Pages

Subscribe:

Ads 468x60px

පොලිසිය, ජනතාව හා මාධ්‍යයේ වගකීම


'සේයා'ට අතවර කර මරා දැමූ මිනීමරුවන් එල්ලා මරන ලෙස ඉල්ලමින් රට පුරා උද්ඝෝෂණ පැවැත්වෙන අතර වාරේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා 17 හැවිරිදි පාසල් සිසුවකු හා තවත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

සේයා දැරියගේ පවුලේ මිතුරකු වූ පාසල් සිසුවා ගම්පහ ප්‍රසිද්ධ පාසලක වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටියේය. ඔහු භාවිත කළ පරිගණකයේ අතිශය අසභ්‍ය රූප තිබුණු බවද ගංජා පානයට ඇබ්බැහි
වූවකු බවද පොලිසිය උපුටා දක්වමින් 'මාධ්‍ය' ඉහළින්ම වාර්තා කර තිබිණි. ඇතැම් පෞද්ගලික මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාල මෙහිදී ප්‍රමුඛයෝ විය. 

එහෙත් සිසුවාගේ ඩී.එන්.ඒ. (ච්.ව්.ඒ.) වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ 'දැරියට' අතවර කර මරා දැමීමට 'සිසුවාගේ' කිසිදු සම්බන්ධයක් නැති බවය. ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයාද ඩී.එන්.ඒ. වාර්තාවට අනුව නිර්දෝෂ වී තිබේ.

මේ වන විට තවත් සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු තරුණියකගේ මළ මිනියකට ද අතවර කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකි. සැකකාර පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීම ඉහළින් වාර්තා කළ 'මාධ්‍ය', මේ සැකකරුවා හඳුන්වා දී ඇත්තේ දැරියගේ ඝාතනයේ 'සැබෑ' සැකකරුවා ලෙසිනි. 


පොලිසියේ රාජකාරිය, සැකකටයුතු පුද්ගලයකු වේ නම් ඔහු හෝ ඇය අත්අඩංගුවට ගැනීමය. එහි වරදක් නැත. එහෙත් මාධ්‍ය මේ අත්අඩංගුවට ගැනීම් වාර්තා කරන්නේ කිසිදු වග විභාගයකින් තොරව අතින්ද කරුණු දමා රස කරමිනි. මෙය බරපතළ කාරණයකි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිසුවා නිර්දෝෂී යැයි කියා නිදහස් කළද 'දැරියගේ ඝාතකයා' ලෙස ඔහුට ඇලවූ ලේබලය පහසුවෙන් ගලවා දැමිය නොහැකිය. 


විශේෂයෙන් මෙවැනි ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවකු සැකකරුවකු ලෙසින් අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය වඩාත් පරෙස්සම් විය යුතුව තිබිණි. මන්ද ප්‍රශ්න කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගැනීම ළාබාල පාසල් සිසුවකුගේ අනාගතයට අතිශය අහිතකර ලෙස බලපෑම නොවැළැක්විය හැකි බැවිනි.

පොලිසියටත් වඩා 'මාධ්‍ය' වගකීමෙන් කටයුතු කළ යුතුව තිබුණද විශේෂයෙන් ඇතැම් සමාජ මාධ්‍ය (වෙබ් අඩවි) හා ඇතැම් පෞද්ගලික මාධ්‍ය, සේයා දැරියගේ සිද්ධියේදී පමණක් නොව 'විද්‍යා' දැරියගේ සිද්ධියේදීත් 'හැසිරුණු' ආකාරය අතිශය ලජ්ජාසහගතය. 


කිසිසේත් සදාචාර සම්පන්න නැත. සමාජයීය වගකීම හා වෘත්තීය වගකීම යන දෙකම ඔවුහු එහිදී නොතැකූහ. ජනතාව ආවේගශීලීව හැසිරුණද මාධ්‍ය කළ යුත්තේ ඒ ආවේගය කළමනාකරණය කිරීමට උත්සාහ දැරීම මිස ඒ ආවේගයන්ට සරිලන ආකාරයෙන් මාධ්‍ය මෙහෙයවීම නොවේ.

දැරියගේ ඝාතකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ පවත්වමින් සිටියදීත් ජනතාව රට පුරා තැන තැන ඝාතකයන් අත් අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බල කරමින් උද්ඝෝෂණ කිරීමෙන් පලක් නැත. පොලිස් පරීක්ෂණ අඩාල වී ඇත්නම් හෝ ඒ පරීක්ෂණවලට 'දේශපාලන' බලපෑම් එල්ල වී ඇත්නම් හෝ උද්ඝෝෂණය කිරීම සාධාරණය. එහෙත් එවැනි කිසිවක් සිදුවී නැති පසුබිමක මේ උද්ඝෝෂණ මිනිස් පැය අපතේ හැරීමකි.


අනෙක් පැත්තෙන් 'අපරාධකරුවන්' ට 'මනාප' ලබා නොදෙන ලෙස කට කැඩෙන තුරු කියුවද අපරාධකරුවන්, දූෂකයන් මනාප ලැයිස්තුවේ ඉහළටම ඔසවා තබා පාර්ලිමේන්තුවට එවූ ජනතාව අපරාධකරුවන්ට, දූෂකයන්ට එරෙහිව උද්ඝෝෂණය කිරීම හාස්‍යජනකය. මාධ්‍ය කළ යුත්තේ මේ ඊනියා උද්ඝෝෂණ ඉහළින් වාර්තා කරමින් 'භාවාතිෂය' මාධ්‍යකරණයක නිරත වීම නොවේ.

දැරිය ඝාතනයේ සැකය ඇගේ පියා වෙතද එල්ල කිරීමට ඇතැම් සමාජ මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍ය විශාල වැඩ කොටසක් කළ අතර පියාගේ ජීවිතය පවා ඉන් අනතුරට ලක් කෙරිණි. දැරියගේ අසල්වාසියකු වූ පාසල් සිසුවාටද අත්වූ ඉරණමද ඊට දෙවැනි නොවේ. 


දෙදෙනෙක් එකවර අත්අඩංගුවට ගත්තද මාධ්‍ය දඩයමට හසුවූයේ පාසල් සිසුවාය. අනෙක් පුද්ගලයා ගැන වැඩිමනත් තොරතුරු හෙළි නොවීය. අනෙක පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීමට දුන් 'තැන' ඔහුව නි‍ෙදාස්කොට නිදහස් කිරීමේ පුවතට මාධ්‍ය මගින් ලබාදුන්නේ නැත.

පොලිසියද මාධ්‍යයද 'සේයා'ගේ සිද්ධියේදී පමණක් නොව මෙවැනි අනෙක් සිද්ධින්වලදී ද මීට වඩා වගකීමෙන් මෙන්ම සංයමයෙන් කටයුතු කළ යුතුව තිබේ. ආවේගශීලීව 'ජනතාව' හැසිරුණද පොලිසිය සහ මාධ්‍ය ජනතාවගේම කොටසක් විය යුතු නැත. පොලිසිය හා මාධ්‍ය සිටිය යුත්තේ ජනතාවට ඉදිරියෙන් මිස පිටුපසින් නොවේ.

0 comments:

Post a Comment