Pages

Subscribe:

Ads 468x60px

මම ඉන්නේ මේනක එක්ක විතරක් නෙවෙයි - නෙහාරා


වසර ගණනාවක පටන් පුංචි තිරයේ දඟකාරිය ඇයයයි කීවොත් එය නිවැරැදිය. පිට පිට වසර කීපයක් ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළියට ලැබෙන සම්මානය ඇයට හිමිවූයේ ඒ නිසාය. ඇය වඩාත් ම ප්‍රේක්ෂක ආදරය දිනාගත්තේ ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයෙනි. ඇය රංගන ශිල්පිනිය නෙහාරා පීරිස්.

* ඉතින් කොහොමද නෙහාරා, මොනවගේ වැඩත් එක්කද ඔබ මේ දවස්වල ඉන්නේ?


මේ දවස්වල මම නිහාල් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන ‘කුලැත්තියෝ’‍ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේ ම දෙරණ නාළිකාවේ ‘මල්බර දෙරණ’ සජීවී රූපවාහිනී වැඩසටහනත් ‘දෙරණ ටී පාටි’ වැඩසටහනත් ඉදිරිපත් කරන්න නිවේදිකාවක් ලෙස දායක වනවා.

* ‘කුලැත්තියෝ’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන චරිතයේ ස්වභාවය මොන වගේද?

එය එක්දහස් නවසිය විසි ගණන්වල ලංකාවේ පැවැති සමාජ‍ය පසුබිම් කරගෙන නිර්මාණය වුණු කතාවක්. ඒ වගේ ම ගාඩි කුලය පදනම් කරගෙන ලියැවුණු කතාවක්. මෙහි මම නිරූපණය කරන්නේ උසස් යැයි සම්මත පවුලක යුවතියකගේ චරිතයක්. මෙහිදී භාවිතා කළ ඇඳුම්, පැළඳුම් භාෂාව ආදිය වෙනස්. මීට කලින් මම නිරූපණය කර තිබෙන චරිතවලට වඩා වෙනස් චරිතයක් මේක.

* කොහොමද මේනකගේත් ඔබේත් අලුත් ජීවිතයේ තොරතුරු?

මේනකත් මමත් විවාහ වෙලා පසුගිය ජනවාරි 28 වැනිදාට අවුරුද්දක් පිරෙනවා. අපි ඉතාම සතුටින් අවබෝධයෙන් ජීවිතය ගෙවනවා.

* ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න මීට කලකට පෙර ඔබ දෙදෙනාට බලාපොරොත්තුවක් තිබුණා නේද?

ඔව්. මීට අවුරුද්දකට විතර කලින් එහෙම බලාපොරොත්තුවක් තිබුණා තමයි‍. නමුත් ඒ බලාපොරොත්තුව අපි අත හැර ගත්තා. තමන් නිෂ්පාදනය කරපු ටෙලිනාට්‍යයක් විකාශය කරගන්න අද කාලයේ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරුන්ට දරන්න වෙලා තියෙන උත්සාහය දිහා බලාගෙන ඉඳලා තමයි අපට ඒ බලාපොරොත්තුව අත හැරගන්න සිතුණේ.

ඒ මොකද ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න විශාල මුදලක් වැයවෙනවානේ; එහෙම වියදම් කරලා ඒක විකාශය කරගන්න තවත් මහා විශාල වෙහෙසක් ගන්න අපට බැහැ. ඒ නිසයි අපි ටෙලිනාට්‍යය නිෂ්පාදනය කිරීමේ නිදහස අතහැරියේ. 


ඒ වගේ ම රුපියල් ලක්ෂ ගණනක් වියදම් කරලා ඒක ආයෙමත් අතට ගන්න අවුරුදු ගණනක් බලාගෙන ඉන්න තරම් සල්ලිකාරයෝ නෙමෙයි අපි. ඒ නිසයි අපි හිතාගත්තේ ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අත නොගසන්න.

* ඔබ පුංචි තිරයේ පෙම්වතිය ලෙස රඟපාන්නේ මේනක සමඟ පමණද?

නැහැ. එහෙම නැහැ. පසුගිය දවස්වල ‘පාරාවළලු’ ටෙලිනාට්‍යයේ රඟපෑවේ මේනක සමඟ නෙමෙයි. නමුත් මට වැඩියෙන් ම ටෙලිනාට්‍ය ලැබෙන්නේ මේනකත් සමඟ රඟපාන්න. මමත් කැමැතියි ඒකට.

