Pages

Subscribe:

Ads 468x60px

කෝටි 12 1/2 ක අල්ලස - රේගුවේ තිදෙනා රිමාන්ඩ්

රුපියල් කෝටි 12 1/2 ක අල්ලස්‌ මුදලක්‌ ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (16 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ රේගු නිලධාරීන් තිදෙනා ලබන 30 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග දීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු සහ රේගු නිලධාරීන් තිදෙනා වෙත අල්ලස්‌ ලෙස ලබාදීම සඳහා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් යොදාගත් රුපියල් කෝටි 12 1/2 මුදල රුපියල් පන්දහසේ නෝට්‌ටුවලින් මිටි ගසා සකස්‌ කර තිබූ අයුරුයි මේ.

ආනයනය කරන ලද වාහන අමතර කොටස්‌ සම්බන්ධයෙන් රේගුව මගින් කරනු ලබන පරීක්‍ෂණ කටයුතු නතර කර ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට වාහන අමතර කොටස්‌ අලෙවිකරුවකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක මුදලක්‌ අල්ලස්‌ ලෙස

ඉල්ලා ලබාගත්තේ යයි අත්අඩංගුවට ගනු ලැබූ රේගු නිලධාරීන් තිදෙනා ලබන 30 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

සැකකරුවන් තිදෙනා කඩිනමින් කුරුවිට බන්ධනාගාරයේ රඳවා තැබීමට කටයුතු යොදන ලෙස ද ඔවුන් හමුවීමට පැමිණෙන අයගේ නාම ලේඛනයක්‌ ලබාගෙන ඉදිරිපත් කරන ලෙස ද මහෙස්‌ත්‍රාත්වරයා වැඩිදුරටත් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිදු කරන ලද වැටලීමක්‌ අනුව අල්ලස්‌ මුදල් ලබා ගන්නා විටදී අත්අඩංගුවට ගෙන මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුයේ රත්මලාන, ආදර්ශ ගම්මාන පදිංචි රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, පන්නිපිටිය දෙපානම පදිංචි නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක හා කඩවත, ඉහළ කරගහමුණ පදිංචි සහකාර රේගු අධිකාරි උපාලි ගුණරත්න පෙරේරා නමැති සැකකරුවන් තිදෙනාය.

සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් වැඩිදුර වාර්තා ගොනු කළ අල්ලස්‌ කොමිසමේ උසාවි නිලධාරි අබේධීර මහතා කරුණු දක්‌වමින් ලංකා ගමනාගමන මණ්‌ඩලය මගින් තීරු බදු රහිතව ස්‌ටීල් ඉන්පෙක්‌ස්‌ ඇන්ඩ් ඉන්ඩස්‌ට්‍රීස්‌ (ලංකා) පුද්ගලික සමාගම සමඟ ගිවිසුම්ගතව මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස්‌ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මගින් කරනු ලබන පරීක්‍ෂණ කටයුතු නතර කිරීමට හා බදු මුදල් නොගෙවා සිටීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් මිලියන 150 ක්‌ අල්ලස්‌ ලෙස ඉල්ලා එම මුදල රුපියල් මිලියන 125 දක්‌වා අඩුකර අල්ලස්‌ ලෙස ලබාගැනීමේදී සිදුකළ සාර්ථක වැටලීමක්‌ තුළින් අදාළ අල්ලස්‌ මුදල ද සමඟ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවට දන්වා සිටියේය.

වාහන අමතර කොටස්‌ ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයකු විසින් කරනු ලැබූ පැමිණිල්ලක්‌ අනුව සිදුකළ වැටලීමක්‌ තුළින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද පැවසූ අබේධීර මහතා සැකකරුවන් ලබන 30 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට ඉල්ලා සිටියේය.

අල්ලස්‌ කොමිසම වෙනුවෙන් එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය කරුණු දක්‌වමින් සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් මිලියන 125 ක මුදල මේ වන විටත් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ගණන් කිරීමේ කටයුතු සිදු කරන බවත් ඉතා ඉක්‌මනින් ඒ මුදල් වාර්තාව ගොනු කිරීමට පියවර ගන්නා බවත් දන්වා සිටියාය.

පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වනතෙක්‌ අවසන් නැති බව ද කියා සිටි අධ්‍යක්‍ෂ ජෙනරාල්වරිය සිද්ධියට සම්බන්ධ නම් හෙළි වී ඇති තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ඇති බවත් එනිසා එම කටයුතුවලට බාධා නොවන අයුරින් හා පිටස්‌තර පුද්ගලයන්ට සැකකරුවන් හමුවීමට නොහැකි වන අයුරින් ඔවුන් බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටින බවත් පැවසුවාය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරුණු දක්‌වමින් මේ අවස්‌ථාවේදී ඇප ඉල්ලීමක්‌ සිදු නොකරන බවත් විමර්ශන කටයුතු ඉක්‌මනින් අවසන් කරන ලෙසට නියෝගයක්‌ නිකුත් කරන ලෙසට ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

අදාළ අල්ලස්‌ මුදල පැමිණිල්ල මගින් බලහත්කාරයෙන් මෙම සැකකාර නිලධාරි වෙත ලබාදී ඇති බව ද සැකකරුවන්ගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය - ඇතැම් මුදල් නෝට්‌ටු වල සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු පවා තියනවා ස්‌වාමීනි, මේ මුදල් ලබාගැනීමට පැමිණිලිකරු හා සැකකරුවන් අතර ඇති වූ කතාබහ පටිගත වෙලා තියෙනවා.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 30 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් ඔවුන් වහාම කඩිනමින් කුරුවිට බන්ධනාගාරයේ රඳවා තැබීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළේය.

සැකකරුවන් හමුවීමට එන අයගේ නාමලේඛනයක්‌ ලබාගෙන ඉදිරියේදී ගොනු කරන ලෙස ද නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා ඔවුන් හමුවීම පවුලේ අයට හා නීතිඥවරුන්ට සීමා කරන ලෙසත් වෙනත් අයට හමුවීමට අවශ්‍ය නම් විශේෂ අවසරයකින් සිදුකළ යුතුව ඇති බවත් සඳහන් කළේය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සමඟ ඒ. එච්. එම්. ඉලියාස්‌, අශෝක වීරසූරිය හා අසේල රැකව යන නීතිඥ මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්‌ඩායමක්‌ පෙනී සිටියහ.

0 comments:

Post a Comment