Pages

Subscribe:

Ads 468x60px

මාලක සිල්වාගේ නාස්‌ පොල්ල කුඩුවෙලා නාහෙන් කටින් ලේ දාගෙන බිම වැටිලා


බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට හා ඔහුගේ පෙම්වතියට පහරදීමේ සිද්ධියට අදාළව මහජන සම්බන්ධතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ලබන 11 වැනිදා තෙක්‌ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ. එම්. සහබ්දීන් මහතා ඊයේ (04 දා) නියෝග කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල විභාගයට ගත් අවස්‌ථාවේදී පරීක්‍ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්‌ඨාසය දන්වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් සැකකාර මාලක සිල්වා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට

රෝහල්ගතව ඇති බැවින් ඔහු විෂයෙහි හඳුනාගැනීමේ පෙරට්‌ටුවක්‌ පවත්වා අනන්‍යතාව තහවුරු කරගත යුතු බවට තීරණය කළ මහෙස්‌ත්‍රාත්වරයා එතෙක්‌ ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් ඔහු සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක්‌ කැඳවන ලෙසත් නියෝග කළේය.

පැමිණිල්ල විභාගයට ගත් පළමු අවස්‌ථාවේදී සැකකාර මාලක සිල්වා අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක්‌ ගොනු කරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිල්ල ටික වේලාවකට කල් තැබුවේය.

එ අනුව පැමිණිල්ල පෙරවරු 11.30 ට පමණ යළි කැඳවනු ලැබූ අවස්‌ථාවේදී අධිකරණය ඇමතූ බන්ධනාගාර නිලධාරීන් සැකකරු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයට ඇතුළත් කර ඇති බවත් ඔහු ඉදිරිපත් කිරීමට ඉදිරි දිනයක්‌ ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරි චන්ද්‍රතිලක මහතා වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ නියෝග හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ දැනුම්දීම අනුව මෙහි පරීක්‍ෂණ ආරම්භ කර පවත්වන බවත් ඒ අනුව පහරකෑමට ලක්‌ව ඇති ස්‌කොට්‌ලන්ත ජාතික ඡේම්ස්‌ ප්‍රැන්සිස්‌ හා ඔහුගේ පෙම්වතිය වන බ්‍රිතාන්‍ය ජාතික මිලින්ඩා මැක්‌සියන් නමැති අයගෙන් ප්‍රකාශ ලබාගත් බවත් කියා සිටියේය.

පහරකෑමේ සිද්ධියෙන් දැඩි ලෙස කම්පනයට පත්ව ඇති එම විදේශ යුවළ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ද බියට පත්ව ඇති බව ද දන්වා සිටි චන්ද්‍රතිලක මහතා සමාජ ශාලාවේ අයිතිකරුගෙන් හා තවත් අයගෙන් ලබාගත් ප්‍රකාශ මත සැකකාර මාලක සිල්වාගේ පැමිණීම තුළින් මෙම ආරවුල ඇති වී ඇති බවත් ඔහු සමඟ තවත් 6 දෙනකු විදේශ යුවළට පහරදීම සිදුකර ඇති බවත් කියා සිටියේය.

සැකකරුගේ පාර්ශ්වයෙන් ඔහුට කළ පහරදීමක්‌ පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ පවත්වන බැවින් ඔහු සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක්‌ කැඳවන ලෙස ද ඉල්ලා සිටි සහකාර පොලිස්‌ අධිකාරිවරයා මීට පෙර අවස්‌ථාවකදී තංගල්ල ප්‍රදේශයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය වීම හා ඔහුගේ පෙම්වතිය දූෂණය වීම පිළිබඳව පහරකෑමට ලක්‌ වූ විදේශ යුවළගේ මතකයේ ඇති බැවින් ඔවුන් වඩාත් බියට පත්වී ඇති බව ද පැවැසුවේය.

එහිදී නීතිඥ කණ්‌ඩායමක්‌ සමඟ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු දක්‌වමින් මෙම සිද්ධියෙන් බරපතළ ලෙස තුවාල ලබා ඇත්තේ සැකකාර මාලක සිල්වා බවත් සුදු ජාතිකයන්ට වූ පහරදීම ගැන කිසිදු පැමිණිල්ලක්‌ නොමැති බවත් පැවැසුවේය.

