Pages

Subscribe:

Ads 468x60px

වසීම් තාජුදින්ගේ මරණය පිළිබඳ ප්‍රශ්න පහක්


1. තාජුදින්ගේ මරණය මෙතරම් මතභේදයට ලක් වූයේ කෙසේද ?

දක්ෂ රගර් ක්‍රීඩකයකු වූ වසීම් තාජුදින් 2012 වසරේ මැයි 17 වැනි දින අභිරහස් ලෙස මිය යාමත් සහ ඒ සම්බන්ධයෙන් රටේ ප්‍රභූවරයෙකුගේ පුත්‍රයෙකු දෙස සැකය එල්ල වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වූ නඩු විභාගය මහත් ආන්දෝලනයට තුඩු දී තිබේ.

වසර තුනකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් සිදු වූ බව පැවසූ මෙම මරණය පිළිබඳව නැවත පරීක්ෂණයක් කරන ලෙස වත්මන් රජය පෙබරවාරි 16 වැනිදා පොලිසියට නියෝග කළ අතර ඔවුන් එම

පරීක්ෂණයේ දී සොයා ගත්තේ වසීම් තාජුදින්ගේ මරණය හදිසි අනතුරක් නොව ඝාතනයක් බවයි.

2012 වසරේ නාරාහේන්පිට පාර්ක් වීදියේ සිය වාහනය තුළ වසීම් තාජුදින් මරා දමා තිබූ බවට සිද්ධිය සිදු වූ අවස්ථාවේදී ම සැක කෙරුණු නමුත් එය රිය අනතුරකින් සිදු වූ බවයි පොලිසිය දිගින් දිගටම එම අවස්ථාවේ දී අවධාරණය කළේ.

වසීම් තාජුදින්ගේ මරණය පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රබල මාතෘකාවක් බවට පත්ව තිබු අතර පසුගිය අවුරුදු තුනේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා එක්සත් ජාතික පක්ෂයේ රන්ජන් රාමනායක වැනි මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත විශාල හඬක් නගනු දක්නට ලැබිණි.

මෙම මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු නොවූ බවටත් වසීම් තාජුදින්ගේ හිතමිතුරන් පවා චෝදනා කළ අතර නව රජය බලයට පත්වීමෙන් පසුව මෙම පරීක්ෂණය ආරම්භ විය.


2. තාජුදින්ගේ දේහය ගොඩ ගැනීමට උසාවිය තීන්දු කළේ ඇයි ?

තාජුදීන් මරණයට පත් වීමට පෙර පහර දීමකට ලක්ව ඉළ ඇට බිඳී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණ වී ඇති බව රහස් පොලිසිය අධිකරණය හමුවේ ජුලි මස 27 වැනිදා ප්‍රකාශයට පත් කළ අතර මෙය මිනීමැරුමක් බවට විශ්වාස කල හැකි සාධක හමුව ඇති බවයි ඔවුන් එදින අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

මේ අතර පසුගිය සති අන්තයේ තාජුදින්ගේ දේහය ගොඩ ගැනීමට සුදානමක් ඇති බවට එහි පළ වුයේ ඔහුගේ දේහය තැන්පත් කර ඇති දෙහිවල මුස්ලිම් සුසාන භූමියට පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු යොදා තිබීමත් සමගයි.

ඒ අනුව ඊයේ දින රහස් පොලිසිය මේ සදහා අධිකරණයේ අවසරය පැතූ අතර අද දිනයේ දී එය ලබන සඳුදා දින සිදු කිරීමට ඔවුන්ට අධිකරණයෙන් අවසර හිමි විණි.

මෙම දේහය ගොඩ ගැනීමෙන් දැනට සොයා ගෙන ඇති කරුණු තහවුරු කර ගැනීමට හැකි වනු ඇති බවයි පොලිසිය විශ්වාස කරන්නේ.


