දහ අට හැවිරිදි අසංක කහවත්ත ප්‍රදේශයේ කුඩා පාසලක උසස් පෙළ හදාරමින් සිටි ශිෂ්‍යයෙකි. ඔහු ගුරු භවතුන්ගේ හොඳ හිත දිනාගත් දීප්තිමත් ශිෂ්‍යයෙක්ද වූවේය.
ඔහුගේ දක්ෂතාවත්, හැකියාවත් නිසාම ටික දිනකින්ම අසංක පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වූයේය.
ඒ මොහොත අසංකගේ හැදූ වැඩූ මවුපියන්ගේ දෙනෙතට රැගෙන ආවේ තුටු කඳුළකි. අසංකගේ අම්මා රංජනී කප්පරක් උසට අසංක පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටියාය. පවුලේ බඩපිස්සා වූ අසංක කෙරෙහි තාත්තා වූ රත්නායක දැක්වූවේද අපමණ සෙනෙහසකි.
අසංකගේ පවුලේ සාමාජිකයන් අසංකද ඇතුළුව සිවු දෙනෙකි. අසංකගේ වැඩිමල් සොයුරා විවාහකයකු වූ අතර ඔහු වෙනම නිවෙසක පදිංචි වී සිටියේය.
අනෙක් පිරිමි සහෝදරයා උපතින්ම කථනාබාධිතයෙක් වූ අතර එකම සොයුරිය ඇඟලුම් සේවිකාවක වශයෙන් සේවය කළාය. ඔවුන් සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව වූයේ අසංක පමණි.
"පුතේ හොඳට ඉගෙන ගනින්, විභාගෙ පාස් වෙලා විශ්විද්‍යාලෙ පලයන්, ඊට පස්සෙ හොඳ රස්සාවක් කරපන්" අම්මා නිරන්තරයෙන් එය මන්තරයක් සේ මතුළාය.
"බලාපන් මේ අත්වල තියෙන කරගැට, උඹ මේ වගේ දුක් විඳින්න ඕන නෑ පුතේ..." උදේ හවා තේ කෑල්ලේ තේ ගස් හා ඔට්ටු වී විඩාවට පත් රත්නායක තමාගේ දෑත විදහා පාමින් අසංකට පෙන්වූයේය. "මම කොහොමහරි විභාගෙ පාස් වෙලා කැම්පස් යනවා අම්මෙ"
අසංක අධිෂ්ඨානය ඇතිව වෙනදාටත් වඩා වැඩියෙන් තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මහන්සි වූවේය. ඒ නිසාම මිතුරු සංගම් කෙරෙහි තිබූ ආශ්‍රයද කෙමෙන් ඔහුගෙන් දුරස් වී ගියේය.
"යාළුවෝ නැතිවට කමක් නැහැ, ඔයා පාඩම් කරන්න. විභාගෙන් පස්සෙ පුළුවන් යාළුවෝ ආශ්‍රය කරන්න. අනික ඔය යාළුවන්ගෙන් ඇති වැඩක් නැහැ"
රංජනී නිරන්තරයෙන් අසංකට අවවාද අනුශාසනා ලබා දුන්නාය. අම්මාගේ සිත රිදවීමට අකැමැති වූ නිසාම අසංක යටි සිතෙහි මිතුරන් කෙරෙහි තිබූ බැඳීමද සඟවා ගත්තේය. මවුපියන්ගේ සිත රිදවීමට අකැමැති වූ නිසාම අසංකද නිරන්තරයෙන් මවුපියන් කියන දේ පමණක් කිරීමට බැඳී සිටියේය.
අසංක උපකාරක පන්තියකට සහභාගි වුවත් යහළුවන් සමඟ රස්තියාදු නොගසා පන්තිය නිමවූ සැණින්ම නිවෙසට සේන්දු වූවේය. යහළුවන් සමඟ නිරපරාදේ කාලය කා දමනවාට අම්මා කිසිසේත්ම මනාප නොවන බව අසංක දැන සිටියේය.
