Pages

Subscribe:

Ads 468x60px

අපි හිතුවෙ දුව එයාගෙ ආච්චිගෙ කාමරේට යන්න ඇති කියලා - සඳෙව්මි මව කියයි..

රාත්‍රී රූපවාහිනිය බලමින් සිටි දුවට පුටුව උඩම නින්දගොස්‌ තිබුණා. මා ඔසවාගෙන ගොස්‌ ඇඳෙන් තියපු මගේ දුවට මේ මොකද වුණේ යෑයි බඩල්ගම අකරන්ගහ ප්‍රදේශයේ නිවසකින් අතුරුදන්ව සිටියදී මළසිරුර හමුවූ පස්‌ හැවිරිදි දියණියගේ වියෝව දරා ගත නොහැකිව ඇගේ මව වූ සමන්ති රේණුකා (අවු.37) මහත්මිය විලාප නගන්නීය.

බඩල්ගම අකරන්ගහ අරවින්ද වත්තට මායිම්ව ඕතර වෙල්යායේ ඇළ ඉවුරක තිබීයදී (13දා) ඩී. සේයා සඳෙව්මි දැරියගේ සිරුර හමුවී තිබුණි. සඳෙව්මිගේ මව වැඩිදුරටත් මෙසේද කියා සිටියාය. 


අම්මයි තාත්තයි 11 වැනිදා රාත්‍රි 7 ට විතර මළ ගෙදරක ගියා. මහත්තයා වෑන් එකේ ගාමන්ට්‌ ළමයින්ගේ හයර් එක ගිහින් තිබුණා. මමත් පුතත්
දුවලා දෙන්නත් රෑට කාලා ටී. වී. බැලුවා.

ටී. වී. බලමින් ඉන්න අතරේ ළමයි තුන්දෙනාට වරින් වර පුටු උඩ නින්ද ගියා. මම එක එක්‌කෙනාව සැරෙන් සැරේ ඇඳ උඩින් ගිහින් තියලා මමත් නිදාගත්තා. තාත්තලා මළගෙදර ගිහින් රාත්‍රී 10.45 ට ආවත් මම ඇහැරිලා එළියට ආවේ නැහැ. 


නිවසේ ආරක්‍ෂිත ස්‌ථානයක දොර අරින්න තවත් යතුරක්‌ තියෙනවා. මහත්තයා රෑ 12.00 ට විතර වෑන් එකේ ගෙදර ආවා. ඒ වෙලාවේ දුව ඇඳේ හිටියේ නැහැ. අපි හිතුවේ දුව එයාගේ ආච්චිගේ කාමරයට යන්න ඇති කියා.

වෙනදාටත් රෑට ඇහැරුණාම එයා කොට්‌ටයත් අරන් ආච්චි ගාවට යනවා. අපි නිදාගෙන උදේ මම ඇහැරිලා කුස්‌සියට ගිහින් ඉන්න කොට තාත්තා ඇහැව්වා දුව කෝ කියා. මම කිව්වා දුව හිටියේ ඔයාලගේ කාමරයේ නෙමේද කියා. එවිට තමයි දුව නිවස තුළ නැති බව දැනගත්තේ.

රෑ කිසිම ශබ්දයක්‌ ඇසුණේ නැහැ. ගෙදර බල්ලා පාරේ කවුරුහරි ගියත් බුරනවා. බල්ලා බිරුවේවත් නැහැ. අප ඇතුළු දරුවන් නිදාගන්නා කාමරේ ජනේලයක්‌ තියෙනවා. එම ජනේලයේ පියන් තුනෙන් එක පියනකට ග්‍රිල් නැහැ. 


ඒ ජනේලයෙන් මගේ දුවව හොරු අරන් යන්න ඇති. ලබන අවුරුද්දේ පාසල් යන්න ඉන්න මගේ දුවගේ උපන් දිනය ලබන 16 වැනිදා. උපන් දිනය වෙනුවට අපිට සමරන්න වෙලා තියෙන්නේ සහගහන අපරාධයක සිද්ධියක්‌.

