Pages

Subscribe:

Ads 468x60px

ඉදිරි දින කිහිපය තුළ කාලගුණය තවත් දරුණුවෙයි


පවුල් එක්‌ලක්‌ෂ අසූදහසක්‌ අවතැන්
දුම්රියක්‌ මතට පස්‌ කන්දක්‌ කඩාවැටේ
නිවාස 3519ක්‌ මුළුමනින්ම වැනසී ගිහින්
අවතැන් කඳවුරු 334 ක 80,000 ක්‌

අද වර්ෂාපතනය මිලි මීටර් 150ට වැඩිවේවි !


වායුගෝලයේ පැවැති කැළඹිලි සහගත තත්ත්වය අඩු පීඩන තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය වීම හේතුවෙන් දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය තුළ තවත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ නිසා අද (26 දා) දිවයිනේ බොහෝ ස්‌ථානවලට මිලිමීටර් 150 ට වැඩි වර්ෂාපතනයක්‌ ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

සඳහන් කරයි.

විශේෂයෙන් උතුරු මැද නැගෙනහිර, ඌව මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ නැගෙනහිර කොටසේ සහ දිවයිනට නැගෙනහිර, ගිනිකොණ සහ දකුණු දෙසින් මුහුදු ප්‍රදේශවල වැසි සහ දැඩි සුළං තත්ත්වයක්‌ ඇතිවීමට ඉඩ ඇති හෙයින් මුහුදු ප්‍රදේශ රළු හා ඉතා අනතුරුදායක වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.


මහ වැස්‌සෙන් පොලොන්නරුවේ කුඹුරු අක්‌. 40000ක්‌ වැනසේ

දින කීපයක සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ මෙවර මහා කන්නයේ කුඹුරු අක්‌කර හතලිස්‌ දහසක්‌ පමණ විනාශ වී ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයෝ කියති.

මේ අනුව පොළොන්නරුව ඕනෑගම ඇතුළු ප්‍රදේශ රැසක කුඹුරු බිම් ජලයෙන් යටවීම නිසා ගොයම කුණුවී ඇති බව ගොවීන් පැවසීය.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ සේනානායක බෙදුම් ඇළ ගොවි සංවිධානයේ ලේකම් ආර්. එම්. ගුණතිලක මහතා

දැන් දවස්‌ ගණනාවක ඉඳන් පොළොන්නරුවට මේ වැස්‌ස වහිනවා. එකෙන් අසරණ අපිට තමයි බැට කන්න වෙලා තියෙන්නේ. දැන් මේ පැත්තේ විජයරාජපුර කුඹුරු අක්‌කර දහස්‌ ගණනක්‌ විනාශ වෙලා තියෙන්නේ මොකද නිතර නිතර වතුර ගලලා ඔක්‌කොම ගොයම් වැටිලා.


මේ ගැන හොයා බලන්න කවුරුත් ආවේ නෑ. දුක්‌ මහන්සිවෙලා වියදම් කරපු කුඹුරුවලට වුණ මේ විනාශයට මොකක්‌ හරි පිළියමක්‌ කරන්න ඕනේ කියලා අපි කියනවා.

ඒ. එම්. සමරනායක ගොවි මහතා 


මේ ඔක්‌කොම කුඹුරුවල වැලි පිරිලා තියෙන්නේ. දැන් ඒවා ගෙඩගන්න බෑ. ආයෙමත් වියදම් කරපු මුදලවත් හොයන්න බෑ. අපි කියන්නේ වගකිව යුතු අංශ මේ රටේ තියනවා. ඉතින් ගොවියන්ට වුණු මේ විපත ගැන හොයා බලලා යම්කිසි සහනයක්‌ දුන්නොත් ලොකු දෙයක්‌ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.

එම්. මුදියන්සේ ගොවි මහතා 


මේ ඕනෑගම ට්‍රැක්‌ 27, ට්‍රැක්‌ 29, 30 ඇළ විජයරාජපුර, දවුලාන යන ප්‍රදේශවල ගොවි බිම් වතුර, දැන් දින කීපයක්‌ වෙනවා. ඇත්තෙන්ම සැනසීමක්‌ නෑ. අපිට අපේ කියලා දැන් මේ කුඹුරුවලින් ගන්න දෙයක්‌ නෑ. වැලි මඩ විතරයි තියෙන්නේ. ගොයම කුණුවෙලා අතටම එනවා. ආණ්‌ඩුව මේ වෙච්ච විනාශයට ගොවීන්ට සහනයක්‌ දෙයි කියලා අපි විශ්වාස කරනවා යෑයි ඔහු කියා සිටියේය. 

දිස්‌ත්‍රික්‌ හයකට නාය අනතුරු

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්‌ත්‍රික්‌ක හයකට නාය යැම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයැම් අධ්‍යක්‍ෂ හා ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානි ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා ඊයේ (25 වැනිදා) සඳහන් කළේය.බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල හා කුරුණෑගල යන දිස්‌ත්‍රික්‌ක එම දිස්‌ත්‍රික්‌ක වන බව හෙතෙම කියා සිටියේය.

නාය යැම් හා කණ්‌ඩි කඩා වැටීමේ අවදානම ඇති හෙයින් නුවර - මහියංගනය මාර්ගය, නුවර - බදුල්ල - රන්දෙණිගල හරහා මාර්ගය, නුවර රංගල හරහා මාර්ගය අනතුරු සහිත මාර්ග බැවින් එම මාර්ග භාවිත කරන්නන් ඉතා කල්පනාකාරිව කටයුතු කරන මෙන් හෙතෙම ඉල්ලීමක්‌ කළේය.

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඉවුරු කඩා වැටීමේ තත්ත්වයක්‌ වාර්තා වී ඇති බැවින් තම සංවිධානයේ නිලධාරින් පරීක්‍ෂණ සඳහා එම ප්‍රදේශ වෙත යොමු කළ බවත් ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

0 comments:

Post a Comment