එනිසාම අසංක අම්මාගේ බසට අකීකරු වීම ඇයට කරන නිගරුවක් සේ සැලකුවේය. "යහළුවන් කෙතරම් විහිළු තහළු සරදම්වලට අසංකව ලක් කළද ඒවා සිනහ සිතින් විඳ දරා ගත් අසංක ඔවුන්ගේ හොඳ හිතද ඉතිරි කොට ගෙන ඉක්මනින් නිවෙස කරා පැමිණියේය.
පන්ති නිමවී පැමිණි පසුවත් අසංකට රූපවාහිනි නැරඹීම ආදී විනෝදාංශවලට ඉඩක් වෙන් කරගත නොහැකි විය. උසස්පෙළ ඒ තුනේ සිහිනය වෙනුවෙන් ඔහු තම හිරිමල් යෞවනයේ සිහින සියල්ල ඉවසීමෙන් යුතුව කැප කළේය.
"මොනාද බං තවමත් කෙල්ලෙක් නැද්ද?" යාළුවෝ අසංකට සරදම් කළහ. අසංකගේ සමීපතම මිත්‍රයන් ඒ වන විට ප්‍රේමවන්තයන් බවට පත් වී සිටියහ. ඔවුන් සති අන්තයේ උපකාරක පන්ති මඟහැර පෙම්වතියන් සමඟ කල් ගෙවූ ආකාරය රස කරමින් අසංක ඉදිරියේ දිග හරිද්දී අසංක 'සද්ධර්මරත්නාවලියේ" පාඩමකට සමවැදී සිටියේය.
අසංක පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ භූමිකාවටද කිසිදු අසාධාරණයක් නොකිරීමට වග බලා ගත්තේය. තමා ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත්වී පාසලේ සිසුවියක් හා පෙම් සබඳතාවක් පැවැත්වීම මෙන්ම පාසල් අධ්‍යාපන කටයුතු අතපසු කර ගනිමින් මිතුරු මිතුරියන් හා කල්ලි ගැසීමද එම තනතුරට කරන අපකීර්තියක් බවට ඔහු ඇදහුවේය.
දිගින් දිගටම පොතපතටම ඇලීම නිසා අසංකට කායිකව හා මානසිකව දැඩි වෙහෙසක් දැනෙන්නට වූවේය. "චිත්‍රපටියක්වත් බලන්න තිබුණා නම්" අසංක යටි සිතෙහි මතුවූ ආශාවකට ඉඩ ලබා දෙන්නට සිතුවේය. එහෙත් අම්මා ඊට එරෙහි වන බව ඔහු සක්සුදක් සේ පැහැදිලිව දැන සිටියේය.
"අම්මාගෙන් අහලා නම් මට ෆිල්ම් බලන්න වෙන්නේ නැහැ. ඒ නිසා ගෙදර කවුරුවත් නැති වෙලේවත් බලනවා" අසංක සිතුවේය.
පාසලේ සමීපතම මිතුරකු හමුවූ අසංක තමාගේ සිතෙහි ඇති ආශාව දිග හැරියේය. "අපෝ ෆිල්ම්ස්ද මං ගාව ඕන තරම් තියෙනවා. මං හැමදාම ෆිල්ම්ස් බලනවානේ. උඹට ඕන මොන වගේ එකක්ද. මම ළඟ ඕන ජාතියක ඒවා තියෙනවා" යහළුවා සරදම් සිනහවක්ද නඟමින් පැවැසුවේය.
යහළුවා අදහස් කළ දෙය වටහාගත් අසංක "මට ඕනා එහෙම ෆිල්ම් එකක් නෙමෙයි පවුලේ හැමෝටම බලන්න පුළුවන් එකක්" යැයි තම මිතුරාට පැවැසුවේය. අසංකගේ ඉල්ලීම පරිදි පසුදා උදෑසනම ඩී.වී.ඩී. පටයක් අසංක අතේ තැබූ මිතුරා "ඕක මරු ෆිල්ම් එකක්. බලලා මටත් කියපන්කෝ" කියමින් අසංකගෙන් සමු ගත්තේය.