දැරිය නිදා සිටි කාමරයේ ජනේලයේ එක්‌ පියනක පමණක්‌ ගි්‍රල් එක නැතිවීමට හේතු වී ඇත්තේ නිවසේ ප්‍රධාන දොරේ යතුර නැතිවූ අවස්‌ථාවක නිවසට ඇතුළු වීමට එම ගි්‍රල් එක ඉවත් කිරීම නිසායෑයි පොලිස්‌පරීක්‍ෂණ වලදී අනාවරණයවී ඇත. මේ බව ඊයේ (13දා) පොලිසිය විසින් මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් සිසිර විඡේසූරිය මහතාට දැනුම්දී ඇත.


මහ රෑ නිවසින් අතුරුදන් වූ දැරියගේ සිරුර ඇළ ඉවුරක ජනේලෙන් පැනලා මගේ දුව ගෙන යන්න ඇති - අම්මා වැළපෙයි

පාරෙ කවුරු ගියත් බුරන බල්ලා එදා බිරුවෙත් නෑ...

කොටදෙණියාව ප්‍රදේශයේ නිවසකින් අතුරුදන් වූ පස්‌ හැවිරිදි සිඟිති දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ පිහිටි වතුයායක ඇළ ඉවුරක තිබී (13 වැනිදා) උදේ සොයාගත් බව කොටදෙනියාව පොලිසිය කියයි. දැරිය අමානුෂික අයුරින් මරා දමන්නට ඇතැයි සැක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

මෙලෙස අමානුෂික අන්දමින් මරා දමා ඇත්තේ කොටදෙනියාව බඩල්ගම අකරත්ගහ පදිංචිව සිටි සේයා සදෙව්මිණි නමැති සිඟිති දැරියකි.

ඝාතනයට ලක්‌ වූ දැරියගේ පියා පාසල් ගුරුවරයකුව පාසලක සේවය කරමින් සිටියදී ළමා අපචාර සිද්ධියකට අදාළව රිමාන්ඩ් භාරයේ සිට පැමිණි අයකු බවත් හෙළවිණැයි පොලිසිය කියයි.

මෙයට පළිගැනීමක්‌ ලෙස අතවරයට ලක්‌වූ දරුවාගේ පාර්ශ්වයේ පිරිසක්‌ විසින් මෙම අපරාධය සිදුකළේද, එසේත් නොමැති නම් වෙනත් සිද්ධියකට සම්බන්ධව මෙම දැරිය මරා දැමුවේද? යන්න සම්බන්ධයෙන් පැති කීපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ සිදුකරන බව ද පොලිසිය කියයි.

11 වැනිදා රාත්‍රි දැරියගේ පියා සිය රථයෙන් කුලී ගමනක්‌ ගොස්‌ නිවසට පැමිණ සිය බිරියගෙන් දරුවා ගැන විමසා තිබේ. එවිට බිරිය දරුවා මිත්තනිය සමඟ කාමරේ නිදා සිටින බව පවසා ඇත. 


අනතුරුව මෙම යුවළ නින්දට ගොස්‌ ඇති අතර පසුදා අවදි වී බලන විට සිය දියණිය අතුරුදන් වී සිටිනු දැක තිබේ. ඒ අනුව ඔවුන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ අරඹා ඇත.

ගම්පහ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාගේ උපදෙස්‌ අනුව පෙරේදා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ මේ සම්බන්ධව පරීක්‍ෂණ අරඹා තිබේ. ඔවුන් පොලිස්‌ නිල සුනඛයන් ද යොදවා කොටදෙනියාව ප්‍රදේශයේ මෙහෙයුමක්‌ ද ක්‍රියාත්මක කර තිබිණි.

මෙම මෙහෙයුම ඊයේ දවස පුරා ක්‍රියාත්මක කළ ද දැරිය ගැන කිසිදු හෝඩුවාවක්‌ දැනගන්නට නොලැබුණි. කෙසේ වෙතත් ඊයේ වෙල්යාය අසලින් ගමන් ගත් පිරිසක්‌ දැරියගේ සිරුර දැක කරන ලද දැනුම් දීමකට අනුව පොලිසිය එම සිරුර සොයාගන්නා ලදී.

