"අපේ සෝභිත හාමුදුරුවෝ" අද දැයෙන් සමුගනිති. උන්වහන්සේ කොයි කාටත් අපේ සෝභිත හාමුදුරුවෝ වූයේ සැබැවින්ම අපේ කම අපේ රට, ජාතිය වෙනුවෙන් අභීතව පෙනී සිටි බැවිනි.
ඒ අභීත අසිරිමත් බුද්ධ පුත්‍රයාණෝ ජාතික සටන් බිම විචිත්‍රවත් කළ විශිෂ්ටතම සංඝ සේනාධිපතියෝද වූහ. ජාතියක් කම්පාවන අද දිනයෙන් පසුවත් උන්වහන්සේගේ අභීත සේම මධුර ස්‌වරය සියලු ජනහදවත් තුළ
නිරන්තරයෙන් නින්නාද නොවේ යෑයි කිව හැක්‌කේ කවරකුටද?
සංඝ සභාව විචිත්‍රවත් කළ සෝභිත හිමියෝ, ජාතික සටන් බිමෙහි සිංහනාද කරන්නාසේම දම්සභා මණ්‌ඩපයේ මධුර ස්‌වරයෙන් දම් දෙසුම් කළේ ජනහද බැතියෙන් සනහාලමිනි.
ජාතික සටන් ව්‍යාපාරයේ උන්වහන්සේ පෙරමුණේම සිටි බව අමතක කළ යුතු නොවේ. 83' කලු ජූලිය, පිටකොටුව බෝගහ අභියස පැවැති විරෝධතාව, යුද හමුදා භටයන් 13 දෙනකුගේ මෘත ශරීර කොළඹ මහ රෝහලට ගෙන ආ මොහොතෙහි රෝහල වටා ගිය විරෝධතා පා ගමන, බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවැති සිංහල බල මණ්‌ඩල රැස්‌වීම ජාතික සටන් ව්‍යාපාරයේ උන්වහන්සේගේ විශිෂ්ට අභීත බව නිරන්තරයෙන් ප්‍රකට කළ අවස්‌ථාවන්ය.
1987 ජුලි 28 කොටුව බෝගහ අභියස පැවැත්වූ විරෝධතාවට උන්වහන්සේ නායකත්වය දුන්නේ එජාප ආණ්‌ඩුවේ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිවය.
ඡේ. ආර්. ජයවර්ධන පාලන සමයේදී ඉන්දියානු හමුදා මෙරටට ගෙන්වූ මෙහොතේ (නිලනොලත් ඉන්දියානු ආක්‍රමණය) ඊට එරෙහිව සිය දිවි පරදුවට තබමින් අපේ මාදුළුවාවේ සෝභිත හිමියෝ සටන් වැදුනහ. ඒ මව්බිම සුරැකීමේ ව්‍යාපාරයට එක්‌වෙමිනි.
උන්වහන්සේගේ දේශපාලනය ජාතික සටන් ව්‍යාපාරය හා බැඳුණු එකක් වුවද බොහෝ දෙනෙකු එය පක්‍ෂ දේශපාලන යෑයි වැරදි ලෙස අර්ථ ගැන්වීය. එහෙයින්ම උන්වහන්සේගේ සැබෑ භූමිකාව කවරේද යන්න යටගිය බව අපේ හැඟීමය.
අවසන් දින කිහිපයේ උන්වහන්සේ රට යන අත ගැන දැඩිලෙස කම්පාවට පත්ව සිටියහ. ජාතික සටන් ව්‍යාපාරයට නායකත්වය දුන් අභීත බුද්ධ පුත්‍රයකු ලෙස උන්වහන්සේ කිසිවිටෙකත් නොපැතූ, නොසිතූ දේ සිදුවන විට උන්වහන්සේ ඊට එරෙහිවද නැගී සිටියහ.
රජෙකු අභියස වුව කිව යුතුදේ සෘජුව කියා සිටීමේ අභීත පිළිවෙතක සිටි උන්වහන්සේ වත්මන් රජය හමුවේද "රට යන නරක අත" ගැන සිය අසතුට ප්‍රකාශ කළ වාර ගණන බොහෝය. මේ තමන් වහන්සේ පැතූ "සාධාරණ සමාජය" නොවන බව උන්වහන්සේ පසුගිය කාලය පුරා නිතර කියා පෑහ.
