Pages

Subscribe:

Ads 468x60px

වෙලේ සුදා කුඩු සැඟවූ තැන් පෙන්වීම ට ගෙන යා යුතු දවස..?


කේ. පී. ගෙන් පසු මේ රටේ ආරක්‍ෂක අංශ අතට පත් වූ වැදගත්ම තෑග්ග වෙලේ සුදා විය යුතු ය. ශ්‍රී ලංකාවේ හෙරොයින් ජාවාරමෙන් 60% ක්‌ පාලනය කළ ඔහු මෙවර අත්අඩංගුවට පත්වන විට තිස්‌අට හැවිරිදි විය.

මෙතෙක්‌ සොයා ගන්නා ලද, සුදාගේ වත්කම්වල ශුද්ධ අගය රුපියල් කෝටි තිහකට කිට්‌ටු ය. දෙහිවල - ගල්කිස්‌ස අතර සැරිසරමින් කසිප්පු පෙරන්නකු ලෙස ජීවිතය පටන් ගත් 'සුදා' මෙවැනි කෝටිපතියකු වුණේ කොහොමද? ඔහු ක්‍රමයෙන් කට අරින්නට පටන් ගෙන තිබෙන බවත්, ඔහු සමඟ ගනුදෙනු කළ දේශපාලනඥයන් ගැන කියෑවෙන්නට පටන්
ගෙන තිබෙන බවත් දැනගන්නට ඇත. 

වෙලේ සුදා ආරක්‍ෂා කර ගැනීමේ වගකීම මෙතැන් සිට ඉතා බරපතළ ලෙස ආරක්‍ෂක අංශ වෙත පැවරෙයි. මන්ද, සැඟවූ කුඩු තිබෙන තැන් පෙන්වීමට යන ගමනකදී මේකා මිය ගියොත් වස වැරැද්දක්‌ සිදු වන්නේ ය. ඒ නිසා ඔහු ආරක්‍ෂා කර ගැනීමේ වැදගත්කම ඉකුත් සිකුරාදා (16 දා) අපි මේ තීරුවෙන් පෙන්වා දුන්නෙමු. 

වෙලේ සුදා ආරක්‍ෂා කර ගැනීමේ ජාතික ව්‍යාපාරයක්‌ පිහිටුවන්නට හැකි නම්, එය වුව කළාට කම් නැත. වෙලේ සුදා කුඩු සැඟවූ තැන් පෙන්වීමට ගෙන යා යුත්තේ ඔහු සමඟ ගනුදෙනු කළ දේශපාලනඥයන්ගේ නම් සම්පූර්ණයෙන්ම හෙළිදරව් වූ පසු ය. 

දේවාල කෝවිල් හදමින්, දූෂණයට සහ වංචාවට එරෙහිව කතා කරමින් විකටයන් ලෙස හැසිරුණු, එසේම, ගිය ආණ්‌ඩුවේ මස්‌ කටු ලෙවකන්නන් ලෙස රාජකාරි කරමින් සිට මේ ආණ්‌ඩුවට සෙට්‌ වීමට ගොස්‌ පලවා හරිනු ලැබූ දීන දේශපාලනඥයන්ගේ සිට එසේ සෙට්‌ වීමට නොගිය දේශ පාලනඥයන් දක්‌වා විශාල පිරිසක්‌ මේ රටේ කුඩු ව්‍යාපාරයට අනියමින් සම්බන්ධ ය. 

ඒ සියලු දෙනා හෙළිදරව් කරදෙන තුරු සිය දරුවකු බලාගන්නා ලෙස වෙලේ සුදා රැක බලාගැනීම ආරක්‍ෂක අංශවල යුතුකම ය.

'කුඩු' යනු අත උඩ ලාභ බිස්‌නස්‌ එකකි. අවුරුද්දකට ශ්‍රී ලංකාවට ගෙනෙනු ලබන කුඩු ප්‍රමාණය ටොන් 3.5 ක්‌ වන අතර ඒවා පාකිස්‌තානයෙන් හෝ ඇෆ්ගනිස්‌ථානයෙන් මිලට ගන්නේ කිලෝව රුපියල් ලක්‍ෂ 4 ට ය.


ලංකාවේදී කුඩු කිලෝව අලෙවි වන්නේ රුපියල් කෝටි 1-2 අතර මිලකට ය. පෙර කී කුඩු ටොන් 3.5 ට අමතරව Ecstasy නමැති මත් පෙති වර්ගය මසකට කිලෝ 30 බැගින් මෙරටට ගෙන්වන බව ද හෙළි වී තිබේ. ඒවා මෙරටට එන්නේ කටුනායක ගුවන්තොටුපළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ප්‍රභූවරුන් උදෙසා විවෘතව පවතින කොටස හරහා ය. 

මේවාට ආරක්‍ෂාව සපයන්නේ ඇමැති ආරක්‍ෂකයෝ ය. තමන් ආරක්‍ෂාව දෙන්නේ කුමකටදැයි ඒ මිනිස්‌සු නොදනිති. දැනගත්තත් ඒ ගැන කතා කරන්නට ගොස්‌ මැරුම් කන්නට එකී දරු පවුල්කාරයන් සූදානම් නැත. ඔවුන්ට පැවරී ඇත්තේ ඇමැතිතුමා හෝ එතුමාගේ කඩවසම් පුත්‍රරත්නය මෙරටට ගෙනෙන බඩු තොගයට ආරක්‍ෂාව සැපයීම පමණි.

කුඩු බොන එකා දන්නේ තමාට කුඩු වික්‌ක සිල්ලර වෙළෙන්දා ගැන පමණි. ඒ සිල්ලර වෙළෙන්දා දන්නේ තමාට කුඩු සපයන තොග වෙළෙන්දා ගැන පමණි. ඒ තොග වෙළෙන්දාට ඉහළින් තවත් අය රැසක්‌ සිටිති. ඔවුන්ටත් ඉහළින් ඇමැති කෙනකු සිටියොත් ඇති විය හැකි තත්ත්වය කෙබඳුද? 


ඒ ඇමැති රට, ජාතිය, ආගම ගැන නිතර දෙසා බාන, මැරෙන්නට බය නැති බව කියන සිංහලකම ගැන නිතර කතා කරන, කවරාකාරයෙන් හෝ වර්තමාන ආණ්‌ඩුවට සෙට්‌ වීමට බලන කෙනකු නම් එතැන් සිට ඇතිවන තත්ත්වය බරපතළ ය. ඔවුන් ගැන හරි තොරතුරු දැන ගැනීමට නම් වෙලේ සුදාලා රැක ගත යුතුම ය.

0 comments:

Post a Comment