Pages

Subscribe:

Ads 468x60px

'සේයා සදෙව්මිණි'ගේ මරුවන්ව උල තියමුද...?

දරුවන් මල් වැනිය. මල් කැකුළු තළා පොඩි කර දැමිය හැක්කේ නරුමයන්ට පමණි. එහෙත් එවැනි මිනිස් වෙස් ගත් තිරිසන්නු මේ සමාජයේ සිටිති. ලෝකයේ කොතැනත් මෙවැනි අපරාධ සිදුවෙයි. 

එහෙත් දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ලෝකයේ බොහෝ රටවල් දැඩි අවධානය යොමු කර ඇත. අපේ රටේ නැත්තේද දරුවන් කෙරෙහි තිබිය යුතු ඒඅවධානයයි. මවුපියන්ගේ සිට පාලකයන් දක්වාවූ සියලු දෙනා අපේ දරු පරපුරට අත්ව ඇති ඉරණමට අඩු - වැඩි වශයෙන් වගකිව යුතුය.

කොටදෙණියාව, බඩල්ගම - අකරන්ගහ ප්‍රදේශයේ නිවෙසක නිදි ඇඳේ සිටියදී ඉකුත් 11 වැනිදා රාත්‍රියේ අතුරුදන් වූ සේයා සඳෙව්මි නමැති පස්

හැවිරිදි දැරිය ගෙල සිරකර මරා දමා තිබියදී 13 වැනිදා පොලිසියට හමුවී තිබිණි. 

හත් හැවිරිදි සිය සහෝදරයා සහ දෙහැවිරිදි නැඟණිය සමඟ ඇය රාත්‍රියේ නිදාගෙන සිට ඇත්තේ අනාරක්ෂිත ජනේලයක් සහිත කාමරයකය. මවුපියන් නින්දට ගොස් ඇත්තේ දරුවන්ගේ ආරක්ෂාව ගැන එතරම් තැකීමක් නොකරය. 

දරුවන් හදිසි අනතුරුවලට ලක්වීම මේ සමාජයේ සුලබය. ඒ හැරුණු කොට පැහැරගෙන යෑම්, අපයෝජන කිරීම් හා ඝාතන බහුල වෙමින් පවතී. දරුවකු පැහැරගෙන ගොස් ඇති බව දැනගත් විට සංවේදී සිතැත්තෝ කම්පනයට පත්වෙති. 

දරුවා නිරුපද්‍රිතව හමුවේ යැයි සිතති. දරුවා යළි හමුවුවහොත් සතුටු වන්නෝ මළ සිරුර හමුවුවහොත් අපරාධය කළ වුන්ට දෙස් දෙවොල් තබති. දරුවා මරා දැමීමට පෙර අපයෝජනය කර ඇත්නම් ඔවුන්ට ශාප කරති.

සිය පස් වැනි උපන් දිනය ලබන 16 වැනිදා එනම්, හෙට සැමරීමට සූදානමින් සිටි සේයා සඳෙව්මි දැරියගේ ඛේදජනක මරණය මේ සමාජයේ ජීවත් වන ශිෂ්ට සම්පන්න ගැහැනුගේ හා මිනිස්සුන්ගේ සංවේදී සිත් කම්පාවටත් වේදනාවටත් පත් කර ඇත. 


මෙවැනි කාලකණ්ණි සිදුවීම්වලින් පසු ඒ සියලුදෙනා යළි කිසිදු දිනෙක මෙවැනි දේ අසන්නට, දකින්නට නොලැබේවායි ප්‍රාර්ථනා කරති. දරුවන්ට රැකවරණය සලසන්නැයි, ඇදහිලිවන්තයෝ දෙවියන් යදිති. එහෙත් හද පෑරෙන එවැනි සිද්ධි යළි යළිත් සිදුවේ.

සේයා සඳෙව්මි දැරිය ගෙල සිර කර මරා දමා ඇත්තේ දරුණු ලෙස ලිංගික අතවර කිරීමෙන් අනතුරුවය. නරුමයකු නොවන කිසිවකුට මේ අපරාධය දරාගත නොහැකිය. මේ ම්ලේච්ඡ, තුච්ඡ, තිරිසන් ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට හෝ පිරිසට කිසිදු සමාවක් දිය නොහැකිය. 