සෝභිත හිමි නම් මධුර ධර්ම දේශකයාණෝ මෑත ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ධර්ම දේශනා පැවැත්වූ හිමිනම බව කිවහොත් එය අතිශයෝක්‌තියක් නොවේ. උන්වහන්සේ නොවැඩි රටක්, උන්වහන්සේ නොවැඩි විහාරස්‌ථානයක්, ගමන් සොයා ගැනීමට නොහැකි තරම්ය. එය ඉතා ගැඹුරු වාග් විලාශයකි. දේශනා හුරුවකි. සම්ප්‍රදායට කොටු නොවූ දම් දෙසුන් ක්‍රමයකි.
දනන් ඒ දම් දෙසුන් ප්‍රියකළේ පාලිය, සංස්‌කෘතය, ඉපැරණි පතපොත මතු නොව, වත්මන් සමාජයෙන්ද උකහාගත් උපමා උපමේයයන්ගෙන් සපිsරි බැවිනි. එවැනි ගැඹුරු එහෙත් හදවත්හි පතුලම සොයායන දම් දෙසුමෙහි විචිත්‍ර භාණක හිමිවරු විරලයහ. සෝභිත හිමියෝ ඒ අතර ප්‍රමුඛවම සිටියාහ.
දම් දෙසුමත්, නැගී සිටිය යුතු තැන අභීතව නැගී සිටීමත් උන්වහන්සේ හැත්තෑතුන්වැනි විය සපුරා සිටියද සිය දිවියේ අවසන් කාලයේ පවා අත්හැරියේ නැත. තමන් වහන්සේ නිහඬව සිටීම යනු රටක් ජාතියක් නිහඬවීම බව උන්වහන්සේ කිසිවකුටත් නොකියාම කල්පනා කරන්නට ඇති බව නිසැකය.
වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගෙන් පසු සංඝ සංස්‌ථාවම වාග් චාතුර්යයෙන් ඔප්නංවා සිංහනාද කළ හිමියෝ උන්වහන්සේය.
උන්වහන්සේගේ පැවැත්ම සරලය, චාම්ය, කෝට්‌ටේ නාග විහාරය ඇසුරු කළ බොහෝ දෙනා මේ බව හොඳින් දන්නෝය. සෝභිත හිමියෝ තමන් වැඩ විසූ නාගවිහාරය පුණ්‍ය භූමියක් පමණක් නොව ජාතික, සංස්‌කෘතික ආධ්‍යාත්මික පොහොසත් තැනක් බවටද පත් කළහ.
රටට වුවමනාම මොහොතක උන්වහන්සේ නිවන් මඟ වැඩීම අප කාටත් කම්පනයක් ඇති කරන්නේ ඒ සියලු කාරණා නිසාය. හිමියනි අවසර....
----- සදහටම නිහඬ වූ ජාතියේ සිංහනාදය -----
වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මා හිමි අපවත්වීමෙන් වසර 125 ක් පිරීම පසුගියදා සිදු විය. උන්වහන්සේගේ පුනරාවතාරය බඳු මාදුළුවාවේ සිරි සෝභිත නා හිමියන්ගේ හදිසි අපවත්වීමද පසුගියදා සිදු විය. අමද්‍යප ශ්‍රී ලංකාවක් සියලු ජාතීන් හා ආගමිකයන් සාමුහිකව ජීවත්වන සාධාරණ සමාජයක් ඉත සිතින් පැතූ මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ජාතියේ හා දේශයේ සිංහනාදය විය.
අයුක්‌තිය අසාධාරණය හමුවේ සටන් වැදුන කහපාට බුද්ධ චීවරයෙන් වැසුන උන්වහන්සේගේ ජීවන ශරීරය බැබළුණේ කොතනද උන්වහන්සේගේ අභීත සිංහනාදය ඇසීමට ජනී ජනයා පොරකෑහ.
අද ඒ නාදය නිහඬව ඇත. උන්වහන්සේගේ අපවත්වීමෙන් ඇතිවූ හිස්‌තැන පිරවීමට තවත් පරම්පරා ගණනාවකට එවන් යතිවරයෙකු පහළ වේදැයි සැකයකි.
