Pages

Subscribe:

Ads 468x60px

අතක් නැතුවම ඉන්නවට වැඩිය කෘතිම අතක් ලැබීමත් වටිනවා

මාතර රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස සිදු නොවීම නිසා වම් අත ඉහල බාහුව මැදින් කපා දැමීමේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණපෑ අචලා ප්‍රියදර්ශනී නීති ශිෂ්‍යයාව ජර්මනියේ ‘ඔටෝබොක් හෙල්ත් කෙයා’ ආයතනයෙන් කෘතිම අතක් ලබා ගෙන පසුගිය 21 වැනි දින සැදෑ යාමයේ ඌරුබොක්ක හීගොඩ තම නිවසට පැමිණියා.

අතෙහි ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කරමින් එය ක්‍රියාකර වීම පිලිබද ඇය කල විස්තරය පහතින්

“විභාග වැඩ අවසන් වෙලා මම ජූලි 27 දින අම්මත් සමග ජර්මනිය බලා පිටත්ව ගියා. ජර්මනියෙ ‘ඔටෝබොක් හෙල්ත් කෙයා’ ආයතනය තමයි කෘතිම අත නිෂ්පාදනය කළේ. 


එම සමාගමේ ලංකා නියෝජිත රිසාන් නදීර් මහත්මයා අප සමග ගියා. එම සමාගම අපට ඉතා හොඳින් සැලකුවා. අපට රෝගියෙක් හැටියට හෝ පාරිභෝගිකයෙක් හැටියට සැලකුවෙ නෑ. එයාලගෙම කෙනෙක් ලෙසටයි අපිට සැලකුවේ. කෘතිම අත සවි කර ගෙන ඒ රටේ කෙටි සංචාරයක් කිරීමටත් අවස්ථාව ලැබුණා.” ‍

“ජර්මනියෙ ගත කළ දින කීපය මගේ ජීවිතයෙ අලුත් අත්දැකීමක් වුණා. සවි කළ අත මට බොහෝ ප්‍රයෝජනවත් වේවි. අතක් නැතුවම ඉන්නවට වැඩිය කෘතිම අතක් ලැබීමත් ඉතාම වටිනවා. 


මම අත නැතුව මාස හයක් ජීවත් වුණා. දැන් කෘතිම අතක් ලැබීම නිසා මට එක්තරා අන්දමක සැනසීමකුත් හිතේ තියෙනවා. මේ අතෙන් ලියන්න බැහැ. යමක් අල්ලන්න, යමක් අල්ලා අරගන්න පුලුවන්. අතේ ඇඟිලි හතරක් එකට සම්බන්ධ වෙලා. 

නවන්න දිග හරින්න පුලුවන් අන්දමට ක්‍රියා කරවන්න පහසු ලෙසයි අත නිර්මානය කර තියෙන්නෙ. මගේ අතේ මස් පිඩුවල ක්‍රියාකාරිත්වය අනුව කෘතිම අතේ ඇති ‘සෙන්සස්,වල උපකාරයෙන් තමයි ඇඟිලි දිග හරින්න නවන්න හැකියාව ලැබෙන්නේ. 

කෘතිම අත වැලමිට ළගින් නවන්න මගේ දකුණු අතින් උදව් කරන්න ඕන. අත ඕන ප්‍රමාණයට නවන්න, දිග හරින්නත්, අවශ්‍ය ප්‍රමාණයට අත නවා තබා ගන්නත් හැකියාව තියෙනවා. අතේ බර කිලෝ ග්‍රෑ‍ම් 2.5 පමණ වෙනවා.

කෘතිම අත ලබා ගැනීමට ජනාධිපතිතුමා මුදල් ලබා දුන්නා. ගුවන් ටිකට් පත් ශ්‍රී ලංකා එයාර් ලයින් ආයතනයෙන් නොමිලේ ලබා දුන්නා. මේ සියලුම දේ සඳහා නාමල් රාජපක්ෂ, යුද හමුදාවේ නිලධාරින් කීප දෙනෙක්, විදේශ කටයුතු අමාත්‍යාංශය, ජාතික ආරක්ෂක අමාත්‍යාංශය විශාල ලෙස උදව් කළා. මම මේ සෑම සියලුම දෙනාටම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.

අචලා ප්‍රියදර්ශනීගේ මව වන ලීලා ගණිතගේ මහත්මිය මෙසේ අදහස් පළ කළාය.

මගේ දුවට අත අහිමි කරමින් වැරද්ද කරපු අය නෙවේ මේ වැඩේට අත ගැහැව්වෙ. කවුරු වැරැදි කළත් ඒ වැරැද්ද පුළුවන් තරම් නිවැරදි කරන්න ජනාධිපතිතුමයි මැදිහත් වුණේ. එතුමා කරපු මේ උදව්වට අපි පිං දෙනවා.

ගෑණු ළමයෙකුට තමන්ගෙ වැඩ කර ගන්න අනීවාර්යෙන්ම අත් දෙකම අවශ්‍ය වෙනවා. පිරිමි ළමයෙකුට වඩා ගැහැණු ළමයෙකු සිදු කරන කටයුතු බොහොමයි. 


මාතර රෝහලේ මේ වැරද්ද කරපු අයට අපි ඊර්ෂ්‍යා කරනවා නෙවේ. ඒ අයට දැන් වුණත් කාලය තිබෙනවා වෙච්ච වැරද්දට සාධාරණයක් කරන්න. යම්කිසි සාධාරණයක් කරනවා නම් ඒ අයටත් පිං සිද්ධ වෙනවා.

අචලාගේ පියාණන් වන වී.කේ.සුගතදාස මහතා.

දූට කෘතිම අතක් ලැබීම ගැන සතුටු වෙනවා. ඒත් අත අහිමි වීමේ වේදනාව තියෙනවා. මේ සඳහා උදව් කළ ගරු ජනාධිපතිතුමා ඇතුලු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. දුප්පත් අපිට මෙහෙම දෙයක් කර ගන්න මුදල් සොයා ගන්න අමාරුයි. 


කෘතිම අතකින් කටයුතු කිරීමේදි අපහසුතා ඇති වෙනවා. නාමල් මහත්තයත්, ගෝඨාභය මහත්තයත්, අපට කළේ ලොකු උදව්වක්. ඒ අයට අනේක වාරයක් පිං දෙනවා.” යැයි කීවේය.

0 comments:

Post a Comment