ඩී.වී.ඩී. පටය තම පාසල් පොත් අතර සඟවා ගත් අසංක හීන් සීරුවේ නිවෙසට ඇතුළු වූවේය. අම්මාත් තාත්තාත් වත්තට දලු කැඩීමට ගොස්ය. අක්කාත් වැඩට ගොස් ඇත. පුංචි අයියා පමණක් කාමරයට වී නිදාගෙන සිටියේය.
"මේ තමයි හොඳම වේලාව" යැයි සිතූ අසංක ඩීවිඩී ප්ලේයරය අසලට ගොස් ඩීවීඩී පටය එතුළට දමා ක්‍රියාත්මක කළේය.
එහි දසුන් නැරඹූ අසංකට උන්හිටි තැන් අමතක වූවේය. එය තමා සෙවූ වර්ගයේ 'පවුලේ සැමට නැඹීමට හැකි චිත්‍රපටයක් නොවන බව අසංකට
පසක් වූයේය. සැබැවින්ම එය වැඩිහිටියන්ට පමණක් සුදුසු එකක් විය.
චිත්‍රපටය නරඹද්දී ඇතිවූ කුතුහලය නිසා එය වසා දැම්මේ නැත. ඔහුටත් නොදැනීම එතෙක් කල් සඟවාගෙන සිටි යටි සිතේ තිබූ සියලු ආශාවන් රැලි සරැලි නඟමින් කැරලි ගසන්නට විය. එනිසාම අවසානයේ ඔහු එය බැලීමට තීරණය කළේය.
අම්මා එන්නට කලින් බලනවායි සිතූ අසංක හරි බරි ගැසී අසුනකට බර වූවේය. එහෙත් සිදුවූයේ අනෙකකි. චිත්‍රපටයට තිබූ උනන්දුව නිසාම ඔහු තමා අසලට අම්මා එන බවක් දුටුවේ නැත.
"මොනවද උඹ මේ කරන්නෙ" අම්මාගේ කෝප මිශි්‍රත බෙරිහන්දීමට බියවූ අසංක පුටුවෙන් නැඟිට්ටා නොව ඉබේටම නැඟිට්ටුණේය. තොල කට වේළී ගිය අසංක දියෙන් ගොඩ දැමූ මසෙකු මෙන් වෙව්ලන්නට වූයේය.
අම්මා ඉදිරියේ තමා නිරුවත් වූවා වැනි හැඟීමක් අසංකට ඇතිවූයේය. "උඹ මේවද පාඩම් කරනවා කියලා හැමදාම කළේ. මං හෙටම ඉස්කෝලෙ ප්‍රින්සිපල්ව හම්බවෙලා සේරම කියනවා. උඹ අපිට ලැජ්ජා කළා" රංජනී මාරාවේශයෙන් මෙන් බෙරිහන් දෙන්නට වූවාය.
"අනේ අම්මේ මේක මගේ යාළුවෙක් දුන්නේ. ගෙදර ගේනකන් මං දන්නෙ නෑ මේකෙ තියෙන දේවල්" අසංක ඉකිබිඳිමින් අම්මා ඉදිරියෙහි බැගෑපත් වූවේය. එහෙත් රංජනී එය බිඳක්වත් විශ්වාස කළේ නැත. නිවෙසට පැමිණි රත්නායකටත්, සොයුරියටත් සියල්ල හෙළි කළ රංජනී දිගින් දිගටම අසංකට දෝෂාරෝපණය කරන්නට වූවාය.
අම්මා අසංකගේ මුහුණ බැලුවේ නැත. තාත්තාගේ මුහුණෙහිද සිනහ රැල්ලක් හෝ තිබුණේ නැත. අක්කාද වැඩි කතා බහක් නැත. රාත්‍රි බත් පිඟාන බෙදා මේසය මත තැබූ අම්මා වෙනදා මෙන් කන්න පුතේ යැයි නොකීවාය. දින දෙකක් ගෙදර කිසිවකුත් ඔහු හා ෙදාඩමලු වූවේ නැත. නිවෙස අසංකට මිහිපිට අපායක් බවට පත් විය.