දැරියගේ මරණයට නිශ්චිත හේතුව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිකරගත හැකි බව පොලිසිය පවසයි. ඝාතනයට අදාළව මෙතෙක්‌ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.
 

ඝාතකයන් කඩිනමින් කොටු කර ගන්නවා

බඩල්ගම අකරන්ගහ ප්‍රදේශයේ නිවසක නිදා සිටියදී අතුරුදන් වූ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඉතාම වැදගත් භෞතික සාක්‍ෂි රැසක්‌ සොයා ගැනීමට පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ කණ්‌ඩායම්වලට හැකිව ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

එම භෞතික සාක්‍ෂි ඔස්‌සේ ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් පැවත්වෙන පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු ඝාතන සැකකරු කොටුකර ගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්‍ෂණයකට යොමු වීමටද පොලිසිය තීරණය කර තිබේ.

මේ අනුව ඉතා කඩිනමින් දැරියගේ ඝාතනයට සම්බන්ධ ඝාතකයන් හෝ ඝාතකයා කොටු කර ගැනීමට හැකි වනු ඇතැයිද ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය. පොලිස්‌පතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ

මෙම දැරිය ඉකුත් එකොළොස්‌ වැනිදා රාත්‍රී නිවසේ කාමරයක නිදා සිටියදී අතුරුදන් වූ අතර (13 වැනිදා) නිවසට අසන්න ඇළපාරක තිබී ඝාතනය කෙරුණු බවට සැක කරන ඇගේ මළ සිරුර පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

දැරිය ඝාතනය වීමට පෙර බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ව ඇති බවටද පොලිසිය සැක කරයි. 


"සේයා" මැරූ අපරාධකරුවන්ට මරණ දඬුවම දිය යුතුයි

බඩල්ගම අකරන්ගහ ප්‍රදේශයේදී පස්‌ හැවිරිදි සේයා සදෙව්මි දැරිය සාහසික ලෙස මරා දැමූ අපරාධකරුවන්ට අනිවාර්යෙන්ම මරණ දඬුවම දියයුතු බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවැසීය.

දැරියගේ දේහය තිබූ ස්‌ථානයට (13 වැනිදා) පැමිණි නියෝජ්‍ය ඇමැතිවරයා දැරියගේ දෙමාපියන්, ඥතීන් හා ප්‍රදේශවාසීන් හමුවී සිද්ධිය පිළිබඳව සොයා බැලීය.

එහිදී ඇමැතිවරයා කියා සිටියේ මෙවැනි නින්දිත අපරාධ විශේෂයෙන්ම ළමයින් විනාශ කරනු ලබන අපරාධකරුවන්ට මුස්‌ලිම් නීතිය වැනි ප්‍රබල නීතියක්‌ ඔස්‌සේ දියහැකි උපරිම දඬුවම් ලබාදිය යුතු බවයි.

මෙවැනි අපරාධකරුවන් වෙනුවෙන් නීතිඥයන් පෙනී නොසිටිය යුතු බවද නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය. කිසිවකුට වරදක්‌ නැති ළමයෙකුට කරන ලද මෙම අපරාධය අතිශය පිළිකුලෙන් හෙළා දකින බවත් ඒ තුළින් දිවුලපිටිය ප්‍රදේශයට ඇතිවුන කලුපැල්ලම ගැන තමා අතිශය කනගාටුවන බවත් මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් රන්ජන් රාමනායක මහතා අවධාරණය කළේය.

පොලිස්‌ පරීක්‍ෂණ පිළිබඳ අතිශයින් සතුටුවන බවත් සඳහන් කළ රාමනායක මහතා මෙවැනි අපරාධකරුවන්ට අනිවාර්යයෙන්ම මරණ දඬුවම දියයුතු බවත් එහිදී දැඩිව කියා සිටියේය.

0 comments:

Post a Comment