Pages

Subscribe:

Ads 468x60px

රජයේ පියන් කෙනකුගේ තත්ත්වයට පත් නොවී - මහින්ද රාජපක්‍ෂ කළ යුත්තේ කුමක්‌ද...? විග්‍රහයක්


විධායක ජනාධිපති ධුරයේ ඇති අත්තනෝමතික බලතල අවම කරමින් ව්‍යවස්‌ථා සංශෝධනයකින් පසු නියමිත කාලයේදී ජනාධිපතිවරණය පවත්වන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධාන රජයේ පක්‍ෂ නායකයන්ගේ සහ බහුජන සංවිධාන නායකයන්ගේ මතයට සවන් නොදී සිය ජනාධිපති ධුර කාලය ඉදිරියට වසර දෙකක්‌ තිබියදීත් ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රඥයන්ගේ සහ සිය හිතවත් ස්‌වල්ප දෙනකුගේ තීරණය මත විධායක ධුරයේ බලතල පාවිච්චි කරමින් හදිසි ජනාධිපතිවරණයක්‌ කැඳවා මහින්ද රාජපක්‍ෂ මහතා කර ඇත්තේ අනුවණ ක්‍රියාවක්‌ බව දැන් වැටහෙනවා ඇත.

"ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැක" යනුවෙන් අප ජනවහරේ කියමනක්‌ ඇත. එබැවින් පසුතැවිලිවීම් අමතක කර, ඉදිරිය මනා ලෙස සැලසුම් සහගත විය යුතුය. ඉක්‌මන් තීරණවලට එළඹීම පරාජයෙන් පරාජයට පත්වීමට ඉඩ තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබෙන මහජන ප්‍රතිචාර තුළින් පෙනී යන්නේ එතුමා ජනප්‍රියත්වයෙන් ඉදිරියෙන්ම සිටින දේශපාලන නායකයා බවයි. එතුමා දේශපාලන භූමිකාවෙන් සමුගත යුත්තේ ගෞරාවාන්විත අයුරකින් මිස පරාජිත දේශපාලන නායකයකු ලෙස නොවන බව බහුතර

ජනතාවගේ බලාපොරොත්තුවයි.

වසර දහයකට වැඩි කාලයක්‌ මේ රටේ පළමු පුරවැසියා ලෙසත්, විධායක යේ නියමුවා ලෙසත් කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා වශයෙන් නම් කර සිටින ලෙස පසුගිය සන්ධාන රජයේ පක්‍ෂ නායකයන් කීපදෙනකු සහ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් විශාල පිරිසකගේ ඉල්ලීම කොතෙක්‌ දුරට යුක්‌තිසහගත ද යන්න කල්පනාවට ගතයුතු කරුණකි.

වසර දහයකට වැඩි කාලයක්‌ ජනාධිපති අසුනේ වැජඹුණ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අසුනේ වාඩිකරවීමට ගන්නා උත්සාහය එතුමාගේ චරිතය, තත්ත්වය යම් හෑල්ලුවකට ලක්‌කිරීමක්‌ යනු මගේ හැඟීමයි.

ඡේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන අවධියේ රණසිංහ ප්‍රේමදාස මහතා එවක අගමැති වශයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේ "තමා රජයේ පියන් කෙනකුගේ තත්ත්වයට පත්ව ඇති බවයි."

දැනට ක්‍රියාත්මක විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය පිළිබඳ පවතින පක්‍ෂ අතර විශාල මත ගැටුම් ඇත. විවිධ පක්‍ෂ අතර විවිධ මත ගැටුම් නිසා කුමනාකාර නිගමනයන්ට පැමිණේද සැක සහිතය.

මොනයම් පුද්ගලයකු ජනාධිපති ධුරයට පත්වුවද හෙතෙමේ මනුෂ්‍යත්වය ඉක්‌මවා දේවත්වයට පත්වූවකු නොවන්නේය. පෘථග්ජන මිනිසුන් වශයෙන් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පළිගැනීම් මනුෂ්‍යත්වයට පොදු ධර්මතාවයන් වෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පොදු අපේක්‍ෂකයා වශයෙන් සිය පාක්‍ෂිකත්වය ද නොසලකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතීත ක්‍රියාකාරකම් තුළින් එතුමා කෙරෙහි ඇතිව තිබූ යම් යම් කලකිරීම් හේතු කරගෙනය. මේ බව මෛත්‍රීපාල මහතා ද අවධාරණය කර ඇත. 


එබැවින් මහින්ද රාජපක්‍ෂ මහතා යම් ලෙසකින් ඉදිරි මහ මැතිවරණයකදී අගමැති ධුරයට පත්වුවහොත් සමගි සම්පන්නව ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවෙයිද? එදා ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ගත් නිර්භීත තීන්දු තීරණ මෙදා අගමැතිවරයා වශයෙන් ගැනීමට හැකි වෙයිද? නැත.

ව්‍යවස්‌ථානුකූලව වසර හයක කාලයක්‌ ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැකිමුත් වසර පහකින් පසු සිය ධුරයෙහි ගෞරවාන්විතව සමුගන්නා බව මෛත්‍රීපාල සිරිසේන මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත.

හිටපු ජනාධිපතිතුමාට ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකත්වය නොලැබෙන්නේ නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බහුතරයක්‌ සහ සන්ධාන රජයේ පක්‍ෂ නායකයන් කීපදෙනකු ප්‍රකාශ කර සිටින්නේ සන්ධාන රජයට සිය සහයෝගය නොදෙන බවයි. 


තවත් ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් පිරිසක්‌ දැනට පවතින ක්‍රමයට අනුගත වෙමින් සිටී. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටත්, ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂික පිරිසටත් මෙයින් සිදුවන්නේ බලවත් අසාධාරණයකි. මේ නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දැනටමත් දෙකඩවීමේ අවදානමකට ලක්‌ව ඇති බැව් පෙනෙන්නට ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතාට මෙහිදී ගත හැකි ක්‍රියාමාර්ග දෙකක්‌ ඇත. 


1. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, සිය පාක්‍ෂිකයිනුත් ආරක්‍ෂා කර ගනිමින් ඉදිරි ජයග්‍රහණ කරා පක්‍ෂය රැගෙන යැමට තනතුරු, තාන්නමාන්න අත්හැර සිය පාක්‍ෂිකයන් සමඟ එකම වේදිකාවේ නැගී පක්‍ෂය ජයග්‍රහණය කරවා මහජනතාවට සේවය කර ඒ තුළින් අනාගත කීර්ති නාමය ආරක්‍ෂා කර ගැනීම.

2. නැතහොත් ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකත්වය ලබා අවරෝහණ දේශපාලන ක්‍රියාමාර්ගයට ප්‍රවිශ්ඨ වී කීර්තිනාමය හානිකර ගැනීමය.

- හේරත් අබේකෝන් - පන්නල

0 comments:

Post a Comment