3. ඔහුගේ මරණයෙන් පසු ප්‍රකාශයට පත් වූයේ මොනවාද?

සිද්ධිය සිදුවූ අවස්ථාවේදී එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය දරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ තරයේ ප්‍රකාශ කර සිටියේ මෙම මරණය වේගයෙන් රිය පැදවීම නිසා සිදුවූ රිය අනතුරක් බවයි.

ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් මතු කළ සැක සංකා පොලිසිය ප්‍රතික්ෂේප කළේ එය මිනීමැරුමක් නොවන බවට පොලිසියට තහවුරු වී ඇති බව පවසමින්.

මරණයට පත්වූ වසීම්ගේ මුදල් පසුම්බිය එම ස්ථානයට කිලෝමීටර් 1.5ක දුරකින් දින කිහිපයකට පසු හමුවුවත් පොලිසිය ඒ ගැන පරීක්ෂණ කිරීමට උත්සුක නොවීම මෙම මරණයට දේශපාලන ප්‍රභූවරයෙකුගේ සම්බන්ධතාව තහවුරු කරන කාරණයක් බව ඇතැම් විපක්ෂයේ දේශපාලනඥයන් එවකට ප්‍රකාශ කල නමුත් ඒ පිළිබඳව මාධ්‍යවල මෙන්ම ජනතාවගේ වැඩි අවධානයක් යොමු නොවිණි.


4 පොලිස් වාර්තා කියන්නේ කුමක්ද?

ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා අලුයම නාරාහේන්පිට නගරයේ දී සිදුවූ හදිසි අනතුරකින් තාජුදින් මිය ගිය බව මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබූ බවයි පොලිස් වාර්තාවලින් සඳහන් වුයේ. තාජුදින්ගේ මරණය සිදුවූ ආකාරය හෙළි කර ගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂක වාර්තාවක් ද කැඳවා තිබු අතර සිද්ධිය වී වසර 2 1/2 ක කාලයකින්‌ පසුවයි එම රස පරීක්ෂක වාර්තාව ලබා දීමට කටයුතු කර තිබුණේ.

රහස් පොලිසියේ නව වාර්තාවලට අනුව තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා සහ රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ වාර්තා පරස්පරය.

ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වෙන බව වාර්තාවේ.

තාජුදින්ගේ මරණය සිදුවීමට පෙර පහර දීමකට ලක්ව ඉල ඇට බිඳී හිංසාවට ලක්ව ඇති බවයි නවතම රහස් පොලිස් වාර්තා සඳහන් කරන්නේ.


5 තාජුදින් කියන්නේ කවුද?

ශාන්ත තෝමස්‌ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ තාජුදින් දක්‍ෂ රගර් ක්‍රීඩකයකු ලෙස ප්‍රසිද්ධව සිටියේය.

2008 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්‌ඩායම නියෝජනය කළ ඔහු 2009 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රගර් ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගෙන තිබු ඔහු ප්‍රසිද්ධ රගර් ක්‍රීඩා සමාජ කිහිපයක්ම නියෝජනය කළේය.

තාජුදින්ගේ පවුලේ සාමාජිකයෝ හා හිතමිතුරෝ ප්‍රසිද්ධියේ ඔහුගේ ඝාතනය ගැන කතා කිරීමෙන් වැළකී සිටි නමුත් ඔහුගේ නමින් සමාජ සත්කාර රැසක් පසුගිය කාලයේ සිදු කළහ.

ඔහුගේ මිතුරන් විසින් පිහිටුවා ගත් වසීම් තාජුදින් පදනම එයට එක් උදාහරණයකි.

ඔහු සමග රගර් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් එක්ව ඔහුව සිහි කිරීම සදහා වසීම් තාජුදීන් අනුස්මරණ කුසලාන රගර් තරගාවලියක් පසුගිය වසරේ ආරම්භ කෙරිණි.

එම තරගාවලිය දෙවන වරට මෙම සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

0 comments:

Post a Comment