Pages

Subscribe:

Ads 468x60px

සිංහල ජාතික ව්‍යාපාරය දෙස ආපසු හැරී බැලීමක්

පසුගිය ජනාධිපතිවරණයේදී සිංහල ජාතික ව්‍යාපාරය දෙකඩ විය. සම්ප‍්‍රදායික පිරිස් හා කලහකාරී කල්ලි මහින්ද රාජපක්ෂ සමගද උපායමාර්ගික පිරිස් මෛතී‍්‍රපාල සිරිසේන සමගද එක්විය. 

රාජපක්ෂ කල්ලියේ උපාය වූයේ සිංහල ජාතික ප‍්‍රතිරූපය ලෙස ගෝඨාභය පෙන්නා එය වටා දිනේෂ්, විමල්, ගම්මන්පිල වැනි දේශපාලන කල්ලිද, ගෝමින් දයාසිරි, ගුණදාස අමරසේකර, අනුලා විජේසුන්දර, මැදගම ධම්මානන්ද හිමි වැනි සාම්ප‍්‍රදායික බෞද්ධ එන්.ජී. ඕ. ද, ආණ්ඩුවේ බුද්ධි අංශ ප‍්‍රධානී කපිල හේන්දවිතාන විසින් වසර 2ක සිට නඩත්තු කරගෙන හා ඥාණසාර - නන්ද - ඩිලන්ත බොදු බල සේනා කල්ලිය, සිංහල රාවය, මැදගොඩ අභයතිස්ස හිමි හා රාවණා බලය ආදී කල්ලිද එක්කරගෙන මෛතී‍්‍ර දෙමළ, මුස්ලිම් අන්තවාදයට රට පාවාදෙන බවට මහා ප‍්‍රචාරයක් ගෙනදීමය. 

මේ සඳහා අවශ්‍ය භීතික මානසික උපක‍්‍රම දිලිත් ජයවීර, වරුණි අමුණුගම ට‍්‍රයි ඇඞ් කල්ලිය විසින් නිර්මාණය කරනු ලැබීය. ඒවා සඳහා අරමුදල් සැපයීම කැසිනෝ ධම්මික-නිමල් පෙරේරාවරු, අශෝක පතිරගේ, සුමල් පෙරේරා වැනි දේශීය ජාවාරම්කරුවන්ද, චීන ජාවාරම්කරුවන් සම්බන්ධී
කරණය ගාමිණී - ලෝලිත සේදර සේනරත් සොයුරන්ද ඉටුකළහ. 

එමෙන්ම, සියළුම රාජ්‍ය මාධ්‍යයන්ද (අනුර සිරිවර්ධන - අයි.ටී.එන්., චන්ද්‍රපාල - රූපවාහිනිය, හඞ්සන් - ගුවන් විදුලිය, බන්දුල - ලේක්හවුස්) එතනෝල් සල්ලිවලින් ගෙනයන ලක් එෆ්.එම්. හා වී.එෆ්.එම්. ද, කොටස් වෙළඳපොළ මාෆියාවට අයත් දෙරණ සේවයද, කැසිනෝ රවී විජේරත්නට හා සජින් වාස්ට අයත් ගල් අඟුරු සල්ලිවලින් දුවන රිවිර - නේෂන් පුවත්පත්ද, රාජපක්ෂ මාෆියාවට කෙලින්ම සම්බන්ධ චන්ද්‍රපේ‍්‍රම - සහබන්දු - වෙල්ගම කල්ලියේ දිවයින, අයිලන්ඞ් පුවත්පත්ද, ගෝඨාභයගේ හා කොටි එමිල් කාන්තන්ගේ දේශීය නියෝජිතයා වූ ටිරාන් අලස්ට අයත් මව්බිම, සිලෝන් ටුඬේ කල්ලිද, අසංග සෙනෙවිරත්න - නාමල් රාජපක්ෂට අයත් ඉරුදින - ලීඩර් කල්ලිද, ගෝඨාභය - මනෝ තිත්තවැල්ල පාලනය කරන ස්වර්ණවාහිනී ජාලයද සියළු මැතිවරණ නීති කඩ කරමින් යොදා ගන්නා ලදී. 

