Pages

Subscribe:

Ads 468x60px

‘‘වෙරළට ආ විෂ සතුන් ජෙලිෆිෂ් නොවෙයි“- පරිසරවේදීන්


දකුණු සහ බස්නාහිර පළාත් අවට මුහුදේ මේ දිනවල බහුලව දක්නට ලැබෙන විෂ සහිත නිල් පැහැති සතුන් ජෙලිෆිෂ් හේවත් ලොඩියන් නොව සතුන් රැසක් එක්වී සිටින සත්ත්ව ජනාවාස රැසක් බව පරිසරවේදීහු කියති. එම සතුන් ජෙලිෆිෂ් ලෙස හැඳින්වීම වරදකි.

ඔවුන මාරාන්තික විෂ සහිත මොවුන් ස්පර්ශ වීමෙන් ලෝකය පුරා මරණ වාර්තා වී ඇතත් පසුගිය වසර 35ක කාලයේ දී මෙරටින් එවැනි කිසිදු

මරණයක් වාර්තා වී නැත. මේ සතුන් ස්පර්ශවීමෙන් පසු කැසිල්ලක්, ඇඟපත වේදනාව, ඉදිමුම හා හෘදයේ දුර්වලතා ඇතිවිය හැකියැයි වෛද්‍යවරු කියති.

1982 වර්ෂයේ සිට වසර 33 ක කාලයක් මෙම සත්ත්ව ගනාවාස පිළිබඳ පරීක්ෂණ පවත්වන පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ ෆිසේලියා නමැති සත්ත්ව ඝනයට අයත් මේ සතුන් විශේෂ රැසක් මුහුදේ දක්නට ඇති බවයි.

ලොඩියකු හෙවත් ජෙලිෆිෂ් සතකු ලෙස පෙනෙන මොවුන් එක් ඒකකයක් ලෙස සැළකූ විට එසේ පෙනුන ද ඒ එක් සතකු නොව සතුන් සමූහයක් එක්ව ගොඩනගාගත් සත්ත්ව ඝනාවාසයකි. ඉංග්‍රීසි බසින් “පෘතුගීස් මෑන් ඕ වෝ“

ලෙස මේ සත්ත්ව ඝනාවාසය හඳුන්වයි. එහි අර්ථය බැලූ බැල්මට පෘතුගීසි යුද මිනිසා ලෙස හැඟී ගිය ද ඉන් අර්ථ ගැන්වෙන්නේ පෘතුගීසි යුද නැව යන්නයි. 18 වැනි සියවසේ දී ඉංග්‍රීසි ජාතික නැව් දියුණුවනතුරු පෘතුගීසි හා ස්පාඤ්ඤ නැව් මුහුදේ ආධිපත්‍යය හිමිකරගෙන සිටි බැවින් මුහුදේ හමුවන උග්‍ර විෂ සහිත මේ සතුන් ද ඒ නමින් හඳුන්වා ඇත. 


‘‘ෆ්ලෝටින් ටෙරර්“ හෙවත් ‘‘පාවෙන භීතිකාව“ නැතිනම් ‘‘බ්ලූ බොට්ල්‘‘ හෙවත් ‘‘නිල් බෝතලය“ ලෙස ද ඇතැම් විට මේ සතුන් හඳුන්වයි.

මේ සත්ත්ව ඝනාවාසයේ සිටින ග්‍රාහක බුහුබාවාගේ “දංචක කෝෂ්ඨ“ නමැති කුඩා සෛලයක දඟර ගැසුණ තුඩ සංවේදී වන ඕනෑම දෙයකට විදීම සිදුකරයි. මිනිසකුගේ ශරීරයේ ඔවුන් ස්පර්ශ වූ විට එවැනි විදීම් සිය ගණනක සිට දහස් ගණනක් දක්වා එකවිට සිදුවිය හැකිය. ඇතැම් විට නිල් පැහැති සත්ත්ව ඝනාවාසය ම මිනිස් සිරුරේ ඇලී අධික වේදනාවක් හටගනී.

