාලීන නොවන බව අපේ හැඟීමයි. එතැනදී රථවාහන හසුරවන පොලිස්‌ නිලධාරීන් හැමදාමත් "හොඳම ටික" ජනතාවගෙන් අහගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත. 


අප විශ්වාස කරන්නේ පොලිසියට වුව දොස්‌ පැවරීමෙන් පලක්‌ නැති බවය. සිදුවිය යුත්තේ මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු ආයතන සියල්ල එකට එකතු වී අනාගතයට ගැළපෙන පරිදි විධිමත්, යාවත්කාලීන වන විසඳුමක්‌ සෙවීම බව අපි කියමු.

0 comments:

Post a Comment