යාපනයේ පාසල් යුවතියක්ව සමූහ දූෂණයට ලක් කළ තිරිසනුන්ව නීතියේ රැහැනට හසු කර ගත් ආකාරයට 'සේයා' දැරියගේ සැකකරුවන්ද වහා අල්ලා ගෙන නීතිය හමුවට කැඳවා දඬුවම් දිය යුතුය.

ප්‍රශ්නය වන්නේ ස්ත්‍රී දූෂණවලට හා ළමා අපචාරවලට දෙන 'දඬුවම්' ප්‍රමාණවත් නොවීමය. විශේෂයෙන් දරුවන් අපයෝජනය කරන්නන්ට හා ඝාතනය කරන්නන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිණවීම සඳහා නව නීති පැනවිය යුතුය. දරුවන්ට සම්බන්ධ අපරාධවලදී කඩිනමින් නඩු අසා වැරැදිකරුවන්ට දඬුවම් දීමට විශේෂ අධිකරණ පිහිටුවීම අත්‍යවශ්‍යය. 


ළමා අපයෝජන සිද්ධි දිනෙන් දින ඉහළ යෑම නිසා 'රාජපක්ෂ ආණ්ඩුව' දරුවන් වෙනුවෙන් වෙනම අධිකරණ පිහිටුවීම ගැන කතා කළද අවසාන යේ ඒ කතා සුළඟේ ගියේය. අලුත් ආණ්ඩුවක් රට පාලනය කරන නිසා පැරැණි කතාවල එල්ලී සිට පලක් නැත. මෛත්‍රි - රනිල් ආණ්ඩුව කළ යුතුදේ වහාම කිරීමට කටයුතු කළ යුතුය.

වැරැදිකරුවන්ට ගල් ගසා මරා දැමීමෙන් අපරාධ මැඬ පැවැත්විය නොහැකිය. එහෙත් 'වැරැදිකරුවන්' එල්ලා මැරිය යුතු යැයි බහුතර මතය වී ඇත. සේයා දැරියගේ ඛේදජනක මරණය දකින විට අපරාධකරුවන්ට රජ කාලේ දඬුවම් දුන්නද සිත් නොවදින්නේ යැයි නොසිතුණහොත් පුදුමයකි. 


ගැහැනියක හෝ මිනිසකු අපරාධයකට ගොදුරු කර ගැනීමට වඩා දරුවකු ඊට ගොදුරු කර ගැනීම අහස - පොළොව නුහුලන්නකි. එවැනි අපරාධ 'ඡායාරූප' පළකරමින් උත්කර්ෂයට නංවන ඊනියා මාධ්‍යද අපරාධ කරුවන් හා සමතැන් ගන්නා බව කිව යුතුය.

අසල්වැසි ඉන්දියාව පවා මෙවැනි අපරාධවලදී රූපරාමු පාවිච්චි නොකිරීමට පරිස්සම් වන අතර අපරාධයට ලක්වූ දරුවාගේ හෝ කාන්තාවගේ 'නම' හෝ ප්‍රසිද්ධ කරන්නේ නැත. 


එහෙත් මේ රටේ ඇතැම් මාධ්‍යකරුවෝ ඒ කිසිවකින් ඉගෙන ගන්නා පාටක් නැත. අපේ ඇතැමුන්ට 'අන්තර්ජාලය' වඳුරන්ට හසුවූ දැලි පිහියකි. එහෙත් ඉන් කැපී යන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ යහගුණ බව මේ 'වඳුරෝ' නොදනිති.

අපරාධකරුවන් එල්ලා මරා දැමිය යුතු යැයි කීමට හදිස්සි නොවී මෙතරම් බණ කියන බණ අහන රටක එවැනි තිරිසන්නු බිහිවීමට හේතුව ගැඹුරින් විමසා බැලිය යුතුය. 'නීතිය' වල්වැදී 'විනය' බිඳ වැටුණු විට ජන සමාජයත් අයාලේ යෑම නොවැළැක්විය හැකිය. 


මේ සමාජය කලෙක සිට ගමන් කරමින් සිටින්නේ එවැනි ගමනකය. 'සේයා' දැරිය ඊට හසුවී තැළී පොඩිවී ගිය තවත් එක් මල් කැකුළක් පමණි.

0 comments:

Post a Comment