Pages

Subscribe:

Ads 468x60px

නියෝග කළ වහාම තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් අල්ලනවා


ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාගේ මරණය මිනීමැරුමක්‌ බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස
අධිකරණය නියෝග කළ වහාම ඊට සම්බන්ධ පුද්ගලයන් තමන් භාරයට ගන්නා බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) පවසයි.

මොහොමඩ් තාජුඩීන්ගේ අභිරහස්‌ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා මේ වනවිට හඳුනාගෙන සිටින බවද පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි. එහෙත් තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක්‌ නිසා සිදුවූවක්‌ බව මේ වනතුරු අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දීමක්‌ කර නැත.

අධිකරණ නියෝගය ලබා දුන් වහාම මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථානය කියා සිටියි.

තාජුඩීන් මහතාගේ මරණය සිදුවන අවස්‌ථාවේ ඔහු මෝටර් රථය ධාවනය කර නොමැති බවත් පහරදී දුර්වල කිරීමෙන් පසු ඔහුගේ සිරුර රථයේ වම්පස මගී අසුනේ තබා අනතුරක්‌ සිදුවීමට ඉඩ සලස්‌වා ඇති බවත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා වෙත පෙරේදා (03 වැනිදා) ලිතව දැනුම් දී තිබිණි.

මොහොමඩ් තාජුඩීන්ගේ මරණයට හේතුව ඔහුගේ කකුල්වලට බෙල්ලට පපු ප්‍රදේශයට බාහුවට තුවාල සිදුවීමෙන් වූවක්‌ බවත් අජිත් තෙන්නකෝන් මහතාගේ වාර්තාවේ සඳහන් වී ඇත.

තරුණියක්‌ මුල්කරගෙන ඇතිවූ කිසියම් ආරවුලක්‌ මත මොහොමඩ් තාජුඩීන් මහතා පැහැරගෙන ගොස්‌ කෲර අන්දමින් පහරදී ඝාතනය කර පසුව ඔහුගේ සිරුර මෝටර් රථයක දමා ගිනි තැබූ බව පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.

එහෙත් මෙම මරණය සිදුවූ ඉකුත් 2012 වර්ෂයේ එවකට පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලින් පසු නිගමනය වී තිබුණේ මෙම මරණය හදිසි අනතුරක්‌ නිසා සිදු වූවක්‌ බවය.

තාජුඩීන් ඝාතනය පිළිබඳව නාරාහේන්පිට පොලිසියෙන් ඉතාම ප්‍රාථමික පරීක්‍ෂණයක්‌ පවත්වා එය සාමාන්‍ය මරණයක්‌ ලෙස ක්‍රියා කිරීමට එවකට සිටි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කටයුතු කර තිබිණි.

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු මොහොමඩ් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබීය. එම විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ තාජුඩීන් මහතා පැහැරගෙන ගොස්‌ ඝාතනය කළ බවය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්‍ෂ මහතා වෙත සහ ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් පිරිසක්‌ වෙත චෝදනා එල්ල වී තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.

0 comments:

Post a Comment