එය අතින් පිස දමා ගලවා දැමීමට උත්සාහ ගැනීමේ දී අතට ද විදීම සිදුවන අතර විෂ සහිත තුඩ සිරුරේ ඉතිරිවී තිබිය දී කොටසක් පමණක් ගැලවී යයි. එසේ වුවහොත් සිදුවන්නේ ඇලී තිබූ ස්ථානයේ සෛලය හානියට පත්ව වඩාත් වේදනාකාරී වීමයි.

මෙවැනි සත්ත්ව ගහනයක් තම සිරුරේ ස්පර්ශ වුවහොත් එය අතින් පිස නොදමා කෝටුවක් වැනි යමකින් ප්‍රවේශමෙන් ඇද ඉවත් කරන ලෙස ද වෛද්‍යවරු උපදෙස් දෙති.

එවැනි ස්පර්ශවීමක් සිදුවූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යාවශ්‍ය බව ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙති.

ලොවපුරා මුහුදේ ව්‍යාප්තවී සිටින මේ සතුන් ෆිසේලියා ඝනයට අයත්වේ. එහි විශේෂ ගණනාවක් දක්නට ලැබෙන අතර ඉපිල්ලකු හා කොරල් සාදන බුහුබාවන් දහස් ගණනක් එක්වී මේ එක් ඝනාවාසයක් සාදයි. 


ඉපිල්ලා බැලූනයක් මෙන් දිස්වන අතර බුහුබාවන්ගෙන් ග්‍රාහක සෑදී ඇත. මේ පෙනුම හේතුවෙන් බොහෝ දෙනකු මෙම සත්ත්ව ඝනාවාසය ජෙලිෆිෂ් හෙවත් ලොඩියකු ලෙස වැරදියට වටහා ගනී.

නීතීඥ ජගත් ගුණවර්ධන මහතා මෙසේ කීවේය.

‘‘ මා මේ සතුන් ගැන වසර 33ක කාලයක් පර්යේෂණ කළා. සෑම වර්ෂයක ම නිරිත දිග මෝසම් කාලයේ දකුණු හා බස්නාහිර පළාත් අවට මුහුදේ වාරකන් ආරම්භයත් සමග නිල් පැහැති මේ සත්ත්ව ගහණ මුහුදු වෙරළ ආසන්නයේ දක්නට ලැබෙනවා. 


මේ සතුන් මුහුදු වෙරළ ආසන්නයේ සිටිනවානම් එවැනි ස්ථානවල දිය නෑමෙන් වැළකිය යුතුයි. මොවුන්ගේ විෂ ඕනෑම අවස්ථාවක මාරාන්තික විය හැකියි. මොවුන් නිල් පැහැති හා පාරදෘෂ්‍ය නැතිනම් විනිවිද පෙනෙන නිසා මුහුදේ දී මේ සතුන් පැහැදිලිව හඳුනාගැනීම ඉතා අපහසු කාර්යයක්. 

නමුත් මියගිය සතුන්ගේ කොටස් වෙරළට ගසාගෙන ඇවිත් නිල් පැහැති කොටස් හැටියට දකින්න පුළුවන්. එවැනි නිල් පැහැති ජෙලිමය ස්වභාවයක් ගන්නා කොටස් මුහුදු වෙරළේ ඇත්නම් මුහුදු දියට බහින්න එපා. “

පරිසරවේදීන් පවසන්නේ ජෙලිෆිෂ් හෙවත් ලොඩියකු ලෙස හඳුන් වන්නේ එක් සතකු බවත් මේ එම රූපකාය දරණ සත්ත්ව සමූහයක් බැවින් මොවුන්ට ජෙලිෆිෂ් හෙවත් ලොඩියන්යැයි භාවිතා කිරීම වරදක් බවයි. 


 
 
 
 
 
 
 

 
 
 

0 comments:

Post a Comment