ද්‍රවිඩ ත්‍රස්‌තවාදීනට මාදුළුවාවේ නාහිමියන් උග්‍ර ජාතිවාදියෙක් විය. ඒ නිසා තම්බයියාගේ පොතෙහි පිටකවරය සැරසුනේ මාදුළුවාවේ හිමියන්ගේ වේගවත් කතාවක් පිළිබිඹු කරන පින්තූරයකිනි. ආගමික මුලධර්මවාදීනට මාදුළුවාවේ නා හිමියන් උග්‍ර බෞද්ධාගම්වාදියෙකි.
අතීත සාම පෙරහැරේ ගිය එන්.ජී.ඕ. නඩයටද නාහිමියන් ජාතිවාදි ආගම්වාදියෙකි. යූ.එන්.පී කාරයාට නා හිමියෝ උග්‍ර ශ්‍රී ලංකාකාරයෙකි. වර්තමානයේ ඇතැම් විපක්‍ෂ සාමාජිකයන්ට මාදුළුවාවේ නාහිමියන් යූ. ඇන්. පී කාරයෙකි.
රාජපක්‍ෂ විරෝධියෙකි. තමා දමාගෙන සිටින කණ්‌ණාඩියෙන් පෙනෙන හැටියට උන්වහන්සේ එසේ වර්ණ ගැන්වූ වත් මාදුළුවාවේ නාහිමියන් කිසිම පක්‍ෂයකට, ජාතියකට, ආගමකට හෝ පුද්ගලයෙකුට පෞද්ගලිකව එදිරිවාදිකමකට පහරදුන් හෝ විරුද්ධවූ කෙනෙක් නොවනු බව මාදුළුවාවේ නා හිමියන්ගේ ජාතික මෙහෙවර පිළිබඳව විමර්ශනාත්මකව බලන්නෙකුට පෙනී යයි.
ලංකාවේ දේශපාලන පක්‍ෂ ක්‍රමයට පාර කැපුනේ 1912 දී ආරම්භ වූ ශ්‍රී ලංකා අමද්‍යප සභාවෙනි. මුදලිඳු දොන් ස්‌නේටර් සේනානායක මුදලිතුමන් මුලසුනෙහි තබාගෙන ඩී. සී., ඇෆ්. ආර්., ඩී. ඇස්. යන දරු තිදෙනාත්, අනෙකුත් ජාතිමාමක සිංහල බෞද්ධ සහ අබෞද්ධ නායකයන් ඇරඹූ අමද්‍යප සංගමය ඉංග්‍රීසින්ගේ සුරාසොඬ ව්‍යාපෘතියට සිංහල, දෙමළ මුස්‌ලිම්, ආදී ජනතාව යොමුවී තම ශරීරයත්, පවුලත්, ගමත් රටත් විනාශවී යනවාට විරුද්ධව කඳවුරු බැන්දේය.
පසුව ලංකා ජාතික සංගමය පිහිටුවා එයින් පසු පක්‍ෂ ක්‍රමය යටතේ දේශපාලන පක්‍ෂවලට බෙදී තරග කර ඔවුන් රටේ නායකයන් බවට පත්වුවද තම දේශපාලන ගමන ඇරඹූ අමද්‍යප ප්‍රතිපත්තියට යකා වැහුනේය.
අමද්‍යප ප්‍රතිපත්තිය පිරුවටයක් සේ ඉවත් කර සුරාව රජයන සමාජයකට රට ගෙනගියේ නොදැනුවත්ව නොව දැන දැනමය. පසුගිය සියවසේ අවසානයේ එම අමද්‍යප සභාවේ නායකත්වය ලැබුණේ මාදුළුවාවේ නාහිමියන්ටය.
උන්වහන්සේ අමද්‍යප තරුණ සමිතිය පිහිටුවා ගමින් ගම අමද්‍යප වැඩසටහන ක්‍රියාත්මක කළේ තරුණ යතිවරුන්, තරුණ නායකයන් එකතු කර ගනිමිනි. අමද්‍යප මුද්‍රණාලය අරඹා සිය දහස් ගණනින් පොතපත මුද්‍රණය කරවා බෙදා දැම්මේය.
ගමින් ගමට ගොස් ධර්ම දේශනා පවත්වමින් සුරාවේ ආදීනවය පිළිබඳව ජනතාවට දේශනා කර සිටියේය. එදා දිනකට කොහේ හරි අමද්‍යප සම්මන්ත්‍රණයක්, සාකච්ඡාවක් අමද්‍යප වැඩසටහනක් ක්‍රියාත්මක විය.