කොළඹ දිස්ති‍්‍රක්කය කොටස් 17කට කඩා හිටපු හමුදා ප‍්‍රධානීන්ට පවරනු ලැබූ අතර, ඔවුන් නඩත්තුව වෙලේ සුදා - කුඩු දුමින්ද හා තෙල් සංස්ථාවේ සොයිසා ට පවරන ලදී. 

හමුදා බුද්ධි අංශ, ගජබා රෙජිමේන්තුව ආදිය සමග ශවේන්ද්‍ර සිල්වා, සුමේධ පෙරේරා, ලාල් පෙරේරා, ජගත් අල්විස් යන මේජර් ජෙනරාල්වරු යටතේ උතුරේ හා නැගෙනහිර ඡන්ද වර්ජනය කිරීමද, දකුනේ භීතික මානසිකත්වය පැතිරවීමද, අවශ්‍යතාවයක් වුවහොත් ඡන්ද ප‍්‍රතිඵලය වෙනස් කිරීම සඳහා හමුදාව මැදිහත් කිරීමද ඇතුළත් විධිමත් හමුදා දේශපාලන මැදිහත් වීමක් සැළසුම් කරන ලදී.

දෙසැම්බර් 24 දින දරන ජගත් ජයසූරියගේ ආරක්ෂක හමුදා ජනාධිපති වරණයට මැදිහත් කිරීම මගින් මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලා තිබුණේ මෙයට අවශ්‍ය නීතිමය තත්වය හැකිනම් ඇතිකර ගැනීමය. 

මොහාන් පීරිස්, මනෝහර ද සිල්වා, උදය ගම්මන්පිල ඒ සඳහා අවශ්‍ය නඩු තීන්දු හා නීතිමය තත්වයන් ඇතිකිරීමට කි‍්‍රයාකළ අතර, නීතිපති යුවන්ජන්, බිම්බා තිලකරත්න, පොලිස්පති ඉලංගකෝන්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය එයට එරෙහි වීමත් කොමාන්ඩෝ බලඇනිය හා සන්නාහ සන්නද්ධ බලඇනිය මේ කුමන්ත‍්‍රණයට විරෝධය පෑමත් නිසා එකී සැලැස්ම මුළුමනින් අවුල් වී ගියේය.

මේ සැලැස්මේ මූලික අංගයක් වූයේ පොලීසියේ හා හමුදාවේ දූෂිත බුද්ධි අංශ සාමාජිකයින් පිරිසක් සකස් කළ මෛතී‍්‍ර - රනිල් ගිවිසුමය. විමල් - ගම්මන්පිල ඇතුළු පිරිසක් එයට පහරදීමට යොදා ගැනිනි. 


ඊළඟට මෛතී‍්‍ර - චන්ද්‍රිකා - සම්බන්ධන් ගිවිසුමක්ද පිළියෙල කරගත් නමුත් මෛතී‍්‍ර පිලෙන් ක්‍ෂණිකව එල්ලවූ ප‍්‍රති ප‍්‍රහාරය නිසා තිස්සගේ හෙළිදරව්ව යටගියේය. 

මේ ව්‍යාජ ලියවිල්ල හා එය පදනම් කරගෙන රට පුරා ගෙනගිය භීතික මානසික ප‍්‍රහාරය ගැන තිස්ස පමණක් නොව විමල්, ගම්මන්පිල, අමරසේකර, මනෝහර, ඥාණසාර, අභයතිස්ස වැනි අයද අත්අඩංගුවට ගතයුතුය. 

මේ මගින් මොවුන් පෙන්නා දුන්නේ සිංහල ජාතික ව්‍යාපාරය ඡන්දයක් දිනීමට කෙතරම් වංචනික තත්වයකට ඇදවැටී ඇතිබවද යන්නය.

2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා - ටී.එන්.ඒ. ගිවිසුම මැතිවරණයේ හැරවුම් ලක්ෂය විය. නමුත් මෙවර මෛතී‍්‍ර හා ටී.එන්.ඒ., හකීම් ගිවිසුම් ගැන වූ බියවැද්දවීමට කළහැකි වූ බලපෑම සීමාසහිත විය. එයට හේතු 3ක් විය.

