Pages

Subscribe:

Ads 468x60px

සියල්ල පිළිබඳ අවදියෙන් බලා සිටීම සබුද්ධික ජනතාවගේ යුතුකමය...


1994 අවුරුද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූයේ දූෂිතයන් අල්ලා ගාලු මුව‍ෙදාර පිටියේ එල්ලන බව කියමිනි. අපරාධකාරයන්ව ජම්පර් අන්දවා වැලිකඩ සිපිරි ගෙදර යවන බවද ඔවුහු පැවැසූහ. 

දස අවුරුද්දක පාලන කාලයේදී දන්නා තරමට කිසිවකු එල්ලුවේ නැති අතර එකෙකුට හෝ ජම්පර් ඇන්දුවේද නැත. 2005 අවුරුද්දේ ජනාධිපති ධුරයට පත්වූ මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන
ආණ්ඩුව යටතේ දූෂිතයන්ට අපරාධකාරයන්ට එරෙහිව "නීතිය" ක්‍රියාත්මක වීම "යුද්ධය" නමැති සාධකය පෙන්වා අකර්මණ්‍ය කර දැමීය. 2010 පසු එළැඹි පශ්චාත් යුද සමයේ සිදුවූයේ කුමක්දැයි අමුතුවෙන් ලිවිය යුතු නැත.

2015 ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයෙන් රාජපක්‍ෂ පාලනය පරාජය වීමට ආර්ථික ප්‍රශ්න සමඟ ගැටගැසුණු ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය බිඳ වැටීමේ ප්‍රශ්න බලපෑ බවට විවාදයක් නැත. ඒ බව නොපිළිගන්නේ එක්කෝ දේශපාලන "අඥානයෙක් විය යුතුය. නොඑසේ නම් නියතයෙන්ම දේශපාලන තක්කඩියෙක් විය යුතුය.


2015 ජනවාරි 8 වැනිදා ජනතාවගේ මැදිහත් වීමෙන් සිදුවූ "පෙරළිය" නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට මහත් දායකත්වයක් ලබාදී තිබෙන බව පෙනේ. හෝමාගම මහෙස්ත්‍රාත් රංග දිසානායක ඉකුත් අඟහරුවාදා ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව ලබාදුන් තීන්දුව ඊට කදිම උදාහරණයකි.

අධිකරණයට කඩා වැදී මහෙස්ත්‍රාත්වරයාට බලපෑම් කරමින්, රජයේ නිලධාරීන්ට තර්ජනය කරමින්, එක්නැලිගොඩගේ බිරියට උසාවි භූමියේදී බැන වදිමින් අශීලාචාර හා අශිෂ්ට ලෙස හැසිරුණු ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම යුක්තියුක්තය. 


නොඑසේ නම් එය වැරැදි පූර්වාදර්ශයක් වනු නියතය. රාජපක්‍ෂ පාලන සමයේ මේ ලෙස ආයතනවලට කඩා වැදී ඥානසාර හිමි ප්‍රමුඛ බොදුබල සේනා කළ බලහත්කාරකම්වලට කිසිදු නීතිමය පියවරක් ගැනුණේ නැත. එහි ප්‍රතිඵලය වූයේ අලුත්ගම ජාතිවාදී කෝලහාලයක් නිර්මාණය වීමත් තවත් අන්තවාදී සංවිධාන එලෙස හැසිරීමට පෙලඹීමත්ය. 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කළ පසු ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසමද හෝමාගම අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රතික්‍ෂේප කර ඇත.

ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා ඉකුත් අඟහරුවාදා හෝමාගම අධිකරණය ඉදිරිපිට "යකා" නැටූ ගිහි - පැවිදි සියලුදෙනා අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද මහෙස්ත්‍රාත්වරයා ඉකුත් බදාදා පොලිසියට නියෝග කෙළේය. නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරොවෙන් කැපීමට ඉඩ තැබිය යුතු නැත.

අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමට කිසිවකුට ඉඩ තැබිය යුතු නැත. නීතියට අභියෝග කිරීම "ප්‍රජාතන්ත්‍රවාදය" අනතුරේ
හෙළීමකි. පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවූයේ එය මිස අනෙකක් නොවේ. "නීතිය" අපක්‍ෂපාතව හා සාධාරණව ක්‍රියාත්මක විය යුතුය. 


දේශපාලන බලය, ධන බලය, නිලතල, ප්‍රභූත්වය හෝ ආගමික බලය මත නොව නීතිය ක්‍රියාත්මක විය යුත්තේ සියල්ලන්ට එකහා සමානව බව කිව යුතු නැත. එහෙත් දිගු කලක් තිස්සේ අසමානව ක්‍රියාත්මක වූ "නීතිය" වර්තමානයේද ඉන් මුළුමනින්ම අත්මිදී නැති බව පෙනේ. ඊට හොඳම උදාහරණය "ඇඹිලිපිටිය" සිද්ධියයි.