* මේනක අකැමැතිද වෙනත් කෙනකුගේ පෙම්වතිය ලෙස රංගනයේ යෙදෙනවාට?

අපෝ නැහැ. මේනක ඒ වගේ පටුවිදිහට හිතන්නේ නැහැ. එයාගෙන් කිසිම බාධාවක් නැහැ මගේ රඟපෑම්වලට.

* පිට පිට වසර කීපයක් ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළිය වූ ඔබට ඒ සම්මානය පසුගිය අවුරුදු දෙකේදී අහිමි වුණා නේද?

පිට පිටම අවුරුදු පහක් මට ජනප්‍රියම නිළියට හිමි සම්මානය හිමිවුණා. ඒ ගැන මට හරිම සතුටුයි. පසුගිය අවස්ථා දෙකකදී ඒ සම්මානය මට ලැබුණේ නැහැ. මොකද, ජීවිත කාලයම ජනප්‍රියම නිළිය වෙන්න මට හැකිවෙන්නේ නැහැනේ. අලුත් අය, දක්ෂ අය ක්ෂේත්‍රයට එනවා. 


ඔවුන් තම හැකියාව පෙන්නුවා ම ඔවුන්ටත් ඒ සම්මාන, ජනප්‍රියත්වය ලැබෙනවා. අනෙක ජනප්‍රියත්වය හැමදාම පවතින දෙයකුත් නොවෙයිනේ. ඒ නිසා ඒ ගැන මට කිසිම දුකක් නැහැ. 

හැබැයි පසුගිය අවුරුදු කීපය පුරාම Slim people award සම්මානය මට හිමි වුණා. ඒකත් මට විශාල සතුටක්. කෙසේ හෝ මම ක්ෂේත්‍රයට ආව කා‍ෙල ඉඳල අද දක්වාම කුමන හෝ සම්මානයක් වසරකට වතාවක් මට ලැබුණා.

* ප්‍රේක්ෂකයින් මීට වසර කීපයකට පෙර ඔබට‍ දැක්වූ ආදරය ඒ වගේමයි කියලා ඔබට හිතෙනවාද?
ඔව්. මම පාර ‍තොටේ යනවිට මගේ රසික රසිකාවියන් දක්වන ප්‍රතිචාරය ඉස්සර වගේ ම තවම තිබෙනවා කියලා මට දැනෙනවා.

* ජනප්‍රියම රූපවාහිනි නිළිය ලෙස වසර කීපයක් ම සම්මානය හිමිකරගත් ඔබට හොඳම නිළියට හිමි සම්මානය ගොඩක් දුරද?
මම හිතන්නේ නැහැ ඒ සම්මානය මට කවදාවත් ලැබෙයි කියලා. ඒ මොකද එවැනි රංගනයක් ඉදිරිපත් කරන්න සුදුසු ටෙලිනාට්‍යයක් මේ වනතෙක් මට ලැබිලා නැති නිසා. 


ඒ සම්මානය ගැන මට ලොකු බලාපොරොත්තුවකුත් නැහැ. අද අපේ ක්ෂේත්‍රයේ කොච්චර දක්ෂ අය ඉන්නවාද එවැනි සම්මාන වලට සුදුසු‍. නමුත් හැමෝටමත් ඒ සම්මානය ලැබෙන්නේ නැහැනේ. ඒකටත් වාසනාවක් තියෙන්න ඕනේ.

* ජීවිතේ ඔබගත් වැදගත් තීරණ නිවැරැදියි කියා ඔබ දැන් සිතනවාද?

ඔව්. අනිවාර්යයෙන් ම මම ගත් සෑම තීරණයක් ම සියයට සීයක් ම නිවැරැදියි කියා මම විශ්වාස කරනවා.

* පුංචි තිරයේ කුමන චරිතය නිරූපණය කළත් ඔබ තවමත් ‘මුතු කිරිල්ලී’ ම නේද?

ඇත්තෙන් ම ඔව්. මම හැමදාමත් ‘මුතුකිරිල්ලීම’ තමයි. ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍ය මට මගේ ජීවිතයේ වටිනා හැම දෙයක් ම ලබාදුන්නා.

0 comments:

Post a Comment