01. ජාතික හෙළ උරුමයේ නායකයින් වූ  ඕමල්පේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, පාඨලී චම්පික රණවක වැනි අය, ප‍්‍රායෝගිකව පෙඩරල් ක‍්‍රමයට, කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව සංවිධානාත්මකව කි‍්‍රයාකළ නායකයින් ලෙස පොදුවේ තිබූ පිළිගැනීම ඉතා ඉහළ එකක් විය.


වීරවංශ - ගම්මන්පිල වැන්නවුන්ට මෙවැනි සිවිල් ප‍්‍රාග්ධනයක් තිබුණේ නැත. සිංහල උගත් මධ්‍යම පන්තිය හෙළ උරුම නායකයින් - මල්වතු මහානායක හිමි වැනි පිරිස් මෛතී‍්‍ර පිලේ ඊළමට එරෙහි ජාතික සහතිකය ලෙස පිළිගත්හ.

02. චම්පික රණවක විසින් ඉතා දක්ෂ ලෙස ජනාධිපතිවරණයේ මූලික තේමාව බවට ඒකීයභාවය, විධායක ජනාධිපති ධූරය නොව දූෂණය හා ආර්ථික පරිහානිය පත්කරන ලදී. මේ මගින් ඔහු යූ.ඇන්.පී., ජ.වි.පෙ. නායකයින් පහසුවෙන් අභිබවා ශී‍්‍ර ලංකාවේ මැද පන්තියේ ජාතික නායකයා විය. 


එමෙන්ම, දෙමළ, මුස්ලිම් උගත් ජනයාගේද විශ්වාසය දිනාගත්තේය. වෛද්‍ය - ඉංජිනේරු - නීතිවේදී - ගණකාධිකාරී - විද්‍යාර්ථි පිරිස්වල බලපෑම කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර, කුරුණෑගල ආදී දිස්ති‍්‍රක්ක වල රාජපක්ෂට තිබූ මිලියනයක පමණ ඡන්ද අහිමි කළේය. 

දෙමළ හා මුස්ලිම් ඡන්ද ඇතිකළ බලපෑම (ලක්ෂ 15) ළඟට ලොකුම බලපෑම මෙමගින් ඇතිවිය. 2010 දී ෆොන්සේකාට දෙමළ - මුස්ලිම් ඡන්දය තිබියදීත් ජනාධිපතිවරණය ජයගත නොහැකි වූයේ සිංහල මධ්‍යම පන්තිය දිනාගත නොහැකි වූ නිසාය.

03. දෙමළ සන්ධානයේ හා මුස්ලිම් කොංග‍්‍රසයේ නායකයින් ඉතා බුද්ධිමත්ව සිංහලයන් කුපිත නොවන ලෙස කරුණු දැක්වූ අතර, සිය සුවිශේෂී ඉල්ලීම් යටපත් කර ගැනීමට තරම් ප‍්‍රායෝගික විය.

දෙමළ - මුස්ලිම් සාධකය මෛතී‍්‍රට ඡන්ද ලක්ෂ 15ක් පමණ (මහින්දට ඡන්ද ලක්ෂ 4ක් පමණ ලැබෙද්දී) වාසි ගෙන ආ අතර, ඒ නිසා මෛතී‍්‍ර වෙතින් ඉවත් වූ සිංහල ඡන්ද ප‍්‍රමාණය ලක්ෂ 2-3 ඇතිවිය. 


දකුණ, ඌව, සබරගමුව මහින්ද ජයගත්තේ සිංහල ප‍්‍රශ්නයක් නිසා නොව, ප‍්‍රකෝටි ගණනින් මැතිවරණ අල්ලස් ලෙස බෙදීමත්, උච්ඡ ප‍්‍රචාරයත් (මහින්දගේ ප‍්‍රචාරක වියදම මෛත්‍රී මෙන් සිය ගුණයකටත් වඩා වැඩිවිය) ශී‍්‍ර.ල.නි.ප.යේ සාම්ප‍්‍රදායික සංවිධාන ශක්තියත් පැවති නිසාය. (1988 දී සිරිමාවෝද මේ දිස්ති‍්‍රක්ක ජයගත්තාය)

සිංහල ජාතික ව්‍යාපාරයේ පිරිස් කළ බරපතලම වරද වූයේ රාජපක්ෂ පවුල විසින් ගෙනගිය අත්තනෝමතික පාලනය හා රාජ්‍ය දේපොළ මංකොල්ලය ජාතික සළුපිළිවලින් වසා දැමීමට ඉදිරිපත් වීමය. එමගින් ඔවුන් උගත් ජනයා ඉදිරියේ පිළිකුලට බඳුන්වූහ. 