එක්දරු පියාගේ මරණයට සැකකාර පොලිසියේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සාක්කි තිබියදී එය නොසලකා හැරීම නිසා ඇඹිලිපිටිය අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු ඉකුත් අඟහරුවාදා නියෝග කෙළේ අදාළ සැකකරුවන් සියලුදෙනා වහා අත්අඩංගුවට ගන්නා ලෙසයි. 


එහෙත් පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යන්නේ ඉබි ගමනෙනි. ඇඹිලිපිටිය පොලිසිය කඩිමුඩියේ අත්අඩංගුවට ගත් පිරිස් සැකකරුවන් නොවන බවත්, පොලිසියේ නිලධාරීන් සැකකරුවන් බවත් අනාවරණය වීමෙන් ගලේ පහරපු බළලුන්ට අත්වූ ඉරණම පොලිසියට අත් වී ඇත.

ඉකුත් අවුරුද්දේ අතිශය වැදගත් නියෝග කිහිපයක් කොළඹ මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ලබා දුන්නේය. තාජුදීන් ඝාතනය, සිල් රෙදි වංචාව, අලි පැටව් හොරකම වැනි නඩුවලදී පිලපිටිය මහතා අධිකරණයේ ගෞරවය රැකෙන ලෙස කටයුතු කෙළේය. 


"එක්නැලිගොඩ" නඩුවේ සැකකරුවන් වී සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට "ඇප" දෙන්නැයි දිගින් දිගටම උද්ඝෝෂණ කරද්දී නීතියට අනුකූලව කටයුතු කිරීමට පියවර ගත් හෝමාගම අතිරේක මහෙස්ත්‍රාත්වරයා "ඥානසාර හිමි" ප්‍රශ්නයේදී පැහැදිලිව ප්‍රකාශ කර තිබුණේ පිස්තෝලය හිසට තැබුවද වැරැද්දකට දුන් නියෝගය වෙනස් කිරීමට තමා සූදානම් නැති බවයි.

බලවත් දේශපාලනඥයන්, ප්‍රභූන් පමණක් නොව ඇතැම් ආගමික ප්‍රභූන්ද අධිකරණයට හා පොලිසියට කරන බලපෑම්වලට නතු වුවහොත් නීතියේ සමතුලනය බිඳ වැටීමට ඉඩ තිබේ. අධිකරණයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන හෝ සිරගෙට නියම කරන බලවත් දේශපාලනඥයන් හා ප්‍රභූ පුද්ගලයන් කෙළින්ම යන්නේ බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලේ ප්‍රභූ වාට්ටුවකටය. 


මේ කිසිවකුට අසනීපයක් නැති බව සියලුදෙනා දන්නා මුත් නොදන්නා සේ සිටිති. හාස්‍යයට කාරණය වන්නේ ඇප ලැබුණු පසු හෝ සිරදඬුවම් නිමා වූ පසු හෝ ක්‍ෂණිකවම ඔවුන්ට "සුවය" ලැබීමය. 

මේ වරප්‍රසාදය සාමාන්‍ය සිරකරුවකු ඇත්තටම අසනීප වුවද ලබා ගැනීම ලෙහෙසි පහසු නැත. අධිකරණයද හෑල්ලු වන මෙවැනි කටයුතු වහා වෙනස් විය විය යුතු වුවත් මෛත්‍රි - රනිල් ආණ්ඩුව යටතේද තවමත් සුපුරුදු ලෙස එලෙසම සියල්ල සිදුවේ.

සුද්දගේ නීතිය වේවා රෝම - ලන්දේසි නීතිය වේවා කුමන නමකින් හැඳින්වුවද නීතියට අභියෝග කිරීමට කිසිවකුට ඉඩ තැබිය යුතු නැත. පවතින නීතිය සැමට සමානව ක්‍රියාත්මක කළ යුතු අතර ඊට පිටුපා කටයුතු කිරීමට කිසිවකුට ඉඩ නොතැබිය යුතුය. ඇඹිලිපිටිය, හෝමාගම සහ කොළඹ මහෙස්ත්‍රාත්වරු මෑතකදී ලබාදුන් නියෝගවලට අකැමැති පිරිසක් රටේ සිටිති.

යුක්තිගරුකව නීතිගරුකව කටයුතු කරන විනිසුරුවන්ව පීඩාවට පත් කිරීමටත් ඔවුන් සිටින තැන්වලින් වෙනත් ස්ථානවලට මාරු කර යැවීමටත් ඇතැම් නඩුවලට පෙනී සිටීමෙන් ඉවත් කිරීමටත් කළ හැකි සියලු දේ ඔවුන් විසින් කරන බව පෙනෙන්නට තිබේ. 


ඊට ඉඩ නොතැබීම මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ පරම වගකීමය. මේ සියල්ල පිළිබඳ අවදියෙන් බලා සිටීම සබුද්ධික ජනතාවගේ යුතුකමය.

0 comments:

Post a Comment