Pages

Subscribe:

Ads 468x60px

කොටකෙතන තිදරු මවගේ නිරුවත් සිරුර නිවස අසල ඇළක

අභිරහස්‌ අන්දමින් ඝාතනයට ලක්‌වූ කහවත්ත කොට කෙතන ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. ඩබ්ලිව්. චන්ද්‍රනි ස්‌වර්ණලතා මහත්මියගේ නිරුවත් සිරුර ඇය පදිංචිව සිටි නිවසට මීටර් 500 ක්‌ පමණ දුරින් ගලාගිය ඇළ ඉවුරේ ගසක මුල් මත සිරවී තිබියදී පොලිසිය මගින් ඊයේ (06 වැනිදා) සවස සොයාගෙන ඇත. 

අභිරහස්‌ අන්දමින් කොටකෙතනදී ඝාතනයට ලක්‌වූ 17 වැනි කාන්තාව චන්ද්‍රනි මහත්මිය බව පොලිසිය පවසයි. කිසියම් පුද්ගලයකු චන්ද්‍රනි මහත්මිය නිවසේදී ඝාතනය කර ඇගේ සිරුර ඇළට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ඝාතනයට ලක්‌වූ 38 හැවිරිදි චන්ද්‍රනි මහත්මියගේ සිරුර ඊයේ සවස 2.40ට පමණ සොයා ගන්නා අවස්‌ථාවේ සිරුරේ කිසිදු වස්‌ත්‍රයක්‌ නොතිබූ බවත් ඊට කබරයින්ගේ සහ ජලජ සතුන්ගෙන් හානි සිදුවී තිබූ බව

පොලිසිය පවසයි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රනි මහත්මියගේ මස්‌සිනා (සැමියාගේ සොහොයුරා) පොලිසිය මගින් ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගෙන තිබිණි. ඊයේ දහවල් වනතුරුත් එම සැකකරුගෙන් ප්‍රශ්න කළ ද වැදගත් තොරතුරු කිසිවක්‌ හෙළිකර ගැනීමට නොහැකි වී ඇත.

ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ නිවස පරීක්‍ෂා කිරීමට යොදාගත් ශානා නමැති පොලිස්‌ නිල සුනඛයාගේ සහායෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

චන්ද්‍රනි මහත්මියගේ මුදල් පසුම්බියට ඉව අල්ලමින් ගිය ශානා ඇගේ මස්‌සිනාගේ නිවසට ගොස්‌ නතර වී ඇත. පසුව එම සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ මෙම ඝාතනය සිදුවූ දින අලුයම 1.00 ට පමණ මොහු ඇයගේ නිවස වෙත ගොස්‌ ඇති බවයි. සැකකරු සහ ඔහුගේ බිරිඳ පරස්‌පර විරෝධී ප්‍රකාශ කරන බව පොලිසිය පවසයි.

කහවත්ත කොටකෙතන පදිංචිව සිටි තිදරු මවක වූ චන්ද්‍රනි ස්‌වර්ණලතා මහත්මිය සිය නිවසේ නිදා සිටියදී අතුරුදන් වූයේ පෙරේදා (05 වැනිදා) අලුයමයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ කහවත්ත පොලිසිය අතුරුදන් වූ කාන්තාවගේ සිරුර සොයා මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කරන ලදී. මෙම මෙහෙයුම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය නාවික හමුදාවේ කිමිදුම් කණ්‌ඩායම් සහ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ එක්‌ව සිටියහ.

කහවත්ත ප්‍රදේශයට මැණික්‌ පතල්, වගුරු බිම්, කැලෑ ප්‍රදේශ සියල්ල මෙම මෙහෙයුමට එක්‌ව සිටි නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්‌ව තිබිණි.

චන්ද්‍රනි මහත්මියගේ නිවස අසලින් ගලා බසින වේගඟේ ශාඛාවක්‌ වූ ඇළක්‌ පරීක්‍ෂා කළ පොලිසිය සහ නාවික හමුදා නිලධාරීන් ඊයේ දහවල් ඇගේ සිරුර සොයා ගන්නා ලදී.

මළ සිරුර ඇළේ ජල පහරට හසුවී විශාල දුරකට ගසාගෙන ගොස්‌ ඇති බවට පොලිසිය සැක පළ කරයි. ඝාතනය සිදු කළ සැකකරු ඊයේ දහවල් වන තුරුත් නිවැරැදිව හඳුනාගෙන නොතිබිණි.

මෙම අබිරහස්‌ ඝාතනය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා කොළඹින් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ කහවත්තට ගොස්‌ ඇත.

රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ පරීක්‍ෂණ පවත්වති.

0 comments:

Post a Comment