Pages

Subscribe:

Ads 468x60px

'ජනවාරි පෙරළිය' අධිකරණයේ මේ සාධනීය වෙනසට පිටුබලය සැපැයූ බව...


'සහකාර පොලිස් අධිකාරි, මගේ සැමියාට පහර දීලා උඩුමහල දිගේ ඇදගෙන ගිහින් පහළට තල්ලු කළා. මං ඒ වෙලාවේ පොලිස් අධිකාරිවරයාගෙන් ඉල්ලුවා මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා,
මහත්තයට පහර දෙන්න එපා කියලා. ඒත් ඒ වෙලාවෙ මගේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නේ නෑ. උඩුමහලින් වැටුණු මහත්තයා ළඟට ගියාම එයා මට කතා කළා. බය වෙන්න එපා මට මොකුත් වෙන්නෙ නෑ කියලා එයා කිව්වා.'

ඇඹිලිපිටියේ මල්වර මඟුලකදී පොලිසිය හා නිවැසියන් අතර ඇතිවූ ගැටුමකදී මරු දුටු එක්දරු පියාගේ ගැබිනි බිරිය එසේ සාක්කි දී තිබියදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවට පොලිසිය කළේ නිවැසියන්ව අත්අඩංගුවට ගැනීමය. ඉකුත් 13 වැනිදා 'මරණය' පිළිබඳ සාක්කි විමසීම වාර්තා කිරීමට ගිය මාධ්‍යකරුවන්ගේ වාර්තා පොත් බලහත්කාරයෙන් උදුරාගෙන බාධා කිරීම් සිදු කිරීමත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පොලිසිය වෙනුවෙන් සාක්කි මෙහෙය වීමත් දැඩි විවේචනයට බඳුන් විය.

පොලිසිය මුල සිටම උත්සාහ කළේ කොළේ වසා ගැහීමටය. පොලිසිය සකස් කර දුන් වාර්තාවක් කල්තියා පාර්ලිමේන්තුවේදී කියැවූ නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක ඉකුත් 26 වැනිදා යළි ප්‍රකාශයක් කරමින් කීවේ ඇඹිලිපිටියේ මල්වර මඟුල පැවැති ස්ථානයට පොලිසිය ගියේ ශබ්දය වැඩි යැයි අසල්වැසියන්ගෙන් '119'ට ලැබුණු පැමිණිලි නිසා බවට තමන් කළ ප්‍රකාශය වැරැදි බවය. '119'ට ඇමැතුම් ලැබී ඇත්තේ 'ගැටුම' ඇරැමුණු පසුවය. පොලිසිය 'ඇමැතුම්' කතාව හිතමතා පටලවා ඇති බව මින් පැහැදිලිය. මල්වර මඟුලට පැමිණ 'අරක්කු' ඉල්ලීම ගැටුමට මුල බව නිවැසියන් මුල සිටම කළ ප්‍රකාශය බොරුවක් බව 'පොලිසිය' කීවද, පොලිසියේ 'බොරු' අතේ පත්තුවී තිබේ.

අදාළ නඩුව ඉකුත් 27 වැනිදා නැවැත කැඳවූ අවස්ථාවේ මියගිය සුමිත් ප්‍රසන්නගේ මරණය සිදු කළ බවට සැක කරන ඇඹිලිපිටිය (හිටපු) සහකාර පොලිස් අධිකාරි, (ඒ.ඉ.ර්ථී.), (හිටපු) මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක (ඩ්.ශ්‍රී .ධ්.) ඇතුළු සියලු පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු පොලිසියට නියෝග කෙළේය.

මේ නියෝගයත් සමඟ ගලේ පහරපු බළලාට වූ දේ පොලිසියට සිදුවී තිබේ. මියගිය සුමිත්ගේ ගැබිනි බිරිය ශෂිකා නිෂාමනී අධිකරණයේදී ප්‍රකාශ කර ඇත්තේ සිද්ධියට සම්බන්ධ ඒ.එස්.පී. හා එච්.කියු.අයි. මහත්වරුන් තමන්ට පැහැදිලිව හඳුනා ගත හැකි බවය. මහත්තයාව තල්ලු කෙළේ ඒ.එස්.පී. බවත් ඔහු තමන්ට 'කටවහගෙන හිටපන්' කියා බැනවැදුණු බවත් ඇය ප්‍රකාශ කර තිබේ. පොලිසියට පැමිණිලි කිරීමට ගිය සුමිත්ගේ බිරියට පොලිසිය කියා ඇත්තේ 'පොලිසියට විරුද්ධව පැමිණිලි කර වැඩක් නැති' බවය. ඇසින් දුටු පැහැදිලි සාක්කි තිබියදී සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා තබා වැඩ තහනමකට ලක්කිරීමක් හෝ සිදු නොවුණු අතර ඇපෙන් බේරීමට මෙන් සියලුදෙනාට ස්ථාන මාරු ලබාදී තිබිණි.