පොත් පත් පසෙකට විසිකොට දැමූ අසංක කාමරයට වී දින දෙකක් ගත කළේය. පසුදා උදෑසන වන විට අම්මා පාසලට ගොස් සියල්ල හෙළි කරනු ඇත. ඉන්පසු තමාගේ ශිෂ්‍ය නායක තනතුර ගැලවී යනු ඇත. තමා සල්ලාලයකුයැයි මිතුරන් සමච්චල් කරනු ඇත.
සෑම සිතිවිල්ලක්ම අසංකගේ සිතට ගෙන ආවේ දැඩි කලකිරීමකි. අවසානයේ සියල්ල අත්හැරීම ලැජ්ජාවෙනවාට වඩා හොඳ යැයි තීරණය කළ අසංක කුස්සියේ මුල්ලක තබා තිබූ තාත්තා තේ වත්තට ගැසීමට ගෙනා කෘමි නාශක බෝතලය අතට ගෙන සියලුම බැඳීම්වලට නැවතීමේ තිත තබමියි සිතා එය එක හුස්මට හිස් කොට දැම්මේය.
එපමණක් නොව අසල තිබූ අසමෝදගම් ස්ප්‍රීතු බෝතලයද උගුරට දෙකට හමාර කර අසංක නැවත කාමරයට වැදුණේය. ටික වේලාවක් යන විට අසංකට දැඩි වේදනාවක් දැනෙන්නට විය. ඔහු වේදනාව ඉවසා ගත නොහැකිව කෑ ගසන්නට වූවේය. අසංකගේ කෑ ගැසීම අසා පවුලේ සියලු දෙනා කාමරයට ඇතුළු වූහ.
බිම වැටී මරු විකලයෙන් දඟලන අසංකව දුටු රංජනී විලාප නඟන්නට වූවාය. වාහනයක් සොයාගෙන ආ අසංකගේ පියා ඔහුව කහවත්ත රෝහල වෙත රැගෙන ගියේය. එහෙත් අතරමඟදීම අසංක මෙලොව හැර ගොස් තිබිණි.
අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා පලක් නැත. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවාගත
නොහැකිය. අසංකගේ අම්මාට ඔබ එසේ පවසනු ඇත. එහෙත් ඇගේ දෑසින් රූරා වැටෙන
කඳුළුවලට අපට එසේ සරදම් කළ නොහැක. ඇගේ නූගත්කමට හැඳි මිටේ නුවණ යැයි
කියමින් ගර්හා කළ නොහැක.
මන්දයත් ඇය අසංකව මෙලොවට ජාතක කළ අම්මාය. ලේ කිරි
කර පොවා කර දඬු උස්මහත් වනතුරු හැදූ වැඩූ අම්මාය. එහෙත් සියල්ල අවසානයේ
"අනේ තව මොහොතක් ඇය ඉවසුවා නම් අසංක තවමත් අපි අතරේ" නේදැයි ඔබ තුළ
සිතිවිල්ලක් හට ගන්නටද ඉඩ ඇත.
Subscribe to:
Post Comments (Atom)
5 comments:
walak kala hadiyak!
man nam kiyanne ammata honda wede. . tikak hoyala balanna thibuna
minissunta kiyala hageem nadda..... ammala eyawa haduwe gedara idan padam karala campus gihillada..... anika ibe pahala une nahane....
hageeem ekka sellam karanna epa kiyanne mekata thamai
Moda wedak gedara aya karala tiyenne.den kale wena ewwat eka oka hariyata hoyala beluwanam ettatama oya lamaya kisima weraddak karala nene.aparade podi kollekge ahinsaka jiwitayak neti una.ammala tattala lamainta adare wenada one.e wagema godak terum gandat one.ehema nownama wenne me wage weda tama.......
mole nate aun owa baluwama thama athahada balanna yanne. okath maha loku waradakda
Post a Comment