මාදුළුවාවේ නාහිමියන්ගේ ධර්ම දේශනා ශෛලිය රටේ කාටවත් අමතක නොවේ. උන්වහන්සේගේ ධර්ම දේශනයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරණය වන විට බෞද්ධයන් පමණක් නොව අබෞද්ධයන් පවා අසාගෙන සිටියේ සොම්නස් සහගතවය.
මාදුළුවාවේ නාහිමියන් කොටි ත්‍රස්‌තවාදීන්ගේ යුද්ධය නොනවත්වා ඉදිරියට ඇදීගෙන යන විට බලා සිටියේ මහත් වේදනාවෙනි. ඒ අවස්‌ථාවේදී එදා පැවති ආණ්‌ඩුවලට නාහිමියෝ තදින් පහර දුන්නේය.
මාදුළුවාවේ නාහිමියන් හා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඡේ. ආර්. ජයවර්ධන පාලන සමයේදී මැරයන්ගෙන් පහර කෑවේ සිංහල බල මණ්‌ඩල රැස්‌වීමකදී බෞද්ධ සම්මේලන ගොඩනැඟිල්ලේදීය.
නමුත් උන්වහන්සේ ඡේ. ආර්. ජයවර්ධන මහතාට බණින්නට පොල් ගහන්නට ගියේ නැත. මාදුළුවාවේ නාහිමියන්ගේ ධර්ම දේශනය ගුවන් විදුලිය මගින් ප්‍රචාරණය කිරීමද තහනම් විය.
සියල්ල උපේක්‍ෂා සහගතව ඉවසීය. නමුත් ජයවර්ධන ජනාධිපතිවරයා පිළිබඳ එතුමාගේ හොඳ කියා ගුණ වයන්නට නාහිමියෝ කිසි විටෙකත් මැලි නොවීය. ආර්. ප්‍රේමදාස ජනාධිපති පාලන යුගයන්හිදී ද එතුමන් සමඟ ප්‍රබල ඇයි හෝයියක් තිබුණේ නැත. රජයේ සියලු වැරදිවලට නාහිමියන් නිර්දය ලෙස පහර දුන්හ.
මාදුළුවාවේ නාහිමියන් ප්‍රේමදාස රජයේ වැරදි විවේචනය කරන විට බොහෝ නායක හිමිවරුන් ජනාධිපතිවරයා වටේ සිටිමින් නොයෙක් වරප්‍රසාද ලබාගත්හ. ප්‍රේමදාස මහතා මියගොස් ජනාධිපති පදවිය ටික කලකින් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියට ලැබිණි. එතුමිය ජයගෙන මුලින්ම පැමිණියේ මාදුළුවාවේ නාහිමියන්ගේ නාග විහාරයටය.
නමුත් එම රජයේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලෙස ගෙනා පැකේජයට නා හිමියෝ තදින්ම විරුද්ධ විය. ප්‍රේමදාස ජනාධිපතිතුමන් උදව්ගත් හිමිවරු පොදු පෙරමුණ රජය වටා එක් විය. මාදුළුවාවේ නාහිමියන් දේශය හා ජාතිය වටා මිනිසුන් රැස් කළහ. සුනාමි විපත පැමිණියේය.
මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කරන්නට රටේ අනෙකුත් ජනතාව අවදි කිරීමට නාහිමියන් ගේ හඬ රූපවාහිනි ගුවන්විදුලි වැනි ජනමාධ්‍යයන් වලට නැතිවම බැරි විය. නාහිමියෝ ජාතියට ආයාචනා කළේ වතුරට කුහුඹුවන් වැටුණම එකිනෙකා එකතුවෙලා රොද බැඳ ගන්නවා වගේ රට පුරාම ජනයා මේ විපත්තියේදී ජාති ආගම් පක්‍ෂ පාට බේදවලින් තොරව එක්‌වෙන ලෙසයි.