දෙවැන්න, මෛතී‍්‍රට තවත් ඡන්ද ලක්ෂ කීපයක් ලැබුණා නම් ඔහුගේ ජයග‍්‍රහණයේ දෙමළ - මුස්ලිම් දායකත්වය හීන වන්නට ඉඩතිබිණ. ඔවුන්ගේ බේගල්වලින් සිංහල ජනයා නොමග යැවීමෙන් ඔවුන් වක‍්‍ර ආකාරයෙන් ශක්තිමත් කළේ දෙමළ - මුස්ලිම් අන්තවාදයේ කේවල් කිරීමේ හැකියාවය.

සිංහල ජාතික ව්‍යාපාරයේ රැඩිකල් කල්ලි ලෙස කි‍්‍රයාකළ පිරිස් සිංහලයන්ට අති විශාල විනාශයක් කළහ.

01. බොදු බල සේනා, රාවණා බලය වැනි කල්ලි කෙලින්ම ගෝඨාභය රාජ්‍ය නායකත්වයට ගෙනඒම සඳහා වූ ව්‍යාපෘතියක කොටසක් විය. දූෂිත රාජපක්ෂ පවුල රැකීමට ඔවුන් ඉදිරිපත් වීමෙන් ජාතික ව්‍යාපාරය ගැන පොදු ජන විශ්වාසය බිඳවැටිණ.

02. බොදු බල සේනා, රාවණා බලය, සිංහල රාවය වැනි කල්ලි කිසිදු විධිමත් සංවිධානයකින් තොරව සිදුකළ දෙයින් සිදුවූයේ මුස්ලිම් ජනයා බියවැද්දවීමත්, සංවිධානාත්මක මුස්ලිම් අන්තවාදය තවදුරටත් බලවත් වීමත්ය. දැන් බොදු බල සේනාවක් නැත. නමුත් ඔවුන් නිසා ජනිත වූ මුස්ලිම් මූලධර්මවාදය තව දශකයක් පවතිනු ඇත.

03. රාජපක්ෂ පාලනය උතුරේ පලාත් සභාව බන්දේසියක තබා දෙමළ සන්ධානයට දුන්නේය. කේ.පී. ඇතුළු කොටි නායකයින් 600ක් පමණ වෙනම නඩත්තු කළේය. උතුරේ ඡන්ද වර්ජනය සඳහා දෙමළ ඩයස් පෝරාවට දකුණු අපි‍්‍රකාව හරහා මුදල් දුන්නේය. 


හලාල්, ෂරියා, ජමියතුල් උළේමා, ෂූරා කවුන්සිල් බිහිකළේ රාජපක්ෂවරුන්ය. මේවා මධ්‍යස්ථව විවේචනය නොකර මහින්දට කඬේයෑම නිසා, ගම්මන්පිල වැන්නවුන්ගේ පාවාදීම් නිසා සිංහල ජාතික ව්‍යාපාරයේ නායකයින් ගැන උගත් ජනයාට පිළිකුලක් ඇතිවිය.

04. බොදු බල සේනා හා ඇතැම් නායක හිමිවරුන් මුදලට, අශීලාචාර හැසිරීම්වලට ගැති පිරිසක් බව ඔප්පුවීම නිසා සිංහලයින් අතර සිටි උගත් පිරිස් තුළ මහත් කලකිරීමක් ඇතිවිය. හෙළ උරුමයේ  ඕමල්පේ සෝභිත හිමි වැනි උගත් භික්ෂූන් නොවන්නට මුළු භික්ෂු පරපුරම බේබදු, වනචර පිරිසක් යැයි හංවඩු ගැසෙන්නට ඉඩක් තිබිණි.