මේ 'ඇඹිලිපිටිය' පොලිසියේ ප්‍රශ්නයක් හෝ තවත් එක් රාජ්‍ය ආයතනයක ප්‍රශ්නයක් නොවේ. කලක් තිස්සේ නඩත්තු කරන 'ක්‍රමයේ' හෙවත් 'සිස්ටම්' එකේ නියත ප්‍රතිඵලයකි. බොහෝ විට මේ රටේ සිදුවන්නේ 'වැටත් නියරත් ගොයම් කෑම'ය. සාමාන්‍ය මිනිසුන්ට සිදුවී ඇත්තේ වෙලේ හිටුවූ පඹයන් මෙන් බකංනිලාගෙන සිටීමටය. සියල්ල කෙරුණේ බලවත් දේශපාලනඥයන්ට හා උන්ගේ හෙංචයියන්ටත් වුවමනා ආකාරයටය. 'පොලිසිය' ඔවුන්ගේ අතකොළුවක් වී තිබිණි.

'සැකකාර' පුද්ගලයන් අත්අඩංගුවේ සිටියදී, 'පැනයෑමට' තැත් කිරීමේදී ඇතිවූ ගැටුමින් මාංචු දමා සිටින සැකකරු මරණයට පත්වීම පසුගිය කාලයේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්වී තිබිණි. මේ සමාජයේ සැලකිය යුතු පිරිසක් මේ 'ඝාතන' නිහඬවම අනුමත කෙළේ සැකකරුවන් 'වැරැදිකරුවන්' ලෙස ගෙනය. මෙවැනි මුග්ධ මත හේතුවෙන් 'බලය' අනිසි ලෙස පාවිච්චි කිරීමට පොලිසියට පමණක් නොව දේශපාලනඥයන් ඇතුළු විවිධ අන්තවාදී කොටස්වලට ඉඩකඩ ලැබිණි. එහි බරපතළකම කාට කාටත් අවබෝධ වන්නේ සිය හිස මතට 'විනාශය' කඩාපාත් වීමෙන් පසුවය. ඇඹිලිපිටිය සිද්ධිය ඊට හොඳම උදාහරණයකි.

වඩා වැදගත් කාරණය වන්නේ තරුපටි පැලැඳි නිලධාරීන් පවා සැකකරුවන් අතර සිටියදී සියල්ලන්ම අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය අතිරේක මහෙස්ත්‍රාත් දුන් නියෝගයයි. 'යුක්තිය' සාධාරණව පසිඳලන රටක නම් මේ නියෝගය තවත් එක් නියෝගයක් පමණි. එහෙත් දිගින් දිගටම යුක්තිය සාධාරණය ඉටුකර ගැනීමට සාමාන්‍ය ජනතාවට වධ වේදනා විඳීමට සිදුවූ දශක කිහිපයකට පසු අධිකරණයෙන් මෙවැනි නියෝග ලැබීම 'මිහිරි සීනු නාදයක්' වැනිය. ගෙවුණු කාලයට සාපේක්ෂව අධිකරණය ස්වාධීනව හා නිදහස්ව තීන්දු තීරණ ලබා දෙද්දී නීතිය පසිඳලීමේදී ඇතැමුන්ට අසමානව සලකන බවට ඝෝෂා කරන්නන් පසුගිය කාලයේ සිටියේ මෙරටද නොඑසේනම් හඳේදැයි සාධාරණ සැකයක් මතුවේ. කොහොමටත් එවැන්නන් සුදුසු මේ පොළොවට නොව හඳටය.

නීතිය පසිඳලීමේදී අඩුලුහුඬුකම් සිදු නොවන බවට සහතිකයක් දීමට කිසිවකුට නොහැකිය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රට, විරුද්ධ පක්ෂ මන්ත්‍රිවරයකු වන විමල් වීරවංශට අදාළව අධිකරණය හමුවට ගිය සිද්ධි දෙකේදී බලධාරීන් කටයුතු කළ ආකාරය දෝෂ සහගතය. එවැනි සිදුවීම් කිහිපයක්ම ගෙවුණු මාස 12 තුළද දකින්නට, අසන්නට ලැබිණි. එහෙත් අධිකරණයට නිසි ලෙස කරුණු ගොනු කළ අවස්ථාවල 'නීතිය' අකුරටම ඉටු කිරීමට 'විනිසුරුවරුන්' දැක්වූ නිර්භීතකම, අවංකකම හා ඍජු බව ප්‍රශංසාකටයුතුය. ඇඹිලිපිටිය අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දුද එකතු වන්නේ ඒ විනිසුරුවන් අතරටය. 'ජනවාරි පෙරළිය' අධිකරණයේ මේ සාධනීය වෙනසට පිටුබලය සැපැයූ බව මෙහිදී සිහිකටයුතුය.

0 comments:

Post a Comment