Pages

Subscribe:

Ads 468x60px

මෛත‍්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ අතුරු අයවැය අද පස්වරුවේ


මෛත‍්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ අතුරු අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍යංශය පැවසුවේ අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. 

දින සියයේ වැඩපිළිවෙළ යටතේ පොරොන්දු වී ඇති ආර්ථික සහන ජනතාවට ලබාදීම  මෙහි ප‍්‍රමුඛ අපේක්ෂාව වනවා. තමන් කරන දේ
කියන, කියන දේ කරන ආණ්ඩුවක් බවයි අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ. 

ඒ අනුව ලබා දී ඇති පොරොන්දු අද පස්වරුවේ ඉදිරිපත් කරන අයවැයෙන් එලෙසින්ම ඉටුකරන බවද අප කළ විමසීමකදී ඔහු අවධාරණය කළා.

ජනතා විශ්වාසය කවදාවත් කඩ නොකරන මෛතී‍්‍රපාල සිරිසේන, රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව තුළින් මට කියන්න පුළුවන් සතුටින් ඒ සියලූම දේ ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක කරන්න අපි බැදී සිටිනවා. ඒක ඔප්පු වේවි.

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීම, රජයේ සේවක වැටුප් ඉහළ නැංවීම සහ පෞද්ගලික අංශයේ ද වැටුප් වැඩිකිරීම සඳහා පසුබිම සකස් කිරීම අදාළ අතුරු අයවැයෙන් ඉටුකෙරෙනු ඇතැයි අපේක්ෂිත කරුණු කිහිපයක්. ජනතාව මත අතිරේක බදු බරක් ඇති නොකරන බවද අයවැය හිඟය කිසිදු ලෙසකින් හෝ වැඩිවීමට ඉඩ නොතබන බවද අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවා.

අද ඉදිරිපත් කෙරෙන අතුරු අයවැයට අදාළව විපක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් ද අප විමසීමක් කළා. සංවාදයට එක්වුණා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා.

සාමාන්‍යයෙන් අයවැයකට අතුරු අයවැයක් ඉදිරිපත් කරන විට විසර්ජන පනත් කෙටුම්පතක් ගෙන එන්න  ඕනි පාර්ලිමේන්තුවට. ඉන්පසු විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා ශ්‍රේෂ්ඨාධිකරණ මතය ආවාට පස්සේ ඒ පිළිබඳ විවාදයක් පවත්වා අනුමත කර ගැනීම තමයි අතුරු අයවැයේ ක‍්‍රමවේදය. 


අපට දැනගන්න තිබෙන ආකාරයට මුදල් ඇමැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය වරයා ප‍්‍රකාශයන් දෙකක් කරනවා. එම ප‍්‍රකාශයන් දෙක කළාට පසුව හෙට දිනයේ පාර්ලිමේන්තු කටයුතු අවසන් වෙනවා. අතුරු අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ අතුරු අයවැය ඉදිරිපත් කරාවි.

ඔබතුමන්ලා ඊට සහය පළ කරන්න බලාපොරොත්තු වෙනවාද?

අපි වරින්වර කියලා තිබෙනවා ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත අපේ රාජ්‍ය නායකයා සහ අපේ පක්ෂ නායකයා ලෙස, අපි එම අවස්ථාවේදී එයට සහය පළ කරනවා කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් ගැටලූවක් නැහැ. මොකද අපේ සහය නැතිව එම අතුරු අයවැය සම්මත කර ගන්න බැහැ.

මේ අතර අතුරු අයවැයක් යනු කුමක්දැයි නීතිවේදීන්ගෙන් ද විමසීමක් කළා. ඊට පිළිතුරු දෙමින් ආචාර්ය ප‍්‍රතිභා මහනාම හේවා මහතා පැවසුවේ කිසියම් විශේෂ අවශ්‍යතාවක් සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කෙරෙන බවයි. කෙසේවෙතත් අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමෙන් ඊට පෙර සම්මත කරන ලද වාර්ෂික අයවැය අවලංගු නොවන බවද ඔහු පෙන්වා දුන්නා.

සාමාන්‍යයෙන් අයවැය ලේඛනයක් සම්මත කර ගන්නේ වාර්ෂිකව. අතුරු අයවැය ලේඛනයක් ගෙන එනු ලබන්නේ රජයක් විසින් යම්කිසි විශේෂ අවශ්‍යතාවයකට හෝ වෙන් කර ඇති මූල්‍ය ප‍්‍රතිපාදන මදිවෙන කොට එම හිඩැස පියවා ගැනීම සඳහා තමයි එය කරන්නේ. 


සාමාන්‍යයෙන් මෙය බහුල වශයෙන් සිදුවන්නේ ආණ්ඩු මාරුවකදී. මෙය ඉන්දියාවේ මෙන්ම වෙනත් රටවලත් සිදු වුණා. මොකද රාජ්‍ය ප‍්‍රතිපත්තිය එකිනෙකට වෙනස් වෙනවා.
 
ශී‍්‍ර ලංකාවේ මීට කලින් අතුරු අයවැයක් ගෙනත් තිබෙනවාද?
 
මීට කලින් අතුරු අයවැයවල් ගෙන ආ අවස්ථාවන් ඉතිහාසයේ තිබෙනවා. අතුරු අයවැයට වඩා කෙටිකාලීනව පාර්ලිමේන්තු මැතිවරණ යකට යාමට ප‍්‍රථම ගෙන ආ අවස්ථාවන් අපි දැක තිබෙනවා. 


ඒ හැර ආණ්ඩුවක් වෙනස්වීමකදී හදිසියේ ගෙන ආ අයවැයවල් අපි දැක නැහැ. මොකද ඒ සම්මත කරන අයවැය තමයි ඉදිරියට ගෙන යන්නේ. මැතිවරණ පොරොන්දුත් සමගම අර විශාල මුදලක් ලබාදෙන අවස්ථාවල් කලින් අවස්ථාවලදී සිදුවී නැහැ. අන්න ඒ නිසා තමයි මෙවැනි අවස්ථාවකට මුහුණදීමට සිදුවී තිබෙන්නේ.
 
අතුරු අයවැය ලේඛනයක් ගෙන ආවාම එම අයවැය ලේඛනය බලාත්මක වීමේ යම්කිසි කාලසීමාවක් තිබෙනවාද? එසේම කිසියම් ආකාරයකින් එය පසුගිය අයවැයට බලපෑමක් ඇති කරනවාද?
 
ඉතාම වැදගත්.... මොකද පසුගිය අයවැය මේ වන විට සම්මත වී තිබෙනවා තුනෙන් දෙකකින් සම්මත වුණේ. නමුත් අයවැයක් සම්මත කරන්න සරල බහුතරයක් අවශ්‍ය වන්නේ. ඉතින් මෙතැනදී මේ අතුරු අයවැයේ මූලික පරමාර්ථය තමයි පාර්ලිමේන්තුවේ සරල බහුතර ප‍්‍රමාණයක ඡන්දය ලබාගන්න ඕනි. 


එසේම අතුරු අයවැය තිබෙන අයවැයත් සමගම ඉදිරියට යන්නේ. එම නිසා අලූත් අයවැයක් නෙවෙයි. අතුරු අයවැයක් කියන්නේ ඒ තිබෙන අයවැය, සම්මත වී ඇති අයවැයට යම්කිසි එකතුවක්, ප‍්‍රතිසම්පාදනයක් කරනවා. එතකොට ඒ දෙකම එකට එකතු වී තමයි ඉදිරියට ගමන් කරන්නේ.

0 comments:

Post a Comment