Pages

Subscribe:

Ads 468x60px

ගම්පහ නයිවල ව්‍යාපාරිකයා - බිරිඳ හා දියණිය අභිරහස්‌ ලෙස මරා දමලා - වාහනය අතුරුදන්


ගම්පහ නයිවල ගල්පොත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි ධනවත් ව්‍යාපාරිකයකු, ඔහුගේ බිරිඳ සහ සිව් හැවිරිදි දියණිය අභිරහස්‌ ලෙස ඝාතනය කර තිබියදී ඔවුන්ගේ සිරුරු පොලිසිය මගින් ඊයේ (10 දා) දහවල් සොයාගෙන ඇත.

මීට දින දහයකට පමණ පෙර එම ඝාතන සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මළ සිරුරු සොයා ගන්නා අවස්‌ථාව වන විට ඒවා දැඩි ලෙස නරක්‌ වී තිබී ඇත. ව්‍යාපාරිකයාගේ සහ ඔහුගේ බිරියගේ සිරුරු නිවස

තුළ තිබූ අතර සිව් හැවිරිදි දියණියගේ සිරුර හමුවී ඇත්තේ නිවසේ පිටුපස ළිඳේ ගිල්වා තිබියදීය.

මෙම ව්‍යාපාරිකයා ගොවිපළක්‌ පවත්වගෙන යන අතර අක්‌කර හයක විශාල ඉඩමේ පිහිටි පැරැණි නිවසක ඔහු සිය බිරිය හා දරුවා සමග පදිංචිව සිට ඇත. මෙම ගොවිපළේ කලක්‌ සේවය කරමින් සිටි යුද හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයා මේ වන විට අතුරුදන්ව ඇති අතර මෙම ඝාතනයන්ට ඔහු සම්බන්ධ බවට පොලිසිය සැක පහළ කරයි.

ව්‍යාපාරිකයා සතුව තිබූ "බට්‌ටා" වර්ගයේ ලොරියද අතුරුදන්ව ඇත. එය සැකකරු රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි. කුකුල් මස්‌ මිලදී ගැනීමට ඊයේ (10 දා) පෙරවරුවේ මෙම ගොවිපළ වෙත පුද්ගලයකු පැමිණ ඇත. නිවස තුළින් දැඩි දුඟඳක්‌ වහනය වීම නිසා ඔහු ඒ පිළිබඳ පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත. 


ඒ අනුව එහි ගිය ගම්පහ පොලිසියේ නිලධාරීන් නිවසේ තිබූ මළ සිරුරු සොයාගෙන ඇත. ඝාතනයට ලක්‌ව ඇත්තේ පනස්‌ දෙහැවිරිදි සමන්ත හා හතළිස්‌ හත් හැවිරිදි ඔහුගේ බිරිය වූ චන්ද්‍රලතා සහ සිව් හැවිරිදි දියණිය බවට හඳුනාගෙන ඇත.

සිව් හැවිරිදි දියණිය පැළඳ සිටි රන් මාලයක කොටසක්‌ සහ පෙන්ඩනය නිවසේ ගරාජය තුළ වැටී තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. නිවසින් අතුරුදන්වූ පුද්ගලයාගේ හැඳුනුම්පත සහ දුරකථන අංකය පොලිසිය විසින් සොයාගෙන ඇත. 


පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ කරගෙන යයි. පසුගිය ජනවාරි මාසයේදී වෙන්නප්පුව ප්‍රදේශයේ කොහු මෝල් හිමි ව්‍යාපාරිකයකු ඔහුගේ බිරිය හා දරුවන් දෙදෙනාද මේ ආකාරයටම ඝාතනය කර තිබිණි. 

එම ඝාතනය කළේද කොහු කම්හලේ මුරකරු ලෙස සේවය කළ පුද්ගලයා බව පසුව අනාවරණය විය. මළ සිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා යොමුකර ඇත.

බස්‌නාහිර උතුර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අදිකාරි වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් ගම්පහ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

0 comments:

Post a Comment