දැන් මෛතී‍්‍ර පාලනයට ලොකුම ප‍්‍රහාරය දෙන්නට යන්නේ මේ අන්ත ජාතිකවාදීන් ලෙස වෙස්වලාගත් කල්ලි වලිනි. මහින්ද රාජපක්ෂ අගමැති කරවීමට පක්ෂයක් පිහිටුවීමට යන්නේද මේ කල්ලි විසිනි. මෙහි නායකයින් ලෙස දිනේෂ්, විමල්, ගෝඨාභය තෝරාගෙන ඇත.

දිනේෂ් ගුණවර්ධන සිංහල ජාතික ව්‍යාපාරයට සවියක් ලෙස 1980 අග භාගයේදීත්, 1990 මුල භාගයේදීත් පිළිගැනී තිබිණි. නමුත් ශී‍්‍ර ලංකා රාජ්‍යය පෙඩරල් රටක් කිරීමට 1995, 1997, 2000 වසරවල නායකත්වය දුන් චන්ද්‍රිකාගේ ආණ්ඩුවට වසර 2000 දී දිනේෂ් එකතුවීමෙන් පෙනීගියේ ඇමතිකම ඔහුට ජාතියට වඩා වැදගත් බවය. 


මහින්ද උතුරට පළාත් සභා දෙනවිට, හලාල්, ෂරියා ගෙනඑනවිට දිනේෂ් කිසිදු හඩක් නොනැගූ අතර, මහින්ද දුන් අගමැති ටොෆිය වමාරා කමින් සිටියේය.

විමල් වීරවංශ අඩු තරමින් සිංහල යන වචනයවත් කියන්නට අකමැති අයෙකි. ඔහු හා මාක්ස්වාදී වික‍්‍රමබාහු අතර මතවාදී වෙනසක් නැත. සිහළ උරුමය, ජාතික හෙළ උරුමය නැග එද්දී ජ.වි.පෙ. උපායක් ලෙස දේශහිතෛශී ව්‍යාපාරය ආදිය ගොඩනැගූ අතර, තවමත් විමල් වීරවංශ එය දකින්නේ උපායක් ලෙසය. 


එමෙන්ම, ඔහුගේ ඊනියා උපවාසය, ඇමතිකම් අත්හැරීමේ බොරු තර්ජනය, අන්‍යයන්ට එල්ලකළ අපවාද, ඔහුගේම දූෂිත දේශපාලන කි‍්‍රයාකාරකම් විසින්ද කිසිදු විශ්වාසයක් නැති මඩ අවලාද ප‍්‍රචාරකයෙක් බවට විමල් වීරවංශ පහතට වැටී ඇත.

ගෝඨාභයට මැද පන්තියේත් සාමාන්‍ය ජනයා අතරේත් පිළිගැනීමකට වඩා තිබුණේ බියකි. නමුත් ඔහුගේ කොටි - කුඩු - කැසිනෝ සබඳකම් නිසා ඔහුද රාජපක්ෂ පවුල සමග පිරිහී අවසන්ය. 


බොහෝ දෙනෙක් සිය ඇමරිකන් මව්බිමට පලාගිය බැසිල්ට, මහින්දගේ පරාජය ගැන දොස් කීවාට මහින්දගේ පරාජයට මූලික වශයෙන් වගකිව යුත්තා ගෝඨාභය ලෙස ශී‍්‍ර.ල.නි.ප. නායකයින් අතර ඇති විශ්වාසය ප‍්‍රබලය.

මහින්දට මුවාවී කෙසේ හෝ ඇමතිකමක් ගන්නට ගිය ගම්මන්පිල දැන් හදන්නේ කෙසේ හෝ කොළඹින් පාර්ලිමේන්තුවට රිංගා ගන්න රාජපක්ෂලාගේ රැකවරණය ලබා ගැනීමටය. 


ගම්මන්පිල වීරවංශට වඩා දුෂ්ට කපටියෙකි. ඔහු මුලින්ම රාජපක්ෂවරු විවේචනය කර හෙළ උරුමය ආණ්ඩුවෙන් එළියට ගත්තේය. ඊළඟට හෙළ උරුමය එළියේ තබා රාජපක්ෂ ආණ්ඩුවට පැන්නේය. 