විදේශීය ජාතිකයා සැකකාර මාලක සිල්වාගේ නාස්‌ පොල්ල කුඩුවෙලා නාහෙන් කටින් ලේ දාගෙන බිම වැටෙන්න පහර දී ඇති බව ද පැවසූ වීරසිංහ මහතා සැකකරුගේ නාස්‌ පුඩු බිඳී යැම නිසා ඔහුට බරපතළ සැත්කමක්‌ සිදුකර ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයට ඇතුළත් කර ඇති බවත් සිද්ධියත් සමඟ මාධ්‍ය තුළින් ඔහුගේ ඡායාරූප පළවීම නිසා ඔහු විෂයෙහි පෙරට්‌ටුවක්‌ පැවැත්වීම අසාධාරණ බවත් කියා සිටියේය.

පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පවා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් අදහස්‌ පළකිරීම තුළින් පැමිණිලිකරුට මේ පිළිබඳව ඉතා පහසුවෙන් කතා ගොනු කරගත හැකි බවත් ඒ තුළින් සැකකරුට බලවත් අගතියක්‌ වන බවත් පැවසූ ජනාධිපති නීතිඥවරයා සැකකරු විෂයෙහි හඳුනා ගැනීමේ පෙරට්‌ටුවක්‌ නොපවත්වන ලෙසත් මෙම සිද්ධිය සමථ මණ්‌ඩලය වෙත යොමුකළ යුතු එකක්‌ බවත් කියා සිටියේය.

මහෙස්‌ත්‍රාත්වරයා - මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගැනීමක්‌ නෑ. ප්‍රසිද්ධියට පත් පුද්ගලයන් සම්බන්ධ සිද්ධීන්වලදී පෙරට්‌ටු පැවැත්වීමක්‌ කළ නොහැකිද?

ජයන්ත වීරසිංහ මහතා - මේවා ඇප දිය හැකි වැරදි ස්‌වාමීනි.... සමථ මණ්‌ඩලයට යන්න ඇපමත මුදාහරින්න. උසාවිය මඟහැරලා යන කෙනෙක්‌ නොවේ. කැබිනට්‌ ඇමැති කෙනෙක්‌ගේ පුත්‍රරත්නයක්‌.

සහකාර පොලිස්‌ අධිකාරි චන්ද්‍රතිලක මහතා - මේ විමර්ශනයට කොළඹ අපරාධ කොට්‌ඨාසය මැදිහත් වුණේ පහරකෑමට ලක්‌ව ඇති පුද්ගලයා විදේශීය ජාතිකයන් වීම නිසායි. මෙලෙස විදේශ ජාතිකයන්ට පහර දීම තුළින් රටේ හොඳ නම පලුදු විය හැකියි. එය මඟහරවා ගැනීමට සාධාරණ පරීක්‍ෂණයක්‌ කළ යුතුයි.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරු සිද්ධිය වූ ස්‌ථානයේ සිටියේ දැයි නිශ්චිත කර ගැනීමට හා ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට හඳුනාගැනීමේ පෙරට්‌ටුවක්‌ පැවැත්විය යුතු බවට තීරණය කරමින් සාක්‌කිකරුවන්ගේ ප්‍රකාශ අනුව සැකකරු සමාජ ශාලාවට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බැවින් ඔහු ඇප මත මුදාහැරීමක්‌ කළහොත් එම සාක්‌කිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බැවින් ඇප මත මුදාහැරීම ප්‍රතික්‍ෂේප කළේය.

සැකකරුගේ සිරුරේ කිසිදු ප්ලාස්‌ටර් හෝ වෙලුම් පටි නොමැතිව පෙරෙට්‌ටුව සඳහා ඉදිරිපත් කිරීමට හැකිදැයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වෛද්‍ය වාර්තා සලකා බලා පෙරට්‌ටුවට දින නියම කරන බව ද පැවසූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරු ලබන 11 දා තෙක්‌ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය ඉඩ සලසා දෙන ලෙසත් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

සිද්ධියේ අදාළ පැමිණිල්ල විභාගයට ගත් අවස්‌ථාවේදී ඇමැති මර්වින් සිල්වා මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවෝ පිරිසක්‌ අධිකරණය වෙත පැමිණ සිටියහ.

0 comments:

Post a Comment