ගෙදර තිබෙන බූලි, කැටයේ තිබෙන සල්ලි ටික හරි දෙන්නදෙයක් නොමැතිනම් අරගෙන ඇවිත් පරිත්‍යාග කරලා සුනාමි විපතෙන් දුකට පත්වූ අයට පිහිට වන ලෙස ඉල්ලා සිටියේ සිය මධුර මනෝහර කටහඬ අවදි කරමින්ය. පුංචි දරුවන් පවා තමාගේ ඉතුරුම් කැට ගෙන අවුත් රජයට පරිත්‍යාග කළේ එවිටයි.
විධායක ජනාධිපති ක්‍රමයත් අනුපාත ක්‍රමයත් රටටත් ජනතාවට හතුරුවූ ක්‍රමයක් බව නිතරම රටට පෙන්වා දීමට නාහිමියෝ මැලි වූයේ නැත. හිටපු ජනාධිපතිතුමන්ම ලවා මෙම ක්‍රමය වෙනස්‌කර ගැනීම උන්වහන්සේගේ ඒකායන බලාපොරොත්තුව විය. නමුත් එය වැරදිනි.
එය සිදු කිරීමට පොදු අපේක්‍ෂකයා වශයෙන් තමන් වහන්සේ වුවද ඉදිරිපත් වන බව පැවසුවේ වරක් දෙවරක් නොවේ. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමේ මෙහෙයුමේ මාදුළුවාවේ නාහිමි සිදුකළ කාර්යභාරය සුළුපටු නොවෙනු ඇත. එය සිදුකළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට පෞද්ගලිකව අමනාපයකට විරුද්ධව නොව ගෙනගිය පාලන ක්‍රමයට එරෙහිවය.
"මේ තරම් බලතල ඇති විධායක ජනාධිපති ක්‍රමයක් ලෝකයේ කිසිම රටක නැහැ" නාහිමියන්ගේ අභීත සිහ නාදය රටේ ජනතාවගේ කන් පසාරු කරගෙන ගියේය. ඒ ක්‍රමය වෙනස් කිරීමට නාහිමියෝ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ගොඩනැඟීය.
අල්ලස දූෂණයට, අපරාධවලට, සුරාවට සූදුවට විධායක ජනපති ක්‍රමයට, අනුපාත ක්‍රමයට පාලකයන් සහ ඔවුන්ගේ හෙන්චයියන් සුරසැප විඳින පාලනයකට යුක්‌තිය වන වැදී අයුක්‌තිය රජයන ක්‍රමයකට නා හිමියන් විරුද්ධව ගෙන ගිය සටන ජය ලැබුවත් නාහිමියන් අපේක්‍ෂා කළ දේ නොවන විට මහත් කනස්‌සල්ලෙන් පැවසුවේ "තැටිය රත්වෙලා රොටිය පුච්චාගන්න ප්‍රමාද නොවිය යුතු" බවයි. එසේ වුවත් නාහිමියන්ගේ ආයු කාලය වේගයෙන් ගෙවී යමින් තිබිණි.
වසර 72 ක පමණ ජීවිත කාලය නිමාවන්නේ මාදුළුවාවේ නාහිමියන් ප්‍රධාන නායකත්වයකින් පත්කර ගත් නව ජනාධිපතිවරයාත් දිවුරුම් දී මාස දහයක් සම්පූර්ණ වන විටය. උන්වහන්සේගේ අභීත සිංහ නාදය අද නිහඬය. තව දින කිහිපයකින් නාහිමි ශ්‍රී දේහය භෂ්මාවශේෂ බවට පත්වෙනු ඇත.
මේ රටේ කෘතගුණ දන්නා ජනතාව නාහිමියන්ගේ එම භෂ්මාවශේෂ රැගෙන ගොස් අප රටේ මැතිවරණ කොට්‌ඨාස එකසිය හැට තුළම සමරු කොත් තැනුවත් නාහිමියන් සිදුකළ සේවයට එම උපහාරය මදිය. හැම නගරයකම නාහිමියන්ගේ නමින් මාවතක් නම් කළත් මදිය.
නගරයෙන් නගරය නා හිමියන්ගේ ප්‍රතිමා තැනුවත් මදිය. නාහිමියන්ට තිබෙන ගෞරව උපහාරය වන්නේ ජනාධිපති අගමැති දෙපළ කෙරෙහි නාහිමියන් තබා තිබූ විශ්වාසය බලාපොරොත්තු වූ අරමුණු ජාතිය වෙනුවෙන් ඉටු කිරීමයි.
0 comments:
Post a Comment