රාජපක්ෂ දිනුවායින් පසු තමන්ට කැබිනට් ඇමතිකම ෂුවර් කියා පැන්න පිම්ම වැරදීගොස් දැන් මෛතී‍්‍ර විරෝධයේ වීරයා වීමට මාධ්‍ය අල්ලාගෙන සිය සුපුරුදු බොරුව ගෙනයයි. මේ බොරුව ඔහු පාසලේදීත්, ව්‍යාපාරික ලෝකයේත්, පවුල් ජීවිතයේදීත් ගෙන ආ කි‍්‍රයාවලියකි. 

ඔහුගේ පිවිතුරු හෙළ උරුමයට අරමුදල් සපයන දිලිත්, ධම්මික පෙරේරා, ටිරාන් අලස්, ගාමිනී සෙනරත්, සිඞ්නි ජයසිංහ ආදීන්ගෙන්ම එය පැහැදිලි වේ.

උඩුවේ ධම්මාලෝක, මැදගොඩ අභයතිස්ස, ගලගොඩඅත්තේ ඥාණසාර වැනි භික්ෂූන් ගැන කතා කිරීමටවත් දෙයක් නැත. අලි පැටවුනට, මන්දිරවලට, සුරසැප වාහනවලට හා වෙනත් දොළපිදේනිවලට ඔවුන් නොකරන දෙයක් නැත. 


2005-2010 දී උඩුවේ හිමි හා ඥාණසාර හිමි රනිල්ට කඬේ ගියේය. පැරදුනහ. 2015දී මහින්දට කඬේ ගියහ. පැරදුනහ. දැන් නැවතත් ඔවුන් රනිල්ට කඬේ යෑමට සැරසෙමින් සිටිති. 

මොවුන් ශාසනිකව පමණක් නොව, දේශපාලනිකවද පාරාජිකා වූවෝ වෙති. රජගල, දෙවනගල, බුදුගල, කූරගල ආදිය පෙන්නා බෞද්ධයින් බියපත් කර සමාජය අවුල් කරන්නට මොවුනට ඉඩදිය යුතුනම් නැත.

සිංහල ජාතික ව්‍යාපාරය දැන් කරුණු කිහිපයක් සිතිය යුතුය.

01. පටු සිංහල හැඟීම් ඇවිස්සෙන මුග්ධ සටන්පාඨ හා ඉක්මනින් ආණ්ඩුව වැට්ටවීම ගැන නොව පුළුල්ව රට ගොඩනැගිය හැකි ප‍්‍රති පත්තියක් තනාගත යුතුය. ඒ සඳහා නව වෘත්තිකයන් රටට අවශ්‍යය. නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි අය යල් පැනගොස් බොහෝ කල්ය.

02. දැනටමත් ජනතාව විශ්වාස කරන ශක්තිමත් ජාතික නායකයින් තවදුරටත් ශක්තිමත් කළ යුතුය. රාජපක්ෂ පිළිලයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බේරාගෙන, එය සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු උරුමයට ලබාදීමටත්, මෛතී‍්‍ර ආණ්ඩුවේ ජාතික මත දරන පිරිස් ශක්තිමත් කිරීමටත් කටයුතු කළයුතුය. 


ඒ සඳහා එ.ජා.ප.යේ කරූ ජයසූරිය, විජේදාස රාජපක්ෂ මෙන්ම සන්ධානයේ චම්පික රණවක මෙන්ම හොඳ බෞද්ධයෙක් වන ජනාධිපති මෛතී‍්‍රපාල ශක්තිමත් කළ යුතුය.

03. ඊළඟ මහ මැතිවරණයේදී කල්ලි දිනවීමට නොව, රට කළහැකි නායකයින් පාර්ලිමේන්තුවට යැවීමට එක්සත්ව කටයුතු කළ යුතුය.

රටට අද අවශ්‍ය බොරු සටන්පාඨවලට නොරැවටෙන ජාතික ව්‍යාපාරයකි.

(සංවාදයට විවෘතයි.)
 

ධර්මසිරි හේවාගම
රජරට සංස්කෘතික හා කලා පදනම
nicceylon@gmail.com

0 comments:

Post a Comment