Pages

Subscribe:

Ads 468x60px

නිට්‌ටඹුව සංඝබෝධි විදුහලේ පරිපාලනය අවුල් කරන ගුරුවරුන් වහාම මාරු කරන්න


නිට්‌ටඹුව සංඝබෝධි විද්‍යාලයේ පරිපාලනය අවුල් කරමින් ද ශිෂ්‍යාවන් හා ගුරුවරුන් භේද කරමින්ද දිගු කලක්‌ තිස්‌සේ විද්‍යාලයේ රැඳෙමින් සිටින ගුරුවරුන් තිදෙනකු හා ගුරුවරියක මාරු කරන ලෙසත් දැනට හිස්‌ව පවතින විදුහල්පති පුරප්පාඩුවට 'ඒ' ශ්‍රේණියේ විදුහල්පති හිමිනමක්‌ ලබාදෙන ලෙසත් ඉල්ලමින් විද්‍යාලයීය මාපිය සංවිධානය ප්‍රදේශවාසීන් හා ස්‌වාධීනව විද්‍යාලයට හිතෛෂී කණ්‌ඩායම් ඇතුළු දහසකට අධික
පිරිසක්‌ ඊයේ (15 වැනිදා) උදෑසන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

විරෝධතාකරුවන් පවසන්නේ අවුරුදු විස්‌සකට අධික කාලයක්‌ තිස්‌සේ දේශපාලන හා වෙනත් බලපෑම් මත විද්‍යාලයේ රැඳෙමින් පරිපාලනය අවුල් කරන ගුරු කණ්‌ඩායමක්‌ සිටිනා බවත් ඔවුන් පසුගිය කාලයක්‌ තිස්‌සේ විද්‍යාලය තුළ ඇතිවූ සිසු ගැටුම්වලට හේතුවූ බවත්ය. ඔවුන් විද්‍යාලයේ කීර්තිනාමය අභිමානය හා ගරුත්වය විනාශ කළ බවත්ය.

පාසලේ සිටි ''ඒ'' ශ්‍රේණියේ විදුහල්පති හිමිනම දැනට වැඩ තහනමකට ලක්‌ව සිටින බැවින් ඒ වෙනුවට ''ඒ'' ශ්‍රේණියේ විදුහල්පති හිමිනමක්‌ ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින පිරිස පාසලේ පසුගිය අවුරුදු විස්‌සක පමණ කාලයක සිට පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුමක්‌ සෙවීම සඳහා පාසල් සංවර්ධන සමිතිය කැඳවන ලෙස ඉල්ලීම් කළත් විද්‍යාලයේ වර්තමාන පාලනාධිකාරිය ඒ වෙනුවෙන් මෙතෙක්‌ ක්‍රියාමාර්ගයක්‌ නොගත් බවත් අද පාසලේ අර්බුදකාරී තත්ත්වයක්‌ පැවතියත් බලධාරීන් නිසි පියවරක්‌ නොගැනීම නිසා දරුවන් මාපියන් මෙන්ම ගුරු භවතුන්ද අපහසුතාවට පත්ව සිටිනා බවද ඉතාම යහපත් ගුරුවරුන් විද්‍යාලයේ සිටිද්දී ඔවුන්ට තම සේවය කරගෙන යැමට බාධක ඇති කරනා බවද අත්තනගල්ල කොට්‌ඨාස අධ්‍යාපන කාර්යාලයද දේශපාලන හා වෙනත් බලපෑම්මත විද්‍යාලයේ පරිපාලනය අවුල් කරනා පිරිසට විරුද්ධව ක්‍රියාකිරීමට මැලි බවත් දක්‌වන බවද විරෝධතාකරුවෝ පවසති.

දරුවන්ගේ නාමයෙන් විද්‍යාලයේ ගෞරවයට කීර්තිනාමයට හානිකරන ගුරුවරුන් සිවුදෙනා මාරුකොට ''ඒ'' ශ්‍රේණියේ විදුහල්පති හිමිනමක්‌ විද්‍යාලයට පත්කොට විද්‍යාලය තුළ දැනට අවුල්ව පවතින පරිපාලනය යහපත් තත්ත්වයට පත්කරන ලෙස ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා කඩිනම් පියවරක්‌ නොගතහොත් ඉදිරියේදී ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලය අභියස දැවැන්ත උද්ඝෝෂණයක්‌ පවත්වමින් විරෝධය පළකිරීමට කටයුතු කරන බවත් සංවිධායක මණ්‌ඩලය පවසයි.

0 comments:

Post a Comment