ඉල් පුර පසළොස්‌වක පොහොය දිනය වස්‌සාන සෘතුවේ අවසාන දිනයයි. සම්බුද්ධ ශාසන ඉතිහාසය දෙස විමසා බැලීමේදී ඓතිහාසික ශාසනික සිදුවීම් කිහිපයකට මුල් වූ දිනයක් ලෙස ඉල් පොහොය දිනය හඳුන්වා දිය හැකිය.
ඒ අතර මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහිදී නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දුත කණ්‌ඩායමට
අයත් වූ මහරහතන් වහන්සේලා සැටනම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, පසු වස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අවසන් වීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය....මහෝත්සවය සිදුකළ හැකි අවසාන දිනය වීම සහ අගසව් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම යන කරුණු නිසා ඉල් පොහොයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමිවෙයි.
ඉල් පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්‍ෂූන් වහන්සේ අමතා "ඔබ වනාහි මේ මහා භද්‍ර කල්පයෙහිම මෛත්‍රෙය නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි යෑයි නියත විවරණ දුන්සේක.
නියත විවරණ ලැබීම යනු බුදුවීම සඳහා පෙරුම් පුරන බෝසත්වරයකු තමා අනාගතයෙහි බුදුවන බවට බුදුරජාණන් වහන්සේ නමක් හමුවෙහි දී ලබාගන්නා ස්‌ථිර ප්‍රකාශයයි. මේ අනුව බුදුරජාණන් වහන්සේලා පස්‌නමකගෙන් සමන්විත මෙම මහා භද්‍ර කල්පයෙහි අවසන් වරට බුද්ධත්වය ලබනුයේ මෛත්‍රෙය බෝධි සත්ත්වයන් වහන්සේය.
පෙර වස් පවාරණය සහ පසු වස් පවාරණය යනුවෙන් පවාරණය කොටස් දෙකකින් යුක්‌තය. ඇසළ පුර පසළොස්‌වක පොහෝදා පොහොය විනය කර්මය කොට අවපෑළවියදා පෙරවස් සමාදන් වී වස් ආරක්‍ෂා කර වප් පුර පසළොස්‌වක පොහෝදා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම පෙර වස් පවාරණයයි. නිකිණි පොහෝදා පොහොය විනය කර්මය කොට අවපෑළවියදා පසු වස් සමාදන් වී ඉල් පුර පසළොස්‌වක පොහෝදා වස් පවාරණය කිරීම පසු වස් පවාරණයයි.
එය ඉල් පොහොය දා සිදුකෙරෙන තවත් වැදගත් ශාසනික කාර්යයකි. මේ අනුව, වස්‌සාන සමයේ අවසාන පොහොය දිනය වූ ඉල් පොහොය මෙකී ඓතිහාසික වූත්, ශාසනික වූත් සිදුවීම් කිහිපයක් මුල් කරගත් වැදගත් පොහොය දිනයක් බව වටහාගත යුතුය.
0 comments:
Post a Comment