Pages

Subscribe:

Ads 468x60px

පොලිස්‌පතිට ම අමුතුම පාට්‌ එකක්‌ දැමූ පුද්ගලයා ...


පොලිස්‌පති පූජිත් ජයසුන්දර කඩවසම් හාදයා ය. මේ කඩවසම් පෞරුෂයට ලලනා ආකර්ෂණය ලැබෙන බවට ද විවාදයක්‌ නැත. මේ අවස්‌ථාව ඉතා හොඳින් ප්‍රයෝජනයට ගත්, පොලිසියට නොව පොලිස්‌පතිට ම අමුතුම පාට්‌ එකක්‌ දැමූ පුද්ගලයකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි. 

අත්අඩංගුවට ගත් පුද්ගලයා කර තිබුණේ එසේ මෙසේ වරදක්‌ නොව "පෙම් කිරීම" යි. නිකම්ම නොව පොලිස්‌පති ලෙස පෙනී සිටිමින් පෙම්
කිරීම ය. නවසීලන්තයේ සිට පැමිණි මේ අපූරු පෙම්වතා විසි හැවිරිදිය. ඔහු පොලිස්‌පතිවරයා ලෙස පෙනී සිටිමින් කාන්තාවන්ට පෙම් කර තිබුණේ ෆේස්‌බුක්‌ (Face book) හරහා ය. 

පොලිස්‌පති පූජිත් ජයසුන්දරගේ නමින් ෆේස්‌බුක්‌ ගිණුමක්‌ විවෘත කර පොලිස්‌පතිවරයා ලෙස පෙනී සිටිමින් කාන්තාවන් ගණනාවක්‌ සමඟ සබඳකම් පවත්වා තිබූ මේ පුද්ගලයා ඒ සඳහා අප පෙර කී පරිදි, පොලිස්‌පතිවරයාගේ කඩවසම් පෞරුෂයත්, උසස්‌ තනතුරත් උපයෝගී කරගෙන තිබූ බවට විවාදයක්‌ නැත. 

ඒ අනුව බලන කල මෙය පොලිස්‌පතිවරයාටම ලඝූ කළ හැකි ප්‍රශ්නයක්‌ නොව වඩාත් විහිද පැතිර ගිය වංචනික ක්‍රියාවලියක්‌ බව පැහැදිලිය.

එය වඩාත් සනාථ කරන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කරන ලද තොරතුරු ගැන විමසා බලන විටය. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරුවලට අනුව මේ වර්ෂයේ පසුගිය මාස අටක කාලය තුළ ෆේස්‌බුක්‌ සමාජජාල වෙබ් අඩවියට අදාළව පැමිණිලි 1570 ක්‌ ලැබී තිබේ. 


ඒ අතරින් ද වැඩිම පැමිණිලි සංඛ්‍යාවක්‌ ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස්‌බුක්‌ ගිණුම් සම්බන්ධයෙනි. පොලිස්‌පතිවරයාට මුහුණ දීමට සිදුව ඇත්තේ එවැනි අකරතැබ්බකටය. 

අදාළ වාර්තාවේ දැක්‌වෙන පරිදි ව්‍යාජ ෙµaස්‌බුක්‌ ගිණුම් පවත්වාගෙන යනවාටත් වඩා විශාල වැරදි සිදු වේ. ඒ අතර අන්තර්ජාලයෙන් මුදල් වංචා කිරීම, වෙබ් අඩවිවලට නීත්‍යනුකූල නොවන අයුරින් ඇතුළු වී දත්ත වෙනස්‌ කිරීම ආදී පැමිණිලි ද වාර්තා වේ.

ඒ අනුව ෆේස්‌බුක්‌ යනු මිතුරෙකුටත් වඩා හතුරෙකු වන මට්‌ටමේ වර්ධනයක්‌ මේ වනවිට අත්පත් කරගෙන තිබෙන බව කිව යුතුය.
ෆේස්‌බුක්‌ සමාජ වෙබ් අඩවි ජාලයේ නිර්මාතෘවරයා වන්නේ මාර්ක්‌ සකර්බර්ග් නමැති තරුණයා ය. 


ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේ හාවඩ් විශ්වවිද්‍යාලයේ සාමාජිකයන් සඳහා වෙන්ව තිබූ "ෆේස්‌බුක්‌" ලෝකය පුරා ව්‍යාප්ත වනවිට මේ තරම් ම කරදකාරී, මිනිසුන්ට පීඩා ගෙන දෙන සමාජ ජාල වෙබ් අඩවියක්‌ වේ යෑයි සිතන්නට නැති බව විශ්වාසය.

මේ වනවිට රටේ ප්‍රසිද්ධ යෑයි කියන බොහෝ දෙනෙක්‌ගේ නම්වලින් ෆේස්‌බුක්‌ ගිණුම් තිබේ. ඒ අතර. නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ආචාර්ය, මහාචාර්යවරුන්, කවීන්, සමාජ සේවකයන්, පූජකයන්, බෞද්ධ භික්‍ෂූන් ආදී බොහෝ දෙනෙක්‌ වෙති. ඒ අය නොදන්නවා වුවද, ඒ නමින් ෆේස්‌බුක්‌ ගිණුම් (බොහෝවිට) එකකට වඩා වැඩි ගණනක්‌ තිබිය හැක.

කෙසේ වුව "ෆේස්‌බුක්‌" සමාජයේ හිතකර සිද්ධි දාමයන්ට වඩා අහිතකර සිද්ධි දාමයන් කෙරෙහි වඩාත් ප්‍රබලව බලපාන්නට පටන් ගෙන ඇති බව කිව යුතුය. පොලිස්‌පතිවරයා හෝ වේවා සමාජයේ බුහුමනට පාත්‍ර වන කවර හෝ සම්භාවනීය පුද්ගලයකුගේ "නමින්" සමාජ විරෝධී ක්‍රියාවල යමෙකු යෙදී සිටිනවා යන්නෙන් කියෑවෙන්නේ අප ජීවත් වන වටපිටාව අවුලෙන් අවුලට පත් කිරීමට හේතු වන බොහෝ කාරණා සපුරා ඇති බවය.

ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට ඇතුළු වී එය අවුල් කිරීමත්, පොලිස්‌පතිවරයාගේ නමින් පෙම් කිරීමත් සුළු කොට තැකිය නොහැක්‌කේ එහෙයිනි.


ෆේස්‌බුක්‌ තහනම් කිරීමත්, සමාජජාල වෙබ් අඩවි අගුළු ලෑමත් ඊට විසඳුම් නොවේ. සමහරවිට මෙවැනි අතාර්කික යෝජනා පවා ඉදිරියේදී රජයට ඉදිරිපත් වීමට පුළුවන. කළ යුත්තේ ඒවාට මුහුණ දිය හැකි, වැළැක්‌විය හැකි තාක්‍ෂණික වැඩපිළිවෙළක්‌ සහිත අංශයක්‌ ස්‌ථාපිත කිරීම ය. ඒ සඳහා ඕනෑ තරම් දක්‍ෂයෝ අපේ රටේ සිටිති.

0 comments:

Post a Comment