Pages

Subscribe:

Ads 468x60px

තවත් යුද්ධයක්‌ අවශ්‍ය වී ඇත - එවැනි යුද්ධයක්‌ නැතිවම බැරි හේතුව මෙන්න


ඇත්තම කතාව මෙසේය; මේ රටේ පෙණහලු පිළිකාවලට ප්‍රතිකාර කිරීමට සිගරට්‌ කොම්පැණිය ආණ්‌ඩුවට ගෙවන බදු ආදායම කොහෙත්ම ප්‍රමාණවත් නැත. එසේම, අරක්‌කු බී බොක්‌ක තම්බා ගන්නා පිරිමින්ට බෙහෙත් කිරීමට අරක්‌කුකාරයන් ආණ්‌ඩුවට ගෙවන බදු ආදායම කිසිසේත්ම ඇති වන්නේ නැත.

ජුලි මාසය යනු මත්ද්‍රව්‍ය නිවාරණ මාසයයි. ඒ නිමිත්තෙන් ඉකුත් බ්‍රහස්‌පතින්දා (9 දා) දිනය පුරා සිගරට්‌ සහ අරක්‌කු විකිණීම තහනම්

කරන ලදී. මුලදී සැළසුම් කර තිබුණේ මේ තහනම දින තුනක්‌ පුරා බලපැවැත් වීමටය. 

එහෙත් එවැනි තෙදින තහනමකින් රටට අහිමිවන බදු ආදායමෙහි සුවිශාලත්වය දුටු රාජ්‍ය ආදායම් ප්‍රධානීන් ඔලුවෙහි අත් ගසාගත් නිසා තෙදින තහනම එක්‌ දිනකට සීමාවූ බව දැන ගන්නට තිබේ. 

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙයට දින කිහිපයකට පෙර කිවූ වටිනා කතාවක්‌ සිහිපත් කරමු. වසර 2020 අයවැය දුම්වැටි බදු සහ අරක්‌කු බදු නැතිව තුලනය කළ යුතු බව ඔහු එදා කීවේය. කරන්නට බැරි වුවත් පුළුවන් වුවත් මේ කතාව පිටුපස තිබෙන පරමාර්ථය කොතරම් අගනේද?

මත්ද්‍රව්‍ය පිටුදැකීම සඳහා වන බහුවිධ වැඩපිළිවෙළක අවශ්‍යතාව ඉතා තදින් ඉහළ යමින් පවතී. මත්ද්‍රව්‍ය පිළිබඳ සමාජය දැනුවත් කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම ඒ වැඩපිළිවෙළට අයත් විය යුතු තෙවැදෑරුම් කාරණාය. 


අරක්‌කු, කසිප්පු සහ සිගරට්‌ බිස්‌නස්‌ එක ඉතා නරකය. ඒවායින් අක්‌මාව සහ පෙණහලු කුණුවන්නේමය. එහෙත් කුඩු බිස්‌නස්‌ එක ඒ බිස්‌නස්‌ දෙකටම වඩා හාර පන්සිය ගුණයක්‌ දරුණුය. 

ඒ මගින් අක්‌මාව සහ පෙණහලු පමණක්‌ නොව මොළය, ඇස්‌ ද, දිව ද, ශරීරාභ්‍යන්තරයේ ඇති සෙසු සියලු අංගෝපාංගයන් ද, කුඩු පාවිච්චි කරන එකාගේ මුළු පවුලද විනාශයට පත් වෙයි. 

අරක්‌කුකාරයාගේ පවුලත් විනාශ වන බව ඇත්ත. එහෙත් අරක්‌කු කාරයාගේ පවුලට අවුරුදු පහකින් වන විනාශය කුඩුකාරයාගේ පවුලට සිදුවන්නට ගතවන්නේ තුන් මාසයකි.

මත්ද්‍රව්‍ය ලංකාවට එන්නේ ගුවනින් සහ මහ මුහුදෙනි. ගුවනින් එන මත්ද්‍රව්‍ය ගුවන් මගීන්ගේ සාක්‌කුවල, සපත්තු තුළ යට ඇඳුම් අස්‌සේ, බහිස්‍රාවී පද්ධතිය තුළ යනාදී වශයෙන් කටුනායක ගුවන් තොටුපළ හරහා රට තුළට එයි. 


මේවායින් ඇල්ලීමට හැකි කොටස රේගුව විසින් අල්ලනු ලබන අතර ඇල්ලීමට බැරි කොටස රට තුළට එයි. සෙස්‌ස එන්නේ මහ සාගරය ඔස්‌සේය. කොටි යුද්ධය තිබූ කාලයේදී අපගේ සමුද්‍ර තීරය දිගේ නාවික හමුදාව පුරා පැය විසිහතරේම වැඩ කළ නිසා මුහුදින් එන මත්ද්‍රව්‍යවලට බාධා විය. අද යුද්ධයක්‌ නැති මේ සමයෙහි මුහුදු මාර්ගවලින් තොග පිටින් කුඩු එයි.

යුද්ධය අවසන් වී වසර හයක්‌ ගතවී තිබේ. මේ වනවිට තවත් යුද්ධයක්‌ අවශ්‍ය වී ඇත. ඒ වූකලී මත්ද්‍රව්‍ය නැසීම සඳහා වන යුද්ධයයි. රටේ ජාතියේ පුනරුදයට එවැනි යුද්ධයක්‌ නැතිවම බැරිය.

0 comments:

Post a Comment