Pages

Subscribe:

Ads 468x60px

සාකච්ඡා බිඳවැටේ දුම්රිය වර්ජනය දිගටම

වැටුප් විෂමතාවක් මුල්කරගනිමින් දුම්රිය ශ්‍රේණිගත එකමුතුව විසින් පෙරේදා (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර ඇති පැය 48ක වර්ජනය නිසා ලක්ෂ සංඛ්‍යාත දුම්රිය මගීහු ඊයේ (08) දිනයේ බරපතළ අසරණතාවකට පත්ව සිටියහ. සාමාන්‍ය දිනවල ෙදෙනිකව දුම්රිය ගමන් වාර 350කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වන නමුත් වර්ජනය නිසා ඊයේ දිනයේ ධාවනය වූයේ දුම්රිය ගමන්වාර 20ක තරම් සුළු ප්‍රමාණයකි. 

 
සියලුම දුම්රිය ස්ථාන පාලුවට ගොස් තිබූ අතර, දුම්රිය ටිකට්පත් කවුලු, ස්ථානාධිපති කාමර ඉබි යතුරුදමා වසා දමා ඇති අයුරුද දැකගත හැකිවිය. දුම්රිය නොමැතිව මහමග රස්තියාදු වූ මගී ජනතාව පෞද්ගලික හා ලංගම බස් රථවල දැඩි අසීරුතා මැද ඊයේ (08) උදෑසන ගමන් කළෝය. පාසල් ළමුන් කාර්යාල සේවකයන් මෙහිදී දැඩි පීඩාවට පත්ව සිටියහ. 
6/2006 වැටුප් චක්‍ර‍ලේඛය නිසා දුම්රිය කළමනාකරණ ශ්‍රේණිවලට වී ඇති වැටුප් විෂමතාවක් මෙම වර්ජනයට හේතුවී තිබේ. දුම්රිය ස්ථානාධිපති වරු, දුම්රිය නියාමකවරු, දුම්රිය රියැදුරු, දුම්රිය අධීක්ෂණ කළමනා කරුවන් ඇතුළු ප්‍රධාන දුම්රිය ශ්‍රේණි 11ක් මෙම වර්ජනයට එක්ව සිටිති. 

මෙම වර්ජනය පිළිබඳ ජනාධිපති ‍ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය තිබුණද පසුව එය ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් අවලංගු කළේය. 

ඊට හේතුව වූයේ වර්ජනය නතරකර පැමිණෙන තුරු මේ පිළිබඳ සාකච්ඡා කළ නොහැකි බව අමාත්‍යවරයා  දුම්රිය ශ්‍රේණිගත එකමුතුවට දන්වා සිටීමය. එහෙත් දුම්රිය ශ්‍රේණිගත එකමුතුව වර්ජනය අත්හැරීමට එකඟ නොවීය. 

තමන් වර්ජනය අඛණ්ඩව පැය 48ක් කිරීමට තීරණය කර ඇතත් වර්ජනය පවතින විටදී බලධාරීන් සාකච්ඡාවකදී තම වැටුප් විෂමතාවට ස්ථීර විසඳුමක් දුන්නහොත් වර්ජනය පැය 48ක් ගතවීමට ප්‍රථම නතර කරන බව දුම්රිය සේවා ශ්‍රේණිගත එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.

දුම්රිය ශ්‍රේණිගත එකමුතුව පෙන්වාදෙන මෙම වැටුප් විෂමතාව නතර කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා මීට පෙර එකඟතාවක් පළකර ඇති නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අදාළ වැටුප් විෂමතාව මේ වනතෙක් ඉවත් කිරීමට පියවර ගෙන නොතිබුණි. 

දිගින් දිගටම රාජ්‍ය සේවා කොමිෂම තම ගැටලුව විසඳීම මගහරින නිසා තමන්ට මෙවැනි වර්ජනයකට අවතීර්ණය වීමට සිදුවූ බව ජානක ප්‍රනාන්දු මහතා කීය. බලධාරීන් හා දුම්රිය සේවකයින් අදාළ ගැටලුව විසඳීමට ඊයේ (08) දිනයේ නිසි එකඟතාවකට නොපැමිණීම නිසා අද (09) දිනයේද දුම්රිය මගීන් හට මහමග රස්තියාදුවීමට වෙනු ඇත.

0 comments:

Post a Comment